Littonගේ තීරණය ගැන Tamimට ගැටලුවක්!

Bangladesh vs New Zealand 2023

1271

පසුගිය සෙනසුරාදා (23) බංග්ලාදේශය සහ නවසීලන්තය අතර පැවැත්වුණු එක්දින ක්‍රිකට් තරගයේ දී බංග්ලාදේශ නායක Litton Das විසින් නවසීලන්ත පිතිකරු Ish Sodhi වෙත දැක්වූ ක්‍රීඩාශීලී ප්‍රතිචාරය හිටපු බංග්ලාදේශ නායක Tamim Iqbal විසින් ප්‍රශ්න කර තිබෙනවා.

බංග්ලාදේශය සහ නවසීලන්තය අතර මේ දිනවල පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ලෙස පසුගිය 23 වැනිදා පැවැත්වුණු තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්තය විසින් ලකුණු 254ක් ලබා ගැනීමට සමත් වුනා.

මෙම තරගයේ දී නවසීලන්ත දඟපන්දු යවන ක්‍රීඩක Ish Sodhi විසින් පිත්තෙන් ලකුණු 35ක් ලබා ගනිමින් නවසීලන්තය ඉනිම ශක්තිමත් කිරීමට දායක වුනා.

නමුත් ඔහු සිය ඉනිම දියත් කරමින් සිටින අතරේ ඔවුන්ගේ ඉනිමේ 46 වැනි පන්දුවාරයේ දී බංග්ලාදේශ වේගපන්දු යවන්නෙකු වන Hasan Mahmud විසින් Sodhiව මන්කාද් කිරීමකට ලක් කරමින් දවා ගැනීමට සමත් වුනා.

මෙම දැවී යාම තරගයේ තෙවැනි විනිසුරු විසින් තහවුරු කළ අතර එම නිසා Sodhiට පිටියෙන් ඉවත් වීමට සිදු වුනත්, ඔහු එයට එතරම් ම කැමැත්තක් පෙන්වූවේ නැහැ. කෙසේ වෙතත් සුළු මොහොතක පමාවකින් පසුව බංග්ලාදේශ නායක Litton Das විසින් නැවතත් Sodhiට පන්දුවට පහර දීමට ආරාධනා කළා.

ඉන්පසුව නැවත හැරී කඩුල්ලට ඇවිද ආ Sodhi විසින් තමන් දවා ගැනීමට හසු කර ගත් Hasanව සිනහ මුසුව වැළඳ ගන්නා අයුරු ද කැමරා කාචයේ සටහන් වී තිබුණා.

Littonගේ මෙම තීරණය මෙන්ම Hasan සහ Sodhiගේ සුහද වැළඳ ගැනීම ද මේ වන විටත් බොහෝ දෙනාගේ ප්‍රශංසාවට භාජනය වෙමින් පවතිනවා. නමුත් මේ අතරේ පිරිසක් විසින් පවසන්නේ ක්‍රීඩකයෙකු දැවී ගිය බව තීරණය කළ පසු එසේ නැවත කැඳවීම නොකළ යුතු බවයි.

එදා තරගයට සහභාගී වෙමින් බංග්ලාදේශය නියෝජනය කළ ඔවුන්ගේ හිටපු නායක Tamim Iqbal ද මේ පිළිබඳ දරන්නේ ඒ හා සමාන මතයක් වීම විශේෂත්වයක්.

“මම එහි (දවා ගැනීමේ) කිසිම වරදක් දකින්නේ නැහැ. එතන නීතිය තියෙනවා. අපි විසින් කවුරු හරි දවා ගත්තොත් හෝ අපේ කවුරු හරි එහෙම දැවී ගියොත් අද කාලේ මිනිස්සු ප්‍රතිචාර දක්වන විදිහට අපි ප්‍රතිචාර දැක්විය යුතුයි කියලා මම හිතන්නේ නැහැ.

මම හිතන්නේ ඒක කණ්ඩායම් තීරණයක්. අද (23) සිදුවීමෙන් පසුව අපි අනිවාර්යයෙන් ඒ ගැන කතා කරනවා.

පිතිකරුවෙක් දැවී ගිය පසු ඔහුව නැවත කැඳවීම හොඳයි කියලා මම හිතන්නේ නැහැ. එක්කො අපි ඒක ගන්නවා, නැත්තන් නොකර ඉන්නවා.”

එවන් දැවී යාම් ලබා ගැනීම හෝ නොගැනීම කණ්ඩායම් තීරණයක් බවයි Tamim පවසන්නේ. එමෙන්ම එම සිදුවීමේ දී Ish Sodගේ හැසිරීම ද Tamim විසින් විවේචනය කර තිබුණා.

“ඔහුත් එහෙම (සීමා ඉරෙන් පිට වීම) නොකර ඉන්න තිබුණා, ඒ වගේම ඔහු පුදුම විය යුතුත් නැහැ. අපි ඒක (දැවී යාම) ගත්තත්, නොගත්තත් ඒක කණ්ඩායම් තීරණයක්. මමත් ඔහුගේ ප්‍රතිචාරයෙන් පුදුමයට පත් වුනා. ඒක දැන් ක්‍රිකට්වල කොටසක්.

මෙතන දී අනතුරු ඇඟවීමක් අවශ්‍ය නැහැ. ඒක පන්දුව කඩුල්ලේ වැදී දැවී ගියා වගේ. සමහර විට අපි ඒ කඩුල්ල දවා ගත්තේ නැහැ කියලා නායකයාට හිතෙන්න ඇති. ඒ නිසා ඔහු Sodhiව නැවත කැඳෙව්වා. එහි හරි වැරැද්දක් නැහැ.”

මන්කාද් දවා ගැනීම මේ වන විට නීත්‍යනුකූල දවා ගැනීමක් බවට පත් කර ඇති අතර, Tamim විසින් සිය ප්‍රකාශයෙන් ද පුන පුනා ප්‍රකාශ කරන්නේ මෙවන් දවා ගැනීමක හරි වැරැද්ද විනිශ්චය කිරීම සිදු නොකළ යුතු බවයි.

එමෙන්ම එවැනි මොහොතක කණ්ඩායම් තීරණය සලකා බැලිය යුතු බව Tamim පැවසීම මගින් එදා තරගයේ දී බංග්ලාදේශ නායකයා සිය තනි තීරණය මත Sodhi නැවත කැඳවූවා ද යන සැකයත් පැන නගිනවා.

කෙසේ වෙතත් තරගයෙන් අනතුරුව මෙම සිදුවීම වෙනුවෙන් Ish Sodhi විසින් Litton ප්‍රමුඛ බංග්ලාදේශයට විශේෂ ඇගයීමක් සිදු කළා. එමෙන්ම මෙම තරගයේ දී Litton ලබා දුන් අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් Sodhi පිත්තෙන් රැස් කළ ලකුණු 35ට අමතරව පන්දුවෙන් බංග්ලාදේශ ඉනිමේ කඩුලු 6ක් ද බිඳ හෙළීමට සමත් වුනේ තරගයේ වීරයා සම්මානය ද තමන් සතු කර ගනිමිනුයි.

මෙම තරගයෙන් නවසීලන්තය ලකුණු 86ක පහසු ජයග්‍රහණයක් අත්පත් කර ගැනීමට සමත් වුනා. තරගාවලියේ තෙවන සහ අවසන් එක්දින තරගය හෙට (26) පැවැත්වීමට නියමිතයි.

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<