හම්බන්තොටට අලුත් ක්‍රීඩා පාසලක්

224
Namal Rajapaksa Twitter

තරුණ හා ක්‍රීඩා කටයුතු අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මහතා ඊයේ (03) දිනයේ දී හදිසියේම හම්බන්තොට ප්‍රදේශයේ සංචාරයකට එක්ව තිබූ අතර එහිදී ක්‍රිකට් ක්‍රීඩාව සහ අනෙකුත් ක්‍රීඩා වෙනුවෙන් වෙන්වූ ක්‍රීඩා පාසලක් හම්බන්තොට දී ස්ථාපනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා බව පවසා තිබේ. ඒ බව ඔහුගේ twitter ගිණුම හරහා ද තහවුරු කර තිබුනි. 

“ඕනෑම ක්‍රීඩකයෙක් ඔහුගේ ක්‍රීඩාව දියුණු කරගන්නවා වගේම ඔහුගේ අධ්‍යාපනයත් හොඳට සංවර්ධනය කරගන්න ඕනේ. එහෙම වුනොත් තමයි සර්ව සම්පූර්ණ ක්‍රීඩකයෙක් බිහිවන්නේ.” යැයි රාජපක්ෂ මහතා සිය twitter ගිණුම හරහා පළකර තිබුනි. 

මෙම ව්‍යාපෘතිය සඳහා ගරු අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා ද එක්ව සිටින අතර එතුමාට ද සිය ස්තූතිය පුද කිරීමට රාජපක්ෂ මහතා අමතක නොකළේය. 

තවත් ක්‍රිකට් පුවත් කියවන්න: 

මෙම ක්‍රීඩා පාසලේ පළමු අධ්‍යයන වර්ෂය 2021 වසර ආරම්භයේ දී සිදුකිරීම සඳහා දැනට සැලසුම් කර තිබෙන අතර පළමු පන්තිය පිරිමි සිසුන් 40 දෙනෙකුගෙන් සමන්විත වීමට නියමිතය. ඉන් අනතුරුව තවත් පන්ති 2ක් එකතු කෙරෙන අතර පිරිමි සහ ගැහැණු යන දෙඅංශයේම තවත් සිසුන් 80 දෙනෙකුගෙන් සමන්විත වේ. 

එසේම පසුගිය අගෝස්තු මස 28 වැනිදා අධ්‍යාපන අමාත්‍යංශය සහ ක්‍රීඩා අමාත්‍යාංශය එක්ව මේ පිළිබඳව සාකච්ඡා කර ඇති අතර එහිදී ක්‍රීඩා 25ක් ඉලක්ක කරගනිමින් මෙම සැලසුම නැවත ප්‍රතිව්‍යුහ ගත කොට ක්‍රියාත්මක කළ යුතු බවට තීරණය වී තිබේ. ඒ සඳහා තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යංශය එකට එක්කාසුව ඉතාමත් හොඳ අවබෝධයක් ඇතිව මේ රටේ ක්‍රීඩාව දියුණු කිරීම සඳහා අවශ්‍ය මාර්ගය සකස් කළ යුතු බවට නාමල් රාජපක්ෂ මහතා එම සාකච්ඡාවේ දී පවසන ලදි. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<