Home Sinhala හර්ෂිතා – නිලක්ෂි ශතක සබඳතාවය නිසා ශ්‍රී ලංකාවට ඉතිහාසගත ජයක්!

හර්ෂිතා – නිලක්ෂි ශතක සබඳතාවය නිසා ශ්‍රී ලංකාවට ඉතිහාසගත ජයක්!

10068
Sri Lanka vs Bangladesh
Credit : Getty Images

වාර්තාගත ස්වදේශික ප්‍රේක්ෂක පිරිසක් ඉදිරියේ මීට දින දෙකකට පෙර ප්‍රබල දකුණු අප්‍රිකාව පැරදූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (13) බංග්ලාදේශයට එරෙහිව විශිෂ්ට ජයක් වාර්තා කළා.

ඒ අනුව ඔවුන් මේ වන විට කාන්තා ලෝක කුසලාන තරගාවලියේ මුහුණ දුන් තරග දෙකම ජයගෙන ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටිනවා.

කේප්ටවුන් හිදී පැවති තරගයේ කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශ නායිකා Nigar Sultana මුලින් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගත්තා. ඒ අනුව ඉනිම ඇරඹූ ආරම්භක පිතිකාරිණී Murshida Khatun ලකුණු රැස් කිරීමට පෙරම දුවද්දී දවා ගැනීමකට හසුකර ගැනීමට ඉනෝකා රණවීර සමත් වුනා.

අනෙක් අන්තයෙන් ඉනිම ඇරඹූ Shamima Sultana වේගවත් ලකුණු 20ක් රැස්කළේ පන්දු 13කට පමණක් මුහුණ දෙමිනුයි. තුන්වැනි කඩුල්ල වෙනුවෙන් Shobana Mostary සහ Nigar Sultana අතරේ ලකුණු 35ක සබඳතාවයක් වර්ධනය වුනා. Shobana ලකුණු 29ක් රැස් කරද්දී බංග්ලාදේශ නායිකාව රැස්කළ ලකුණු සංඛ්‍යාව 28ක්.

නමුත් ඔවුන් දෙදෙනාම ලබා ගත්තේ ක්‍රීඩා කළ පන්දු සංඛ්‍යාවට වඩා අඩු ලකුණු ගණනකුයි. බංග්ලාදේශ ඉනිම වරෙක පන්දුවාර 15.1ක් අවසානයේ ලකුණු 95කට කඩුලු 3ක් ලෙස සටහන් වූ මොහොතේ 16 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කළ ඕෂධී රණසිංහ කඩුලු 2ක් බිඳ දැමීම තරගයේ තීරණාත්මක සංධිස්ථානයක් ලෙස සැලකිය හැකි.

මේ නිසා කඩුලු අතැතිව අවසන් පන්දුවාර 05 දී ලකුණු 150කට ආසන්න ඉලක්කයක් කරා යාමට මාන බැලූ බංග්ලාදේශ ක්‍රීඩිකාවන්ගේ සිහින බොඳ වුනා. නියමිත පන්දුවාර 20 අවසානයේ ඔවුන්ට ලබා ගැනීමට හැකි වුනේ කඩුලු 8කට ලකුණු 126ක් පමණයි.

පන්දු යැවීමේ දී සුපිරි දස්කම් දැක්වූ ඕෂධී රණසිංහ ලකුණු 23කට කඩුලු 3ක් බිඳ හෙළද්දී, ඉනෝකා රණවීර සුපුරුදු පරිදි තම පන්දුවාර 4 ලකුණු 18කට යවා අවසන් කළේ එක් කඩුල්ලක් ද දවා ගනිමිනුයි. විශේෂත්වය වන්නේ වෙනදාට පන්දු යැවීමට වැඩි රුචිකත්වයක් නොදක්වන චමරි අතපත්තු අද පන්දු යවමින් කඩුලු 2ක් බිඳ හෙළීමයි.

ලකුණු 127ක ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකාවේ වැදගත්ම සහ තීරණාත්මක කඩුල්ල ලකුණු 17 දී දැවී ගියා. එහි දී පිටිය හැර යන්නේ ලකුණු 15ක් ලබා සිටි ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තුයි. කඩුල්ල දකුණත් වේගපන්දු යවන ක්‍රීඩිකා Marufa Akterට හිමි වුනා.

එතකින් නොනැවතුනු Marufa තම මීලඟ පන්දුවාරයේ දී විශ්මි ගුණරත්න සහ අනුෂ්කා සංජීවනී යන පිතිකාරිණියන් දෙදෙනාම දඩයම් කර ගැනීමට සමත් වුනා. චමරි අතපත්තු සහ විශ්මි ගුණරත්න යනු දකුණු අප්‍රිකාව තම මව්බිමේ දී ම පරාජය කිරීමට වැඩි බරපැනක් දැරූ ක්‍රීඩිකාවන් දෙදෙනායි.

මේ අනුව ලකුණු 25කට කඩුලු 3ක් දැවී ගිය ශ්‍රී ලංකාවට බංග්ලාදේශය ලබා දුන් ඉලක්කය මහමෙරක් ලෙස පෙනෙන්නට වුනා. මේ මොහොතේ පිටියේ සිටියේ පසුගිය තරගයේ පන්දු 20කට මුහුණ දී ලකුණු 08ක් පමණක් රැස් කළ හර්ෂිතා මාධවී සහ ලකුණු 04කට දැවී ගිය නිලක්ෂි ද සිල්වායි.

නමුත් අද දිනයට නැවුම්ව මුහුණ දුන් මෙම පිතිකාරිණියන් දෙදෙනා අවසානයේ නොබිඳුනු ශතක සබඳතාවයක් සමඟින් තරගය විශිෂ්ට ලෙස අවසන් කළා. ඒ තවත් පන්දු 10ක් ඉතිරිව තිබිය දීයි.

ආසියානු කුසලානයෙන් පසු නැවතත් සුපුරුදු හර්ෂිතා මාධවීව දැක ගන්නට ප්‍රේක්ෂකයින්ට අවස්ථාව හිමිවූ අතර ඇය පන්දු 50කින් ලකුණු 69ක් ලබා ගත්තේ තරගාවලියේ මේ දක්වා වැඩිම පෞද්ගලික ලකුණු සංඛ්‍යාව ද සටහන් කරමින්. හර්ෂිතාගේ ඉනිම හතරේ පහර 08කින් සහ එක් හයේ පහරකින් හැඩවුනා.

හර්ෂිතාට උපරිම සහයෝගය ලබා දුන් නිලක්ෂි ද සිල්වා තරගය අවසන් වන විට පන්දු 38ක දී නොදැවී ලකුණු 41ක් ලබා සිටියා. ඒ හතරේ පහර 2ක් සමඟයි. විශේෂයෙන්ම මෙම පිතිකාරිණියන් දෙදෙනා කඩිසරව පිටියේ හිඩැස් වලට පන්දුව යොමු කරමින් නිරතුරුවම තම අන්තය මාරු කර ගනිමින් ක්‍රීඩා කළ ආකාරයට බංග්ලාදේශය නිරුත්තර වුනා.

අවසන් කොටසේ දී ශ්‍රී ලංකාවට ලකුණු වේගය වැඩි කර ගැනීම අවශ්‍ය වූ මොහොතේ Ritu Moni ක්‍රියාත්මක කළ 16 වැනි පන්දුවාරයට ලකුණු 17ක් උදුරා ගැනීමට ද ඔවුන් දෙදෙනාට හැකි වුනා. මේ නිසා පන්දුවාර 18.2ක් අවසානයේ කඩුලු 07ක පහසු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව ලැබුනා.

තරගයේ වීරවරිය ලෙස සම්මාන දිනා ගත්තේ 24 හැවිරිදි වමත් පිතිකාරිණී හර්ෂිතා මාධවීයි. මෙය ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් ලෝක කුසලාන තරගාවලියක දී තරග 2ක් ජය ගත් දෙවැනි අවස්ථාවයි. එසේම ශ්‍රී ලංකාව පළමු වතාවට විස්සයි විස්ස තරගයක ශතක සබඳතාවයක් ගොඩ නැගූ අවස්ථාව ලෙස ද මෙම තරගය ඉතිහාසගත වෙනවා.

Result


Bangladesh Women
126/8 (20)

Sri Lanka Women
129/3 (18.2)

Batsmen R B 4s 6s SR
Shamima Sultana c Anushka Sanjeewani b Oshadi Ranasinghe 20 13 4 0 153.85
Murshida Khatun run out (Inoka Ranaweera) 0 1 0 0 0.00
Shohely Akhter b Chamari Athapaththu 29 32 5 0 90.62
Nigar Sultana c Harshitha Madavi b Oshadi Ranasinghe 28 34 1 0 82.35
Lata Mondal st Anushka Sanjeewani b Oshadi Ranasinghe 11 13 0 0 84.62
Shorna Akter c Kavisha Dilhari b Inoka Ranaweera 5 6 0 0 83.33
Mst Ritu Moni run out (Sugandika Kumari) 2 3 0 0 66.67
Salma Khatun not out 9 6 0 0 150.00
Nahida Akter c Oshadi Ranasinghe b Chamari Athapaththu 8 10 0 0 80.00
Jahanara Alam not out 1 2 0 0 50.00


Extras 13 (b 4 , lb 0 , nb 0, w 9, pen 0)
Total 126/8 (20 Overs, RR: 6.3)
Bowling O M R W Econ
Achini Kulasuriya 2 0 16 0 8.00
Oshadi Ranasinghe 4 0 23 3 5.75
Sugandika Kumari 3 0 22 0 7.33
Ama Kanchana 2 0 12 0 6.00
Inoka Ranaweera 4 0 18 1 4.50
Kavisha Dilhari 1 0 12 0 12.00
Chamari Athapaththu 4 0 19 2 4.75


Batsmen R B 4s 6s SR
Harshitha Samarawickrama not out 69 50 8 1 138.00
Chamari Athapaththu c Lata Mondal b Marufa Akter 15 17 3 0 88.24
Vishmi Gunaratne c & b Marufa Akter 1 5 0 0 20.00
Anushka Sanjeewani b Marufa Akter 0 1 0 0 0.00
Nilakshika Silva not out 41 38 2 0 107.89


Extras 3 (b 0 , lb 0 , nb 1, w 2, pen 0)
Total 129/3 (18.2 Overs, RR: 7.04)
Bowling O M R W Econ
Jahanara Alam 3 0 19 0 6.33
Salma Khatun 4 0 32 0 8.00
Marufa Akter 4 1 23 3 5.75
Nahida Akter 3 0 14 0 4.67
Ritu Moni 3 0 31 0 10.33
Shorna Akter 1.2 0 10 0 8.33



මේ වන විට ප්‍රසාද ලකුණු 04ක් සහ +0.43ක දල ලකුණු වේගයක්ද සමඟින් ශ්‍රී ලංකාව A කාණ්ඩයේ පෙරමුණේ පසුවනවා. ඒ අනුව නවසීලන්ත සහ ඕස්ට්‍රේලියාව යන ප්‍රබල කණ්ඩායම් දෙකෙන් එකක් පරාජය කිරීම මඟින් බොහෝ දුරට ඔවුන්ට ඉතිහාසයේ පළමු වතාවට ලෝක කුසලාන තරගාවලියක අවසන් පූර්ව වටයට පිවිසීමේ ස්වර්ණමය අවස්ථාවක් දැන් උදා වී තිබෙනවා.

එම සියලු තතු විත්ති සමඟින් කාන්තා ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියේ උණුසුම විඳගන්න රැඳී සිටින්න ThePapare.com සමඟින්ම!

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<