Home Sinhala දුනිත්-ඩිල්ශාන් සුසංයෝගය නිසා Jaffna නැවතත් ජය ගමනේ!

දුනිත්-ඩිල්ශාන් සුසංයෝගය නිසා Jaffna නැවතත් ජය ගමනේ!

1393

ලංකා ප්‍රිමියර් ලීග් සිව්වැනි තරග සමයට හොඳ ආරම්භයක් ලබා ගත්ත ද පසුගිය දිනවල තරමක් කරබාගෙන සිටි Jaffna Kings කණ්ඩායම ඊයේ දිනයේ (08) Colombo Strikers කඩුලු 6කින් පරාජය කරමින් නැවතත් ජය මාවතට අවතීර්ණ වුනා. ඒ දුනිත් වෙල්ලාලගේ සහ ඩිල්ශාන් මධුශංකගේ සුපිරි පන්දු යැවීම නිසයි.

මෙම තරගය ක්‍රියාත්මක වුනේ මෙවර LPL තරගාවලිය යටතේ පල්ලෙකැලේ දී පැවැත්වෙන අවසන් විස්සයි විස්ස තරගය ලෙසයි. එහි දී කාසියේ වාසිය දිනා ගත් Colombo Strikers වැඩබලන නායක Babar Azam මුලින් පිතිකරණයේ යෙදීම තෝරා ගත්තා.

ශාරීරික යෝග්‍යතාවය අවම මට්ටමක තිබූ නිසා Strikers නිත්‍ය නායක නිරෝෂන් දික්වැල්ල මෙම තරගයට සහභාගි නොවූ අතර ඔහු කොළඹ දී පැවැත්වෙන තරගවල දී නැවත කණ්ඩායම හා එක්වන බවයි වාර්තා වන්නේ.

Colombo Strikers වෙනුවෙන් ඉනිම ඇරඹූ පැතුම් නිස්සංක සහ Babar Azam පළමු කඩුල්ල වෙනුවෙන්ම ලකුණු 57ක් එකතු කළ අතර පවර්ප්ලේ අවස්ථාව නිමා වනතුරුම ඔවුන්ගේ කිසිදු කඩුල්ලක් බිඳ වැටුණේ නැහැ.

අවසානයේ ලකුණු 36ක් ලබා සිටි පැතුම් නිස්සංක කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගන්නට යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ සමත් වුනා. ඒ DRS තාක්ෂණයේ ද පිහිට ඇතිවයි.

දැවී යන විට පැතුම් Jaffna නායක තිසර පෙරේරාට එකම පන්දුවාරයේ හතරේ පහර 4කුත්, ඩිල්ශාන් මධුශංකට එකම පන්දුවාරයේ හතරේ පහර 3කුත් එල්ල කර තිබුණා. නැවතත් වැඩි වේලා යන්නට පෙර පසුගිය තරගයේ ශතකලාභී Babar Azam පිටියෙන් ඉවත් කරන්නට ඩිල්ශාන් මධුශංක සමත් වන්නේ Jaffna Kingsට තරගයට පිවිසීමට අවස්ථාවක් උදා කරමින්. Babar වැඩිදුර නොසිතා එල්ල කළ කට් පහර බැක්වර්ඩ් පොයින්ට් හි සිට David Miller රැක ගත්තා.

පිටියට පැමිණි විගස නුවනිඳු ප්‍රනාන්දු දවා ගැනීමට මහීෂ් තීක්ෂණ හතරේ සීමාව අසල සිට වේගයෙන් දුවගොස් තම ශරීරයේ සමබරතාවය ද රැකගෙන සුපිරි උඩපන්දුවක් ලබා ගත්තා. එතකින් නොනැවතුනු තීක්ෂණ ලහිරු උදාර පිටියෙන් ඉවත් කරන්නටත් තම පන්දු යැවීමෙන් පසු තණතිල්ල මත ඉගිල යමින් දර්ශනීය උඩපන්දුවක් රැක ගත්තා. කලකට පෙර ස්ථූල ශරීරයකට හිමිකම් කියූ මහීෂ් තම කැපවීම මතම සැහැල්ලු ශරීරයක් උරුම කරගෙන මෙවන් උඩපන්දු රැක ගැනීම සතුටට කරුණක්.

Ifthikar Ahmed පැමිණි විගසම යොවුන් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ අවතක්සේරු කරමින් ඉදිරියට පැන එල්ල කිරීමට ගිය හයේ පහර මග හැරුනේ ඔහුගේ මැද ඉන්නටම පන්දුව ගැටීමෙන් අනතුරුවයි. මේ අයුරින් මැදපෙළ බිඳ වැටීම නිසා ලකුණු 99ක් වෙද්දී Colombo Strikers පිතිකරණ ලැයිස්තුවෙන් අඩක් විවේකාගාරයේ තරග නරඹන්නන් වී සිටියා.

මේ අවස්ථාවේ Mohommed Nawaz සහ චාමික කරුණාරත්න අතරේ ගොඩ නැගුනු ලකුණු 30ක සබඳතාවය නොවන්නට Strikersට ලකුණු 146ක් ලබා ගැනීම පවා අසීරු වන්නට ඉඩ තිබුනා.

පන්දු යැවීමේ දී දුනිත් වෙල්ලාලගේ පන්දුවාර 3ක් ලකුණු 9කට අවසන් කළේ තීරණාත්මක කඩුලු 2ක් ද දඩයම් කරගෙනයි. මීට අමතරව මෙවර LPL තරගාවලියේ වැඩිම මිලකට අලෙවි වූ ඩිල්ශාන් මධුශංක තමන් ගැන තැබූ විශ්වාසය රකිමින් ලකුණු 23කට කඩුලු 2ක් දවා ගත්තා. තීක්ෂණ සුපුරුදු පරිදි ඉතා හොඳ පන්දු යැවීමක් අවසන් කරද්දී තිසර පෙරේරා, නුවන් තුෂාර සහ Shoaib Malik අද දරුණු ප්‍රහාරයකට ලක්වීම විශේෂත්වයක්.

පසුගිය තරගවල දී මෙවන් අඩු ලකුණු සංඛ්‍යාවලට ප්‍රතිවාදීන් සීමා කිරීමට සමත් වුවත් පිතිකරුවන්ගේ වරදින් තරග පරාජය වූ Jaffna කණ්ඩායම මෙම අභියෝගයට කෙසේ මුහුණ දේවිද යන්න ගැටලුවක් වුනා. නමුත් අද Colombo Strikers කණ්ඩායමට තරගයට පිවිසීමට කිසිදු අවස්ථාවක් ඉතිරි නොකළ Jaffna ආරම්භක පිතිකරණ යුගලය පළමු කඩුල්ලටම වේගවත් ලකුණු 58ක් එකතු කළා.

දේශීය පිටියේ දවා ගැනීමට අපහසු ටෙස්ට් පිතිකරුවෙකු ලෙස ප්‍රසිද්ධ නිශාන් මදුශ්ක අද තම රිද්මය වෙනස් කරමින් පන්දු 32කින් ලකුණු 46ක් ලබා ගත්තේ Jaffna කණ්ඩායමට අමතර ජවයක් එකතු කරමින්.

අනෙක් අන්තයේ සිටි Rahmanullah Gurbaz පන්දු 21කින් ලකුණු 39ක් ලබාගෙන ඉතාම හොඳ ලකුණු වේගයක් රඳවා ගත්තා. ඔහු දැවී ගියේ මතීෂ පතිරණ යැවූ වේගය අඩාල කළ පන්දුවක් හමුවේ කල් මැනීම වරද්දා ගැනීම නිසයි.

චරිත් අසලංක නැවත වරක් කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කිරීමට අපොහොසත් වූ අතර පන්දු 15කට මුහුණ දී රැස්කර ගත්තේ ලකුණු 12ක් පමණයි. නායක තිසර පෙරේරා හැකිතාක් ඉක්මනින් තරගය අවසන් කරගෙන තම කණ්ඩායමේ දල ලකුණු වේගය ඉහළ නංවා ගැනීමේ අටියෙන් පිත්ත හැසිරවූ අතර පන්දු 7කින් ලකුණු 17ක් ලබා සිටියදී දැවී ගියා.

අවසානයේ පාකිස්තානු ක්‍රීඩක Naseem Shah තිසර පෙරේරා සහ නිශාන් මදුශ්ක යන දෙදෙනාවම එකම පන්දුවාරයේ දී පිටියෙන් ඉවත් කළ ද ඒ වන විට Strikers ප්‍රමාද වැඩි වී තිබුනා.

Jaffna Kings අදාළ ඉලක්කය පසුකර ගියේ පන්දුවාර 14.3ක් පමණක් වැය කරමිනුයි. මේ නිසා ඔවුන් දැන් ප්‍රසාද ලකුණු සටහනේ අංක 3 ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව සිටිනවා. පල්ලෙකැලේ දී සුපිරි දස්කම් දැක්වූ B-Love Kandy දැනට ලකුණු සටහනේ පෙරමුණ හොබවන අතර Dambulla Aura දෙවැනි ස්ථානයේ පසුවෙනවා. තවමත් ලකුණු 4 බැගින් පමණක් ලබා සිටින Colombo Strikers සහ Galle Titansට හිමිව තිබෙන්නේ පිළිවෙලින් සිව්වැනි සහ පස්වැනි ස්ථානයි.

Result


Colombo Strikers
146/8 (20)

Jaffna Kings
150/4 (14.3)

Batsmen R B 4s 6s SR
Pathum Nissanka lbw b Dunith Wellalage 36 25 7 0 144.00
Babar Azam c David Miller b Dilshan Madushanka 24 21 2 1 114.29
Lahiru Udara c & b Maheesh Theekshana 29 25 2 1 116.00
Nuwanidu Fernando c Maheesh Theekshana b Dilshan Madushanka 2 3 0 0 66.67
Iftikhar Ahmed b Dunith Wellalage 2 4 0 0 50.00
Mohammad Nawaz c Towhid Hridoy b Shoaib Malik 27 20 3 1 135.00
Chamika Karunaratne not out 21 18 1 0 116.67
Ramesh Mendis c David Miller b Nuwan Thushara 1 2 0 0 50.00
Naseem Shah run out (Nuwan Thushara) 1 2 0 0 50.00


Extras 3 (b 0 , lb 1 , nb 0, w 2, pen 0)
Total 146/8 (20 Overs, RR: 7.3)
Bowling O M R W Econ
Thisara Perera 1 0 17 0 17.00
Maheesh Theekshana 4 0 21 1 5.25
Dilshan Madushanka 4 0 23 2 5.75
Nuwan Thushara 4 0 37 1 9.25
Dunith Wellalage 3 0 9 2 3.00
Shoaib Malik 4 0 38 1 9.50


Batsmen R B 4s 6s SR
Nishan Madushka b Naseem Shah 46 32 3 3 143.75
Rahmanullah Gurbaz c Iftikhar Ahmed b Matheesha Pathirana 39 21 3 3 185.71
Charith Asalanka c Iftikhar Ahmed b Lakshan Sandakan 12 15 1 0 80.00
Thisara Perera b Naseem Shah 17 7 2 1 242.86
David Miller not out 1 3 0 0 33.33
Towhid Hridoy not out 14 9 3 0 155.56


Extras 21 (b 4 , lb 4 , nb 0, w 13, pen 0)
Total 150/4 (14.3 Overs, RR: 10.34)
Bowling O M R W Econ
Naseem Shah 3.3 0 22 2 6.67
Mohammad Nawaz 2 0 25 0 12.50
Chamika Karunaratne 2 0 24 0 12.00
Matheesha Pathirana 3 0 27 1 9.00
Lakshan Sandakan 3 0 30 1 10.00
Ramesh Mendis 1 0 14 0 14.00



තරගයේ වීරයා සම්මානය අති සාර්ථක පන්දු යැවීමක යෙදුණු 20 හැවිරිදි තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේට හිමිවුනා. තරගාවලියේ ඉදිරි තරග නැවතත් කොළඹ ආර්. ප්‍රේමදාස පිටියට රැගෙන යන නිසා අද සහ හෙට දිනවල දී තරග නොපැවැත්වෙන අතර නැවතත් 11 වැනිදා සිට තරගාවලියේ උණුසුම විඳ ගැනීමට හැකි. එහි සියලු තතු විත්ති වෙනුවෙන් රැඳී සිටින්න ThePapare.com සමඟින්ම!

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<