Home Sinhala Jaffna Kings නියත ජය Hasan Ali වළකයි!

Jaffna Kings නියත ජය Hasan Ali වළකයි!

914

ඉතාමත් උණුසුම් තරගයකින් පසු ප්‍රබල පිතිකරණ බල ඇණියක් සහිත Jaffna Kings කණ්ඩායමට එරෙහිව ලකුණු 134ක් ආරක්ෂා කර ගැනීමට ඊයේ (07) Dambulla Aura කණ්ඩායම සමත් වුනා. ඒ ප්‍රසාද ලකුණු සටහනේ අංක 01 ස්ථානය ද තමන් සතුකර ගනිමින්.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය නැරඹීම වෙනුවෙන් කාර්යාල වේලාව නිමා වීමෙන් පසු දහවල් තරගයට සාපේක්ෂව සැලකිය යුතු ප්‍රේක්ෂක පිරිසක් පැමිණ සිටියා. ඔවුන් ඉදිරියේ උරගා බැලුණු කාසියේ වාසිය දිනා ගැනීමට සමත් වූයේ Jaffna නායක තිසර පෙරේරායි. ඔහු මුලින් පන්දුවට පහර දීමේ අවස්ථාව ප්‍රතිවාදීන්ට ලබා දුන්නා.

එම තීරණය මල්ඵල ගන්වමින් ඊයේ Dambulla Aura ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ලකුණු නොලබාම දැවී ගියේ පළමු පන්දුවාරයේ දීමයි. මහීෂ් තීක්ෂණ යැවූ පළමු පන්දුවටම අවිශ්ක ප්‍රනාන්දු ලකුණක් ලබා ගැනීමට උත්සාහ කර නැවත හැරී යද්දී දුවද්දී දැවී යාමකට හසුවුනා. නායක කුසල් මෙන්ඩිස් ද තීක්ෂණගේ පන්දුවකට පුල් පහරක් එල්ල කරමින් Shoaib Malik අතට උඩපන්දුවක් ලබා දුන්නා.

ඉන්පසු තෙවැනි කඩුල්ලට අර්ධ ශතක සබඳතාවයක් ගොඩ නගමින් ඉනිම ගරා වැටීම නවතා ගැනීමට Aura පිතිකරුවන්ට හැකි වුනා. එහි දී වෙනදාට ආක්‍රමණශීලී පහරවල් කරා යොමුවන සදීර සමරවික්‍රම පවා ඊයේ ඉනිම ගොඩ නැගුවේ ඉතා සෙමිනුයි. ඔහු අවසානයේ පන්දු 25කින් ලකුණු 30ක් ලබා සිටිය දී දුනිත් වෙල්ලාලගේ යැවූ පන්දුවක් හමුවේ සම්පූර්ණයෙන්ම පරාජය වෙමින් කඩුල්ල බිඳ ගත්තා.

අනෙක් අන්තයේ සිටිමින් සබඳතාවයට හවුල් වූ කුසල් පෙරේරා Shoaib Malikගේ පන්දුවකින් කඩුල්ල අහිමි කර ගන්නා විට ලබා සිටි ලකුණු සංඛ්‍යාව 41ක්. මේ දිනවල ලකුණු අතර සිටින ධනංජය ද සිල්වාගෙන් මෙම අසීරු මොහොතේ හොඳ ඉනිමක් අපේක්ෂා කලද Shoaib Malikගෙන් ගැලවෙන්නට ඔහුටත් හැකි වුනේ නැහැ.

ඉතා අඩු ලකුණකින් අවසන් වන්නට ගිය ඉනිම ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Hayden Kerrගේ සටන්කාමී ලකුණු 25 නිසා ලකුණු 134ක් දක්වා ඉහළ දමා ගන්නට ඉනිමේ අවසන් කොටසේ දී Dambulla Aura ක්‍රීඩකයින්ට හැකි වුනා. පන්දු යැවීමේ දී Shoaib Malik ලකුණු 13කට තීරණාත්මක කඩුලු 2ක් බිඳ හෙළද්දී නුවන් තුෂාරත් කඩුලු 2කට හිමිකම් කිව්වා.

David Miller, Gurbaz, Malik, තිසර පෙරේරා ඇතුළු සුපිරිතම පිතිපෙළක් සහිත Jaffna කණ්ඩායමට මෙම ලකුණු සංඛ්‍යාව සුව පහසු හඹායාමක් වන බව සිතුවත්, Dambulla Aura කණ්ඩායම සටනකින් තොරව ජයග්‍රහණය බන්දේසියක තබා පිළිගැන්වීමට සූදානම් බව පෙනෙන්නට තිබුණේ නැහැ. දෙවැනි පන්දුවාරයේ දී ම ලකුණු අතර නොසිටින චරිත් අසලංක දවා ගනිමින් Hasan Ali සටන ආරම්භ කළා.

අනෙක් අන්තයෙන් පන්දු යැවූ බිනුර ප්‍රනාන්දු බංග්ලාදේශ ක්‍රීඩක Towhid Hridoy ලකුණු ලබා ගන්නට පෙරම දවා ගන්නේ මේ අතරයි. කලාතුරකින් දකින්නට ලැබෙන ආකාරයේ පන්දු යැවීමේ සබඳතාවයක් දැක ගන්නට ලැබුණු ඊයේ දිනයේ Hasan Ali නැවත ක්‍රියාත්මක වෙමින් Rahmanullah Gurbaz පිටියෙන් ඉවත් කළේ පහසු ජයග්‍රහණයක සිහින දකිමින් සිටි Jaffna කඳවුරේ නළලත රැළි ගන්වමින්.

මේ අතරේ විස්සයි විස්ස විශේෂඥයෙකු වන David Miller පිටියෙන් ඉවත් වන්නේ ඔහු වැඩිදුර නොසිතා ඉදිරියට තල්ලු කළ පන්දුව, පන්දු යැවූ Hayden Kerr විසින්ම රැක ගැනීමත් සමඟයි. Miller දැවී යාමත් සමඟ ලකුණු 27ට කඩුලු 4ක් වශයෙන් සටහන් වූ Jaffna Kings ඉනිම සමබර තරගයක් සඳහා වේදිකාව සකස් කර දුන්නා.

වහාම සැලසුම් වෙනස් කළ Shoaib Malik සහ දුනිත් වෙල්ලාලගේ පස්වැනි කඩුල්ලට ලකුණු 39ක් එකතු කරමින් තරගය බේරා ගැනීමට උත්සාහ දැරුවා. මෙම සබඳතාවය බිඳ දැමීම සඳහා Aura නායක කුසල් මෙන්ඩිස් නැවතත් කැඳවන්නේ කණ්ඩායමට විශිෂ්ට ආරම්භයක් ගෙන දුන් Hasan Aliවයි. ඔහු තම නායකයාගේ විශ්වාසය අකුරටම සුරකිමින් යැවූ පළමු පන්දුවම ලකුණු 16ක් ලබා සිටි දුනිත්ගේ කඩුල්ලේ කෙලින්ම දැවටුනා.

Noor Ahmed විසින් ලකුණු 2ක් ලබා සිටි තිසර පෙරේරා දවා ගැනීමත් සමඟ Jaffna පසුපෙළ විවර වූ අතර Aura කණ්ඩායමට හිසරදයක්ව තිබුණේ තුන් ඉරියව් ක්‍රීඩක Shoaib Malik පමණයි. නමුත් පසුපෙළ පිතිකරුවන් නිලකුණු පන්දු රැසක් ක්‍රීඩා කිරීම නිසා Malik කොපමණ උත්සාහ දැරුවත් Jaffna කණ්ඩායමේ දෛවය වෙනස් කිරීමට හැකිවුනේ නැහැ.

කෙසේ වෙතත් විශිෂ්ට සටනක් ලබා දෙමින් Malik පන්දු 53කින් නොදැවී ලබා ගත් ලකුණු 74 විචාරකයින්ගේ නොමද ප්‍රශංසාවට ලක්වුනා. Malikගේ ඉනිමට හතරේ පහර 5ක් සහ හයේ පහර 6ක් ඇතුළත් වුනා. Noor Ahmed ක්‍රියාත්මක කළ අවසන් පන්දුවාරයේ දී ඔහු ලකුණු 24ක් උදුරා ගැනීම නිසා තරගය අවසන් වුනේ ලකුණු 09ක සුළු පරතරයකිනුයි.

යම් හෙයකින් එක් පිතිකරුවෙකු ඔහුගේ සහයට සිටියා නම් ඊයේ දිනය නිමා වෙද්දී Jaffna Kings ප්‍රසාද ලකුණු සටහනේ මුලසුන හොබවන්නටත් ඉඩ තිබුණා. ඒ මෙම තරගය ඇරඹෙන විට කණ්ඩායම් 5ම ප්‍රසාද ලකුණු 4 බැගින් ලබා සම මට්ටමේ සිටි නිසයි. තරගයේ වීරයා සම්මානය නොතිබූ ජයක් වෙනුවෙන් දොරගුළු හැරදුන් Hasan Aliට හිමි වුනා.

Result


Dambulla Aura
134/8 (20)

Jaffna Kings
125/7 (20)

Batsmen R B 4s 6s SR
Avishka Fernando run out (Rahmanullah Gurbaz) 0 1 0 0 0.00
Kusal Mendis c Shoaib Malik b Maheesh Theekshana 0 2 0 0 0.00
Sadeera Samarawickrama b Dunith Wellalage 30 25 4 0 120.00
Kusal Janith b Shoaib Malik 41 36 3 0 113.89
Dhananjaya de Silva b Shoaib Malik 4 9 0 0 44.44
Alex Ross run out (Shoaib Malik) 5 8 0 0 62.50
Janith Liyanage c David Miller b Nuwan Thushara 6 9 0 0 66.67
Hayden Kerr not out 25 20 2 1 125.00
Hasan Ali c David Miller b Nuwan Thushara 8 8 0 0 100.00
Noor Ahmad  not out 7 2 0 1 350.00


Extras 8 (b 0 , lb 1 , nb 0, w 7, pen 0)
Total 134/8 (20 Overs, RR: 6.7)
Bowling O M R W Econ
Maheesh Theekshana 4 0 26 1 6.50
Nuwan Thushara 4 0 26 2 6.50
Dilshan Madushanka 3 0 22 0 7.33
Vijayakanth Viyaskanth 2 0 18 0 9.00
Dunith Wellalage 3 0 28 1 9.33
Shoaib Malik 4 0 13 2 3.25


Batsmen R B 4s 6s SR
Rahmanullah Gurbaz c Dhananjaya de Silva b Hasan Ali 3 11 0 0 27.27
Charith Asalanka c Dushan Hemantha b Hasan Ali 5 9 1 0 55.56
Towhid Hridoy c Sadeera Samarawickrama b Binura Fernando 0 1 0 0 0.00
David Miller c & b Hayden Kerr 2 7 0 0 28.57
Shoaib Malik not out 74 53 5 6 139.62
Dunith Wellalage b Hasan Ali 16 17 1 0 94.12
Thisara Perera c Avishka Fernando b Noor Ahmad  2 5 0 0 40.00
Vijayakanth Viyaskanth run out (Dhananjaya de Silva) 2 6 0 0 33.33
Maheesh Theekshana not out 9 11 1 0 81.82


Extras 12 (b 0 , lb 0 , nb 0, w 12, pen 0)
Total 125/7 (20 Overs, RR: 6.25)
Bowling O M R W Econ
Binura Fernando 4 0 8 1 2.00
Hasan Ali 4 0 20 3 5.00
Noor Ahmad  4 0 46 1 11.50
Hayden Kerr 4 0 21 1 5.25
Dhananjaya de Silva 4 0 30 0 7.50



අද දිනයේ (08) ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තවත් තරග 2ක් ක්‍රියාත්මක වන අතර B-Love Kandy සහ Galle Titans අතර තරගය සවස 3.00ටත්, Colombo Strikers සහ Jaffna Kings අතර තරගය රාත්‍රී 7.30ටත් ආරම්භ වීමට නියමිතයි.

සුළු අතපසුවීමකින් පවා ඉදිරි වටය අහිමි වීමට හැකි තරම් උණුසුම් වී ඇති LPL තරගාවලියේ සියළු තතු විත්ති දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<