Home Sinhala අවිශ්කගේ සුපිරි ඉනිම Dambulla Aura ඉහළටම රැගෙන යයි!

අවිශ්කගේ සුපිරි ඉනිම Dambulla Aura ඉහළටම රැගෙන යයි!

LPL 2023

3554
LPL 2023

දින දෙකක විවේකයකින් අනතුරුව මෙවර LPL තරගාවලියේ 14 වැනි තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී අද (11) ආරම්භ වුනේ Dambulla Aura කණ්ඩායමට මෙවර තරගාවලියේ සිව්වැනි ජයග්‍රහණයත් උරුම කර දෙමිනුයි.

Galle Titans සහ Dambulla Aura කණ්ඩායම් ක්‍රීඩා කළ මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් Dambulla Aura නායක කුසල් මෙන්ඩිස් විසින් පළමුව පන්දුවට පහර දීමේ අභියෝගය Galle Titans කණ්ඩායමට ලබා දුන්නා.

Galle Titans වෙනසක් සමඟ දුර්වල ආරම්භයක්

මෙතෙක් කල් Titans වෙනුවෙන් ඉනිම ආරම්භ කළ ශෙවෝන් ඩැනියෙල් සහ ලසිත් කෲස්පුල්ලේ යුගලයේ වෙනසක් සිදු කරමින් ලසිත් වෙනුවට Tim Seifert විසින් අද Titans ඉනිම ආරම්භ කිරීමට පිටියට පිවිසුණා.

නමුත් ඔවුන් දෙදෙනාට ම බලාපොරොත්තු වූ තරමේ දෙයක් සිය කණ්ඩායම වෙනුවෙන් ලබා දීමට හැකියාව ලැබුණේ නැහැ. Seifert ලකුණු 15කට සහ ශෙවෝන් ලකුණු 7කට සිය ඉනිම් නිමා කළ අතර ඔවුන්ගෙන් පසුව පිටියේ එක් වුනේ Shakib Al Hassan සහ පළමු LPL තරගය ක්‍රීඩා කිරීමට වරම් ලද Chad Bowes දෙදෙනායි.

ඔවුන් දෙදෙනා ම සිය ඉනිම්වලට සැලකිය යුතු තරම් හොඳ ආරම්භ ලබා ගත්ත ද, ඒවා ද එතරම් දුර දිග රැගෙන යාමට Arura පන්දු යවන්නන් විසින් ඔවුන්ට ඉඩ ලබා දුන්නේ නැහැ.

ඒ අනුව Shakib ලකුණු 13ක් සහ Bowes ලකුණු 22ක් ලබා ගනිමින් පිටියෙන් ඉවත් වූ අතර Titans ඉනිමේ 15 වැනි පන්දුවාරයේ තෙවන පන්දුව වන විට ඔවුන්ගේ කඩුලු 6ක් ලකුණු 96ක් තුළ දැවී ගොස් තිබුණා.

දසුන් ඉනිම ශක්තිමත් කරයි

නමුත් මේ මොහොතේ Titans වෙනුවෙන් පිටියේ එක් වූ තුන් ඉරියව් පිතිකරු යුගලය වන දසුන් ශානක සහ ලහිරු සමරකෝන් තරමක් සෙමෙන් නමුත් ඒ මොහොතේ අවශ්‍යතාව අනුව කඩුලු රැක ගනිමින් ලකුණු එකතු කිරීමට පටන් ගත්තා.

එහි අවසන් ප්‍රතිඵල වුනේ නියමිත පන්දුවාර 20 අවසන් වන විට Galle Titans ඉනිම කඩුලු 9කට ලකුණු 133ක් ලෙස සටහන් වීමයි.

මෙහි දී සමරකෝන් විසින් ලකුණු 12ක් ලබා ගත් අතර, ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ නායක දසුන් ශානක හතරේ පහර 5ක් ද සමඟින් ලකුණු 36ක් ලබා ගැනීමට සමත් වුනා.

Galle Titans පිතිකරණ බළඇණිය සම්පූර්ණයෙන්ම පාහේ Dambulla Aura පන්දු යැවීම හමුවේ අසරණ වී ගියා. මෙහි දී විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ බිනුර ප්‍රනාන්දු සිය පන්දුවාර 4 තුළ ලකුණු 14ක් පමණක් ලබා දෙමින් එක් කඩුල්ලක් බිඳ හෙළීමට සමත් වූ අතර, ඊට අමතරව දුශාන් හේමන්ත විසින් කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා.

අවිශ්ක, කුසල් සහ සදීර පරීක්ෂාකාරීව

Galle Titans විසින් ලබා දුන් ඉලක්කය සංඛ්‍යාත්මකව තරමක් අඩු එකක් වුවත්, පිටියේ හැසිරීම ද සමඟ එය එතරම් ම පහසු හඹා යාමක් නොවන බව වටහා ගත් Aura ආරම්භක පිතිකරු යුගලය වූ නායක මෙන්ඩිස් සහ අවිශ්ක ප්‍රනාන්දු තරමක් ඉවසිලිවන්ත ලෙස පිතිකරණයේ යෙදුණා.

එහි අවසන් ප්‍රතිඵලය වුනේ ඔවුන් දෙදෙනා විසින් පන්දු 47ක් තුළ ලකුණු 47ක සබඳතාවක් පිහිටුවීමට සමත් වීමයි. කෙසේ වෙතත් Aura ඉනිමේ පළමු කඩුල්ල ලෙස ලකුණු 18ක් ලබා සිටි මෙන්ඩිස්ගේ ඉනිම නිමා කිරීමට ලහිරු කුමාර විසින් සමත් වුනා.

නමුත් ඉන්පසුව පිටියට පිවිසි සදීර සමරවික්‍රම ඉතා වටිනා ඉනිමක් දියත් කරමින් පන්දු 18ක් පමණක් වැය කරමින් ඉක්මන් ලකුණු 25ක් ලබා ගත් අතර සදීරගේ ඉනිම ද ලහිරුගේ පන්දුවක් හමුවේ ම නිමාව දුටුවා.

සදීර දැවී යන විට දඹුල්ල ඉනිම කඩුලු 2කට ලකුණු 83ක් ලෙස සටහන් වී තිබූ අතර, ඒ වන විටත් ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු නොදැවී සාර්ථක ඉනිමක් දියත් කරමින් සිටියා.

අවිශ්කගෙන් විශිෂ්ට ඉනිමක්

සදීරගේ දැවී යාමෙන් පසුව පිටියට පිවිසුණු කුසල් පෙරේරා හට වැඩි වේලා කඩුල්ලේ රැඳී සිටීමට Shakib Al Hassan ඉඩ ලබා නොදුන්නත්, අනෙක් අන්තයේ නොදැවී රැඳී සිටි අවිශ්ක ප්‍රනාන්දු විසින් අග්‍රගණ්‍ය ඉනිමක් දියත් කරමින් පන්දු 49කින් ලකුණු 70ක් ලබා ගැනීමට සමත් වුනා.

Dambulla Aura ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙස කුසල් පෙරේරා දැවී යන මොහොතේ පවා Galle Titans කණ්ඩායමට නැවත තරගයට අවතීර්ණ වීමට යම් ඉඩක් තිබූ නමුත් අවිශ්ක විසින් ඒ සියලු අවස්ථා සුනුවිසුනු කර දැමීමට සමත් වුනා. අවිශ්කගේ ඉනිමට හයේ පහර සහ හතරේ පහර තුන බැගින් ද අන්තර්ගත වී තිබුණා.

Result


Dambulla Aura
134/3 (17.4)

Galle Titans
133/9 (20)

Batsmen R B 4s 6s SR
Tim Seifert b Binura Fernando 15 12 0 1 125.00
Shevon Daniel c Dushan Hemantha b Dhananjaya de Silva 7 9 1 0 77.78
Chad Bowes b Dushan Hemantha 22 18 3 0 122.22
Shakib Al Hasan b Noor Ahmad  13 13 1 0 100.00
Ashan Priyanjan st Kusal Mendis b Dushan Hemantha 9 14 0 0 64.29
Sohan de Livera b Hayden Kerr 12 11 1 0 109.09
Dasun Shanaka c Sadeera Samarawickrama b Hasan Ali 36 26 5 0 138.46
Lahiru Samarakoon run out (Kusal Mendis) 6 10 0 0 60.00
Richard Ngarava not out 3 2 0 0 150.00
Kasun Rajitha run out (Kusal Mendis) 1 5 0 0 20.00


Extras 9 (b 1 , lb 3 , nb 0, w 5, pen 0)
Total 133/9 (20 Overs, RR: 6.65)
Bowling O M R W Econ
Binura Fernando 4 0 14 1 3.50
Hasan Ali 4 0 27 1 6.75
Dhananjaya de Silva 2 0 14 1 7.00
Hayden Kerr 3 0 24 1 8.00
Dushan Hemantha 4 0 31 2 7.75
Noor Ahmad  3 0 19 1 6.33


Batsmen R B 4s 6s SR
Avishka Fernando not out 70 49 3 3 142.86
Kusal Mendis c Sohan de Livera b Lahiru Kumara 18 24 1 0 75.00
Sadeera Samarawickrama b Lahiru Kumara 25 18 4 0 138.89
Kusal Janith lbw b Shakib Al Hasan 5 8 0 0 62.50
Dhananjaya de Silva not out 6 7 1 0 85.71


Extras 10 (b 0 , lb 2 , nb 0, w 8, pen 0)
Total 134/3 (17.4 Overs, RR: 7.58)
Bowling O M R W Econ
Kasun Rajitha 3 0 12 0 4.00
Lahiru Kumara 4 0 31 2 7.75
Richard Ngarava 2.4 0 33 0 13.75
Shakib Al Hasan 4 0 20 1 5.00
Lahiru Samarakoon 1 0 8 0 8.00
Dasun Shanaka 1 0 12 0 12.00
Ashan Priyanjan 2 0 16 0 8.00



මේ අනුව 2023 LPL තරගාවලියේ 14 වැනි තරගයෙන් Galle Titans කණ්ඩායමට එරෙහිව කඩුලු 7ක පහසු ජයග්‍රහණයක් වාර්තා කිරීමට Dambulla Aura කණ්ඩායම සමත් වුනා.

තරගයේ වීරයා සම්මානය Dambulla Aura ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු හට හිමි වුනා.

Dambulla Aura විසින් ලබා ගත් මෙම ජයග්‍රහණයත් සමඟින් මෙවර LPL ලකුණු සටහනේ පළමු ස්ථානයට පත් වීමට ද ඔවුන් සමත් වුනා. එමෙන්ම තරගාවලියේ මුල් තරග කිහිපයේ සාර්ථක ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ Galle Titans මේ වන විට නතර වී ඇත්තේ ලකුණු සටහනේ අවසන් ස්ථානයේයි.

කෙසේ වෙතත් තරගාවලියේ ඉදිරි දින කිහිපය තුළ පැවැත්වීමට නියමිත තරගවලින් මෙම ලකුණු සටහනේ දැවැන්ත වෙනස් කම් සිදුවීමට පවා ඉඩ තිබෙනවා.

එම තීරණාත්මක තරග අතුරින් තරග දෙකක් හෙට (12) දිනයේ දී Jaffna Kings සහ B-Love Kandy කණ්ඩායම් අතරත්, Dambulla Aura සහ Colombo Strikers කණ්ඩායම් අතරත් පැවැත්වීමට නියමිතයි.

මෙම තරග පිළිබඳ සියලු තතු විත්ති ද ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<