ශ්‍රී ලංකා ක්‍රිකට් අධ්‍යක්ෂක තනතුර Tom Moodyට

192

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම සමඟ කටයුතු කළ සාර්ථකම පුහුණුකරුවෙකු වන Tom Moody ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අධ්‍යක්ෂකවරයෙකු ලෙස පත් කර තිබෙනවා. අරවින්ද ද සිල්වා ප්‍රමුඛ ක්‍රිකට් තාක්ෂණික කමිටුව මේ නව තනතුර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යෝජනා කර තිබුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රිකට් ක්‍රීඩාවට අදාළ සියලු කරුණු ක්‍රිකට් අධ්‍යක්ෂකගේ වගකීම් වන අතර පුහුණු කටයුතු, දේශීය තරගාවලි, සංවර්ධන සංචිත, වයස් කාණ්ඩ සංචිත හා මධ්‍යම කොන්ත්‍රාත්තු ගත ක්‍රීඩකයින්ගේ අවම ශාරීරික යෝග්‍යතා මට්ටම් ආදිය අධීක්ෂණය කිරීම ඔහුට පැවරෙනවා.

තවත් ක්‍රිකට් පුවත්:

“Tom අපිට අලුත් කෙනෙක් නෙමෙයි, මීට කලිනුත් ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ වැඩ කරලා තියෙනවා. එහි ප්‍රතිඵලත් අපිට අමතක නැහැ. ඔහු අපේ ක්‍රිකට්වලට ලොකු වටිනාකමක් එකතු කරයි කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා”, යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතා පවසා සිටියා.

ලෝක කුසලාන දෙකක් සඳහා කණ්ඩායම් මෙහෙයවා ඇති Tom Moody ප්‍රධාන පුහුණුකරු Mickey Arthur හා පුහුණුකරුවන්ගේ ප්‍රධානි ජෙරොම් ජයරත්නගේ තනතුරුවලට ඉහළින් පවතින අතර ඔහු ක්‍රිකට් කමිටුවට සෘජුවම වාර්තා කරනු ඇත.

Moodyගේ කොන්ත්‍රාත්තුවට අනුව ඔහු දින 300ක කාලයක් ශ්‍රී ලංකාව තුල රාජකාරි කළ යුතු අතර ඒ නිසා ඔහුට IPL තරගාවලියේ පුහුණුකරුවෙක් ලෙස වැඩ කටයුතු කර ගැනීමට බාධාවක් නොමැත. Tom Moody මේ වන විට Sunrisers Hyderabad කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරනවා.

2005 වසරේ දී ජයන්ත ධර්මදාසගේ ධූර කාලයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය Tom Moody වසර දෙකක කාලයක් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු ලෙස බඳවා ගත් අතර ඔහු ඒ වසර දෙක තුළ අතිසාර්ථක වුනා. ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම 2007 ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගයට පිවිසුණු අතර, ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තයේ, නවසීලන්තයේ හා පාකිස්තානයේ දී ටෙස්ට් තරග ද ජය ගන්නට සමත් වුනා. එංගලන්තය එක්දින තරගාවලියක දී 5-0ක් ලෙස පරාජය කිරීමත් ඔහුගේ ධූර කාලයේ දී කැපී පෙනුණා.

2007 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඔහුට නැවත කණ්ඩායම සමඟ එක්වන ලෙස පැවසුවත්, සිය පවුල සමඟ කාලය ගත කිරීමට අවශ්‍ය බව පවසමින් ඔහු එම ආරාධනය ප්‍රතික්ෂේප කළා. පසුව ඔහු ඕස්ට්‍රේලියාවේ පර්ත් වෙත ගිය අතර බටහිර ඕස්ට්‍රේලියා කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද ඔහු කටයුතු කළා.

රංගන හේරත්, චම්පක රාමනායක, රුවන් කල්පගේ, මාරියෝ විල්ලවරායන් වැනි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ පෙර කටයුතු කර ඇති හිටපු ක්‍රීඩකයින් පුහුණුකරුවන් ලෙස බඳවා ගැනීමට ක්‍රිකට් තාක්ෂණික කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට යෝජනා කර තිබෙන බව ද වාර්තා වනවා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<