යුද හමුදාව ප්‍රථම වරට කිරුළ දරද්දී විදුලිබලය ආයෙත් වැඩ පෙන්වයි

Munchee ජාතික වොලිබෝල් ශූරතා තරගාවලිය 2021

340
71st Munchee National Volleyball Championship 2021

විදුලිබල මණ්ඩල ක්‍රීඩකයින් සහ යුද හමුදා ක්‍රීඩිකාවන් විසින් පිළිවෙළින් Bitu Link Sports Club සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව පරාජය කරමින් Munchee ජාතික වොලිබෝල් ශූරතා තරගාවලියේ ජයග්‍රාහකයින් ලෙස කිරුළු පළඳින්නට සමත් වුනා.

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ පූර්ණ අධීක්ෂණය යටතේ Munchee අනුග්‍රාහකත්වය යටතේ සංවිධානය කෙරුණු තරගාවලියේ අවසන් මහා තරග මාර්තු 13 වැනිදා මහරගම තරුණසේවා සභා ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වුනා.

කාන්තා අවසන් මහා තරගය

දහවල් 1ට පමණ ආරම්භ වූ කාන්තා අවසන් මහා තරගය සඳහා යුද හමුදාව සහ ගුවන් හමුදාව සුදුසුකම් ලබා තිබුණා. ඒ අවසන් පූර්ව තරගවල දී යුද හමුදා ක්‍රීඩිකාවන් විසින් හයිඩ්‍රාමනි ක්‍රීඩිකාවන් 3-1ක් (25-14, 21-25, 32-30, 25-23) ලෙස පරාජය කරමින් සහ ගුවන් හමුදා ක්‍රීඩිකාවන් විසින් නාවික හමුදා ක්‍රීඩිකාවන් 3-1ක් (25-20, 25-22, 20-25, 25-18) ලෙස පරාජය කරමින්.

තරගාවලි ඉතිහාසය පුරාවට ඉතාමත් හොඳින් දක්ෂතා දක්වමින් ශූරතා කිරුළ කිහිප වරක් ජයග්‍රහණය කරන්නට සමත් වූ ගුවන් හමුදා ක්‍රීඩිකාවන් මෙවර අවසන් මහා තරගය සඳහා අවතීර්ණ වූයේ සිය කිරුළ රැක ගැනීමේ අපේක්ෂාවෙනි.

කෙසේ නමුත් පෙරට වඩා දක්ෂ ලෙස මෙවර තරගාවලිය සඳහා පිවිසි යුද හමුදා ක්‍රීඩිකාවන් විසින්, ගියවර ශූරතාව දිනා ගත් ගුවන් හමුදා ක්‍රීඩිකාවන් අනුශූරයින් කරමින් ශූරතාව ජයග්‍රහණය කරන්නට සමත් වුනා. ඒ තරග වට 3-1ක් ලෙසයි.

71st Munchee National Volleyball Championship 2021
අවසන් මහා තරගය අතරතුර

ආරම්භක තරග වටයම 25-19ක් ලෙස ජයග්‍රහණය කරන්නට යුද හමුදා ක්‍රීඩිකාවන් සමත් වූ නමුත් දෙවැනි වටයේ ජයග්‍රහණය හිමිකර ගන්නට ගුවන් හමුදා ක්‍රීඩිකාවන් සමත් වුනේ 21-25ක් ලෙසයි. 

කෙසේ නමුත් එම ජයග්‍රාහී රිද්මය එක දිගටම පවත්වා ගන්නට ඔවුන්ට නොහැකි වූ අතර යුද හමුදාවෙන් ලද තියුණු අභියෝගය හමුවේ තෙවැනි සහ සිව්වැනි වටවලින් 25-22ක් ලෙස පරාජය වන්නට ගුවන් හමුදා ක්‍රීඩිකාවන්ට සිදු වුනා.

තරගාවලිය පුරාවට යුද හමුදා කණ්ඩායමේ නායිකාව වන තිළිණි වාසනා දක්ෂ ලෙස ක්‍රීඩා කර අතර ඇය ශ්‍රී ලංකා ජාතික වොලිබෝල් කණ්ඩායමේ උපනායිකාව වීම ද යුද හමුදාවට අමතර වාසියක් වුනා.

කණ්ඩායම ප්‍රථම වටය දෙවැනි වටය තෙවැනි වටය සිව්වැනි වටය පස්වැනි වටය
යුද හමුදා 25 21 25 25
ගුවන් හමුදා 19 25 22 22
  • දක්ෂතම පන්දු පිරිනමන්නිය – ජේ. ආර්. අයේෂා මදුරිකා (යුද හමුදා)
  • දක්ෂතම පන්දු ලබාගන්නිය – ඩී. එම්. තමාරා දිසානායක (යුද හමුදා)
  • දක්ෂතම පන්දු සකසන්නිය – ඉරේෂා පෙරේරා (යුද හමුදාව)
  • දක්ෂතම ප්‍රහාරක ක්‍රීඩිකාව – එම්. එස්. කේ. අප්සරා සෙව්මාලි (යුද හමුදාව)
  • දක්ෂතම පන්දු වළක්වන්නිය – ආර්. එම්. ඒ. ජී. චතුරිකා ගයානි (ගුවන් හමුදාව)
  • දක්ෂතම ආක්‍රමණශීලී ක්‍රීඩිකාව – දිනේෂා ප්‍රසාදිනි (ගුවන් හමුදාව) 
  • දක්ෂතම ක්‍රීඩිකාව – තිළිණි වාසනා පෙරේරා (යුද හමුදාව) 

ජයග්‍රහණය ලබා ගැනීමෙන් පසුව යුද හමුදා කණ්ඩායමේ නායිකාව වන තිළිණි වාසනා මෙසේ අදහස් දැක්වුවා. ”ඉතිහාසයේ කිසිම දවසක අපි ශූරතාවයක් ජයග්‍රහණය කරලා තිබුණේ නැහැ. වසර 3කට පස්සේ තමයි අපි අවසන් මහා තරගෙකට ආවේ. අනිවාර්යෙන්ම ගුවන් හමුදාව පරාජය කරන්න හිතාගෙන තමයි අපි සෙල්ලම් කළේ. අපි කොහොමත් පුහුණු වීම් කළේ වට 3කින් හෝ 4කින් තරගය ජයග්‍රහණය කරන්න.”

71st Munchee National Volleyball Championship 2021
ජයග්‍රාහී යුද හමුදා කණ්ඩායම

තරගාවලිය තෙවැනි ස්ථානය දිනා ගත්තේ නාවික හමුදා ක්‍රීඩිකාවන් විසිනුයි. එහි දී ඔවුන් විසින් හයිඩ්‍රාමනි ක්‍රීඩිකාවන් තරග වට 3-0ක් ලෙස පරාජය කරන්නට සමත් වුනා.

තවත් වොලිබෝල් පුවත්:

පිරිමි අවසන් මහා තරගය

සවස 4ට පමණ ආරම්භ වූ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා තිබුණේ Bitu Link Sports Club සහ විදුලිබල මණ්ඩල ක්‍රීඩා සමාජය යි. තරගාවලියට තරමක් ආධුනික කණ්ඩායමක් වන Bitu link කණ්ඩායම අවසන් මහා තරගය සඳහා පිවිසියේ ගියවර ශූරතාව දිනා ගත් යුද හමුදා කණ්ඩායම තරග වට 3-1ක් (25-22, 20-25, 18-25, 14-25) ලෙස පරාජය කරමිනි.

ප්‍රබල විදුලිබල මණ්ඩල ක්‍රීඩකයින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තේ තියුණු සටනකට පසුව තරග වට 3-2ක් (22-25, 29-31, 25-18, 31-29, 15-10) ලෙස ගුවන් හමුදා ක්‍රීඩකයින් පරාජය කරමිනි.

ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් බොහෝ දෙනෙකුගෙන් සැදුම්ලත් විදුලිබල මණ්ඩල කණ්ඩායම අත්දැකීම්වලින් සන්නද්ධ කණ්ඩායමක් වුවත්, නවක කණ්ඩායමක් වන Bitu Link කණ්ඩායම ද අවතක්සේරු කිරීමට නොහැකි වන්නේ ඔවුන් විසින් තරගාවලිය පුරාවට දැක්වූ දක්ෂතා සහ ගියවර ශූරයින් පරාජය කිරීම අවසන් මහා තරගයට පිවිසීම නිසාවෙනි.

71st Munchee National Volleyball Championship 2021
අවසන් මහා තරගය අතරතුර

තරගයේ පළමු වටයේ සිටම ආධුනිකයින්ට හොඳ අභියෝගයක් ලබා දෙන්නට විදුලිබල කණ්ඩායම සමත් වූ අතර ඔවුන් ප්‍රථම වටය ජයග්‍රහණය කළේ 25-22ක් ලෙසයි. Bitu කණ්ඩායම ද හොඳ අභියෝගයක් ලබා දෙමින් සටන් කළත් දෙවැනි වටය ද ජයග්‍රහණය කළේ ද විදුලිබල කණ්ඩායමයි (25-21). 

තෙවැනි වටයේ දී සටන්කාමී තරග විලාශයක් පෙන්නුම් කළ Bitu ක්‍රීඩකයින් විසින් 3-0ක ජයග්‍රහණයක් අභියස සිටි විදුලිබල ක්‍රීඩකයින් පරාජය කරන්නට සමත් වුනේ 22-25ක් ලෙස එම වටය ජයග්‍රහණය කරමිනි. 

කෙසේ නමුත් එම වටය පරාජය වුවත් උත්සාහය අත්නොහැරි විදුලිබල ක්‍රීඩකයින් සිව්වැනි වටයේ දී Bitu ක්‍රීඩකයින් ඉතාමත් අසරණ කරමින් 25-14ක් ලෙස ජයග්‍රහණය ලබා ගත්තේ 71 වැනි ජාතික ශූරතාවය සිය නාමයට යටත් කර ගනිමිනි.

කණ්ඩායම ප්‍රථම වටය දෙවැනි වටය තෙවැනි වටය සිව්වැනි වටය පස්වැනි වටය
විදුලිබල 25 25 22 14
Bitu 22 21 25 25

ජයග්‍රහණයෙන් පසුව අදහස් දැක්වූ විදුලිබල කණ්ඩායමේ නායක, ජාතික වොලිබෝල් කණ්ඩායමේ නායකයා ලෙස ද කටයුතු කරන දීප්ති රොමේෂ් අදහස් දක්වමින් පවසා සිටියේ, ජයග්‍රහණය කරන්නට ලැබීම පිළිබඳව සතුටු වන බවත්, Bitu කණ්ඩායම නවක කණ්ඩායමක් වුනත් ඔවුන් ඉතාමත් හොඳින් ක්‍රීඩා කළ බවයි. 

  • දක්ෂතම පන්දු පිරිනමන්නා – බී. ඒ. සී. හිරුෂාන් (විදුලිබල)
  • දක්ෂතම පන්දු ලබාගන්නා – ඒ. කවිඳු පබසර (Bitu)
  • දක්ෂතම පන්දු සකසන්නා – පී. කසුන් චතුරංග (විදුලිබල)
  • දක්ෂතම ප්‍රහාරකයා – දීප්ති රොමේෂ් (විදුලිබල)
  • දක්ෂතම පන්දු වළක්වන්නා – එස්. ඩී. ඒ. එල්. සී. පතිරණ (විදුලිබල)
  • දක්ෂතම ආරක්ෂක ක්‍රීඩකයා – ඒ. ඩබ්. ලක්මාල් (විදුලිබල)
  • දක්ෂතම ක්‍රීඩකයා – බී. ඒ. සී. හිරුෂාන් (විදුලිබල)
71st Munchee National Volleyball Championship 2021
ජයග්‍රාහී විදුලිබල කණ්ඩායම

තරගාවලියේ තෙවැනි ස්ථානය දිනා ගත්තේ ගුවන් හමුදා කණ්ඩායම තරග වට 3-0ක් ලෙස පරාජය කර යුද හමුදා කණ්ඩායම විසිනි.

Munchee ජාතික වොලිබෝල් තරගාවලිය සාමාන්‍යයෙන් කාණ්ඩ දෙකක් ඔස්සේ පැවැත්වුනත් මෙවර තරගාවලියේ පැවැත්වූයේ සුපර් ලීග් තරග කාණ්ඩය පමණයි. ඊට හේතුව වූයේ ලොව පුරා පැතිර ගිය කොරෝනා වසංගත තත්වයේ මෙරට ව්‍යාප්තියයි. කෙසේ නමුත් තරගාවලියේ පසුගිය වසරේ අදියර ද නොපැවැත්වීමට සංවිධායකයින් කටයුතු කළේ කොරෝනා වසංගත තත්වය නිසාවෙනි.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<