ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයින්ට සැම්බියාව හමුවේ ඉතිහාසගත ජයක්!

පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල 2022

1813

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සත් සාමාජික රග්බි තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි කණ්ඩායම් ඊයේ (30) තරග දෙකකට සහ අද (31) එක් තරගයකට ක්‍රීඩා කළා.

ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩකයින් අද සහභාගී වූ සැම්බියාව සමඟින් පැවති තරගය ලකුණු 27-14ක් ලෙස ජයග්‍රහණය කිරීමට සමත් වුනා. එම ජයග්‍රහණය, ශ්‍රී ලංකා රග්බි කණ්ඩායමක් පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියක දී වාර්තා කළ පළමු ජයග්‍රහණය ලෙස ඉතිහාසගත වුනා.

ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම

ශ්‍රී ලංකාව 24-26 ජැමෙයිකාව

පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ සත් සාමාජික රග්බි තරගාවලියේ 13 වැනි ස්ථානය සඳහා වන තරගය අද පස්වරුවේ පැවැත්වුනා. ඒ ශ්‍රී ලංකාව සහ ජැමෙයිකාව අතරයි. මෙම තරගයෙන් ලකුණු 26-24ක තියුණු ජයක් වාර්තා කිරීමට ජැමෙයිකානු කණ්ඩායම සමත් වුනා.

තරගයේ පළමු මිනිත්තුවේ දී ම සිය ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමට ජැමෙයිකානු ක්‍රීඩකයන් සමත් වුනා. එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගත් ඔවුන් සිය ලකුණු තත්වය ලකුණු 7ක් දක්වා ඉහල නංවා ගැනීමට සමත් වුනා.

ඉන් මිනිත්තු කීපයකට පසුව නයිජල් රත්වත්තේ වාර්තා කළ උත්සාහක දිනුමක් සමඟින් ශ්‍රී ලංකාව සිය ලකුණු පුවරුවට ලකුණු 05ක් එක් කර ගැනීමට සමත් වූ අතර මිතුන් හපුගොඩ එහි අමතර ලකුණු 2 ද එක් කිරීමට සමත් වුනා.

ජැමෙයිකා සිය දෙවැනි උත්සාහක දිනුම 6 වැනි මිනිත්තුවේ දී වාර්තා කරමින් තරගයේ පෙරමුණ ගැනීමට සමත් වුනත්, පළමු අර්ධය නිමා වීමට පෙර නයිජල් රත්වත්තේ තවත් උත්සාහක දිනුමක් සමඟින් ලකුණු තත්වය සමකිරීමට සමත් වුනා. ඒ අනුව පළමු අර්ධය නිමා වුනේ ලකුණු 12-12ක් ලෙසින්.

දෙවැනි අර්ධයට සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් ජැමෙයිකානු ක්‍රීඩකයන් උත්සාහක දිනුමක් සහ ප්‍රවර්තනයක් වාර්තා කළ ද, එයට ප්‍රබල ප්‍රතිචාරයක් දක්වන්නට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමත් වුනා.

බුද්ධිම පියරත්න වාර්තා කළ උත්සාහක දිනුමට නයිජල් රත්වත්ත අමතර ලකුණු එක් කිරීමට සමත් වුනා. ලකුණු තත්වය 19-19ක් ව තිබිය දී තවත් උත්සාහක දිනුමක් සහ ප්‍රවර්තනයක් ලබා ගැනීමට ජැමෙයිකානු කණ්ඩායම සමත් වුනා. ඒ අනුව ඔවුන්ගේ ලකුණු තත්වය ලකුණු 26ක් බවට පත්වුනා.

තරගය නිමා වීමට පෙර මිතුන් හපුගොඩ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක නොවීම නිසා ශ්‍රී ලංකාවට ලකුණු 5කින් සෑහීමකට පත්වීමට සිදු වුනා.

තරගය නිමා වුනේ ලකුණු 26-24ක් ලෙස ජැමෙයිකානු කණ්ඩායමට ජය හිමිකර දෙමින්.

>> තරගයේ සම්පූර්ණ ප්‍රතිඵල වාර්තාව << 

ශ්‍රී ලංකාව 27-19 සැම්බියාව

ශ්‍රී ලංකා පිරිමි සත් සාමාජික රග්බි කණ්ඩායම අද (31) සැම්බියාව සමඟින් තරග බිමට පිවිසියේ බර්මින්හැම් හි Coventry ක්‍රීඩාංගණයේ දීයි.

තරගය ආරම්භ වී මිනිත්තු 3ක් ගත වෙද්දී ම, සිය ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩක තරින්ද රත්වත්තේ සමත් වුනා. එහි ප්‍රවර්තනය සාර්ථක වුනේ නැහැ.

මිනිත්තු 5ක් තුල දී සිය පළමු උත්සාහක දිනුම වාර්තා කළ සැම්බියා ක්‍රීඩකයන් එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගනිමින් පෙරමුණ ගැනීමට සමත් වුනා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු අර්ධය නිමා වීමට පෙර තවත් උත්සාහක දිනුමක් වාර්තා කරමින් තරගයේ පෙරමුණ ගැනීමට සමත් වුනා. ඒ අනුව තරගයේ පළමු අර්ධය නිමා වුනේ ලකුණු 10-7ක් ලෙස ශ්‍රී ලංකාවට පෙරමුණ ලබා දෙමින්.

දෙවැනි අර්ධය ආරම්භ වෙද්දීම තරින්ද රත්වත්තේ සිය දෙවැනි උත්සාහක දිනුම ද වාර්තා කළේ ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 15ක් දක්වා ඉහළ දමමින්.

තවත් මිනිත්තු කීපයක් තුල ශ්‍රී ලංකා ලකුණු පුවරුවට තවත් උත්සාහක දිනුමක් එක් කිරීමට බුද්ධිම පියරත්න සමත් වුනා.

දෙවැනි අර්ධයේ දී තවත් උත්සාහක දිනුමක් සහ ප්‍රවර්තනයක් වාර්තා කිරීමට සැම්බියා ක්‍රීඩකයන් සමත් වූ නමුත් තරගය අවසන් වීමට පෙර අශාන් රත්වත්තේ වාර්තා කළ උත්සාහක දිනුම සමඟින් ශ්‍රී ලංකාවට ලකුණු 27-19ක ජයග්‍රහණයක් හිමි වුනා.

>> තරගයේ සම්පූර්ණ ප්‍රතිඵල වාර්තාව <<

ශ්‍රී ලංකාව 19 – 38 උගන්ඩාව

ශ්‍රී ලංකාව ඊයේ සහභාගී වූ තරග අතරින් පළමු තරගය වූ උගන්ඩාව සමඟින් පැවති තරගය ලකුණු 19-38ක් ලෙස පරාජය වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදු වුනා.

තරගයේ පළමුවෙන් ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩක බුද්ධිම පියරත්න සමත් වුනා. එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගැනීමට ශ්‍රීනාත් සූරියබණ්ඩාර සමත් වුනා.

ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ උගන්ඩා ක්‍රීඩකයන් පිට පිටම උත්සාහක දිනුම් දෙකක් සමඟින් සිය ලකුණු පුවරුව 14ක් දක්වා ඉහළ දැමීමට සමත් වුනා.

තරගයට නැවතත් අවතීර්ණ වූ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් තවත් උත්සාහක දිනුමක් වාර්තා කරමින් ලකුණු තත්වය සමකිරීමට සමත් වුනා. එම උත්සාහක දිනුම සූරියබණ්ඩාර විසින් වාර්තා කළා.

කෙසේ වෙතත් තරගයේ පළමු අර්ධය නිමා වීමට පෙර තවත් උත්සාහක දිනුමක් වාර්තා කළ උගන්ඩා ක්‍රීඩකයන් පළමු අර්ධය නිමා වන විට තරගයේ පෙරමුණ ගැනීමට සමත්ව සිටියා.

තරගයේ දෙවැනි අර්ධයේ දී ප්‍රබල ක්‍රීඩා රටාවක නිරත වූ උගන්ඩා ක්‍රීඩකයන් තවත් උත්සාහක දිනුම් තුනක් සහ ප්‍රවර්තන 2ක් සමඟින් ලකුණු 19ක් සිය ලකුණු පුවරුවට එක් කළේ ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට කිසිදු අවස්ථාවක් ලබා නොදෙමින්.

කෙසේ වෙතත් තරගයේ අවසන් මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ රීසා රෆයිඩීන් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වුනා.

ඒ අනුව තරගය නිමා වුනේ ලකුණු 38-19ක් ලෙස උගන්ඩාවට ජයග්‍රහණය හිමිකර දෙමින්.

>> තරගයේ සම්පූර්ණ ප්‍රතිඵල වාර්තාව << 

ශ්‍රී ලංකාව 0-44 සැමෝවා

ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ සහභාගී වූ දෙවැනි තරගය සැමෝවා සමඟින් පැවැත්වුනා. එහි දී ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 44-0ක පරාජයක් අත්විඳීමට සිදු වුනා.

තරගයේ මුල් මිනිත්තුවේ සිටම සිය ආධිපත්‍ය පැතිරූ සැමෝවා ක්‍රීඩකයන් තරගය තුළ උත්සාහක දිනුම් 8ක් වාර්තා කර තිබුණා. ඊට අමතරව ප්‍රවර්තන දෙකක් ද ඔවුන් සිය ලකුණු පුවරුවට එක් කරගෙන තිබුණා.

>> තරගයේ සම්පූර්ණ ප්‍රතිඵල වාර්තාව << 

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම

ශ්‍රී ලංකාව 0-52 දකුණු අප්‍රිකාව

ශ්‍රී ලංකා කාන්තා රග්බි කණ්ඩායම සහභාගී වූ තවත් තරගයක් දකුණු අප්‍රිකාව සමඟින් පැවැත්වුනා. එහි දී ලකුණු 52-0ක් ලෙස ජයග්‍රහණය වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත් වුනා. එහි දී ඔවුන් උත්සාහක දිනුම් 8ක් සහ ප්‍රවර්තන 6ක් ලබාගෙන තිබුණා.

>> තරගයේ සම්පූර්ණ ප්‍රතිඵල වාර්තාව << 

ශ්‍රී ලංකාව 0-74 කැනඩාව

ශ්‍රී ලංකා සහ කැනඩා කාන්තා කණ්ඩායම් අතර පැවති තරගය ලකුණු 74-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට කැනඩාව සමත් වුනා. එහි දී ඔවුන් උත්සාහක දිනුම් 12ක් සහ ප්‍රවර්තන 7ක් වාර්තා කර තිබුණා.

>> තරගයේ සම්පූර්ණ ප්‍රතිඵල වාර්තාව << 

ශ්‍රී ලංකාව 0-58 ස්කොට්ලන්තය

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ සහභාගී වූ දෙවැනි තරගය ස්කොට්ලන්තය සමඟින් පැවැත්වුනා. එහි දී ස්කොට්ලන්තය උත්සාහක දිනුම් 10ක්, ප්‍රවර්තන 4ක් සමඟින් ලකුණු 58ක් වාර්තා කළ අතර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට කිසිදු ලකුණක් ලබා ගැනීමට ඔවුන් ඉඩ ලබා දුන්නේ නැහැ. ස්කොට්ලන්ත කණ්ඩායම තරගය ජයග්‍රහණය කළේ ලකුණු 58-0ක් ලෙසයි.

>> තරගයේ සම්පූර්ණ ප්‍රතිඵල වාර්තාව << 

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම අද(31) දකුණු අප්‍රිකාව සමඟින් ක්‍රීඩා කිරීමට නියමිතයි.

2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ උණුසුම ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<