බ්‍රිතාන්‍ය යටත් විජිත රාජ්‍යයන් අතර පැවැති British Empire Games මේ වන විට පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල හෙවත් Commonwealth Games ලෙසින් පරිවර්තනය වී තිබෙනවා.

22 වැනි වරටත් පැවැත්වෙන මෙවර තරගාවලිය එංගලන්තයේ Birmingham හිදී පැවැත්වීමට නියමිතයි.

මෙතෙක් මෙම ක්‍රීඩා උළෙල 21 වතාවක් පවත්වා ඇතත්, අප සහභාගී වී ඇත්තේ ඉන් ක්‍රීඩා උළෙල 16කට පමණයි. එහි දී රන් පදක්කම් 4ක්, රිදි පදක්කම් 8ක් සහ ලෝකඩ පදක්කම් 8ක් සමඟින් එකතුව පදක්කම් 20ක් දිනා ගැනීමට අප සමත්ව සිටිනවා.

පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවේ සහභාගීත්වය සහ එක් එක් වසරවල දිනා ඇති පදක්කම් ප්‍රමාණය

වසර පැවැති රට රන් රිදී ලෝකඩ එකතුව
1 1930 කැනඩාව සහභාගීත්වයක් නැත
2 1934 එංගලන්තය සහභාගීත්වයක් නැත
3 1938 ඕස්ට්‍රේලියාව 1 0 0 1
4 1950 නවසීලන්තය 1 2 1 4
5 1954 කැනඩාව සහභාගීත්වයක් නැත
6 1958 Wales 0 0 0 0
7 1962 ඕස්ට්‍රේලියාව 0 0 0 0
8 1966 ජැමෙයිකාව 0 0 0 0
9 1970 ස්කොට්ලන්තය 0 0 0 0
10 1974 නවසීලන්තය සහභාගීත්වයක් නැත
11 1978 කැනඩාව 0 0 0 0
12 1982 ඕස්ට්‍රේලියාව 0 0 0 0
13 1986 ස්කොට්ලන්තය සහභාගීත්වයක් නැත
14 1990 නවසීලන්තය 0 0 0 0
15 1994 කැනඩාව 1 2 0 3
16 1998 මැලේසියාව 0 1 1 2
17 2002 එංගලන්තය 0 0 0 0
18 2006 ඕස්ට්‍රේලියාව 1 0 0 1
19 2010 ඉන්දියාව 0 1 1 2
20 2014 ස්කොට්ලන්තය 0 1 0 1
21 2018 ඕස්ට්‍රේලියාව 0 1 5 6
        පදක්කම් එකතුව 4 8 8 20

තරගාවලියේ ආරම්භය ලෙසින් සනිටුහන් වෙන්නේ 1930 අවුරුද්දයි. නමුත් අප එහි සමාරම්භක ක්‍රීඩා උළෙලටත්, දෙවැනි ක්‍රීඩා උළෙලටත් සහභාගී වෙන්නේ නැහැ. අනතුරුව 1938 වසරේ දී ඕස්ට්‍රේලියාවේ පැවති තරගාවලිය සඳහා අප සහභාගී වෙනවා. ඒ එංගලන්ත ධජය යටතේ Ceylon යන නාමයෙන්.

අපේ පළමු පදක්කම

සහභාගී වූ පළමු වසරේ දී ම පදක්කමක් දිනා ගැනීමට අපේ රට සමත් වෙනවා. එය රන් පදක්කමත් වීමත් සුවිශේෂයි. කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වූ බර්නි විලියම් හෙන්රිකස් මේ රන් පදක්කම ගෙල පලඳින්නේ 57kg featherweight බර පංතියේ බොක්සිං ඉසව්වට සහභාගී වෙමින්. ඒ වෙද්දී ඔහු පොලිස් සේවයේ නියුතු උපපොලිස් පරීක්ෂකවරයෙක්.

දිනූ රන් පදක්කම හේතුවෙන් අප පළමු වරට සහභාගී වූ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කණ්ඩායම් 11ක් අතරින් 7 වැනි ස්ථානය දිනා ගැනීමට සමත් වෙනවා. එය එතෙක් මෙතෙක් අපේ කණ්ඩායමක් මෙම ක්‍රීඩා උළෙලේ දී දිනා ඇති ඉහළ ම ස්ථානයයි.

අනතුරුව අපේ ක්‍රීඩකයෝ නැවත වතාවක් තරගාවලිය සඳහා සහභාගී වෙන්නේ ඉන් වසර 12කට පසුව 1950 දී නවසීලන්තයේ පැවති ක්‍රීඩා උළෙලටයි. 1942 දී කැනඩාවේ දී ද, 1946 දී වේල්සයේ දී ද පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රීඩා උළෙලවල් ලෝක යුද්ධය හේතුවෙන් පැවැත්වෙන්නේ නැහැ.

9 වැනි ස්ථානය ලැබූ සිව්වැනි ක්‍රීඩා උළෙල

එවර අපේ ක්‍රීඩකයන් ක්‍රීඩා උළෙලට එක්වෙන්නේ Ceylon යන නාමයෙන් යුක්තව අපේ ම වූ ධජයක් යටතේ. එහි දී අපේ කණ්ඩායම රන් පදක්කමක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් සමඟින් පදක්කම් 4ක් දිනා ගනිමින් ක්‍රීඩා උළෙලේ 9 වැනි ස්ථානය දිනා ගන්නවා.

එහි වඩාත් කැපී පෙනුණ ක්‍රීඩකයා වූයේ 1948 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ දී රිදී පදක්කමක් දිනා ගනිමින් මෙරට පළමු ඔලිම්පික් පදක්කම්ලාභියා ලෙසින් ගෞරවයට පත් ඩන්කන් වයිට්. ඔහු මෙම ක්‍රීඩා උළෙලේ දී රන් පදක්කම දිනා ගන්නේ යාර 440 කඩුලු පැනීමේ ඉසව්වට සහභාගී වෙමින්.

මෙරට පළමු ඔලිම්පික් පදක්කම්ලාභියා වන ඩන්කන් වයිට්

ඊට අමතර ව බොක්සිං තරග ඉසව් සඳහා සහභාගී වූ කේ. එඩ්වින් සහ ඇල්බට් පෙරේරා රිදී පදක්කම් දිනා ගැනීමට සමත් වෙනවා. කේ. එඩ්වින් Flyweight බර පංතියෙන් ද ඇල්බට් පෙරේරා Bantamweight බර පංතියෙන් ද පදක්කම් දිනා ගන්නවා.

එම ඉසව්වේ ම Welterweight බර පංතිය නියෝජනය කළ ඇලෙක්ස් ඔබේසේකර ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වෙනවා.

 

පදක්කම් නියඟය

අනතුරුව පැවැත්වෙන ක්‍රීඩා උළෙල 7කට අපේ ක්‍රීඩකයෝ සහභාගී වූව ද, ඉන් එක ම හෝ පදක්කමක් දිනා ගැනීමට අපට හැකි වෙන්නේ නැහැ. මේ කාලය අවුරුදුවලින් ගණනය කරන්නේ නම් අවුරුදු 32ක්. ඒ අතර 1974 දී සහ 1986 දී ක්‍රීඩා උළෙල සඳහා අපේ සහභාගීත්වයක් සිදු වෙන්නේ නැහැ. කෙසේ වෙතත් එතෙක් Ceylon යන නාමයෙන් යුත් ක්‍රීඩා උළෙල නියෝජනය කළ අපේ ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාව නමින් සහභාගී වෙන්නේ මේ පදක්කම් නොමැතිව ගෙවී ගිය එක් වසරක් වූ 1978 වසරේ දී.

නැවතත් පදක්කම් ලැයිස්තුවට

අනතුරුව 1994 දී කැනඩාවේ දී පැවති ක්‍රීඩා උළෙලේ දී අපේ ක්‍රීඩකයෝ රන් පදක්කමක් සහ රිදී පදක්කම් 2ක් සමඟින් පදක්කම් 3ක් දිනා ගනිමින් ක්‍රීඩා උළෙලේ 16 වැනි ස්ථානය දිනා ගන්නවා.

1994 වසරේ දී මෙරට දිනූ පදක්කම් පොකුරේ හිමිකාරිත්වය ඉලක්කයට වෙඩි තැබීමේ කණ්ඩායමට.

1994 වසරේ දී මෙරට දිනූ පදක්කම් පොකුරේ හිමිකාරිත්වය ඉලක්කයට වෙඩි තැබීමේ කණ්ඩායමට.

ඊට මූලිකත්වය ලබා දෙන්නේ ඉලක්කයට වෙඩි තැබීමේ කණ්ඩායමයි. එහි දී ඉලක්කයට වෙඩි තැබීමේ කාන්තා Air Rifle යුගල ඉසව්වට සහභාගී වෙන පුෂ්පමාලි රාමනායක සහ මාලි වික්‍රමසිංහ රන් පදක්කම දිනා ගන්නවා. එය මෙරට පොදුරදමඬුලු ක්‍රීඩා උළෙලේ එතෙක් මෙතෙක් රන් දිනූ කාන්තාවන් ලෙසින් ඉතිහාස ගත වෙනවා.

 ඊට අමතරව Air Rifle ඒකල ඉසව්වට සහභාගී වෙන මාලි වික්‍රමසිංහ රිදී පදක්කමක් ද දිනා ගන්නවා.

මෙරට පොදුරදමඬුලු ක්‍රීඩා උළෙලක පදක්කම් දෙකක් දිනා ගත් පළමු ශ්‍රී ලාංකිකයා වීමටත් සහ එක ම ක්‍රීඩා උළෙලක එම දක්ෂතාව කළ එක ම ශ්‍රී ලාංකිකයා වීමටත් ඇය ඒ සමඟ සමත් වුනා.

එමෙන් ම මෙතෙක් එවැනි දක්ෂතාවක් කළ එක ම ක්‍රීඩිකාව වන්නේ ද ඇයයි.

අනතුරුව Small Bore Rifle පිරිමි යුගල ඉසව්වට සහභාගී වූ චන්ද්‍රසිරි දොඩන්ගොඩ සහ  ලක්ෂ්මන් රාජසිංහ ද රිදි පදක්කමක් දිනා දෙමින් එතෙක් වූ පදක්කම් පිපාසය සංසිඳුවනවා.

ශ්‍රියානි සහ සුගත්

අනතුරුව 1998 දී මැලේසියාවේ දී පැවති ක්‍රීඩා උළෙලේ දී ශ්‍රියානි කුලවංශ විසින් කාන්තා මීටර් 100 ඉසව්වෙන් රිදි පදක්කමක් ද, පිරිමි මීටර් 400 ඉසව්වට සහභාගී වූ සුගත් තිලකරත්න ලෝකඩ පදක්කමක් ද දිනා ගැනීමට සමත් වෙනවා.

අනතුරුව නැවත වතාවක් පදක්කම් නොමැති ක්‍රීඩා උළෙලක් නිර්මාණය වෙනවා. ඒ 2002 එංගලන්ත පොදුරදමඬුලු ක්‍රීඩා උළෙල. ඒ වෙනුවෙන් මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 56 දෙනෙක් සහභාගී වෙනවා.

චින්තන ගීතාල් විදානගේ

මේ පදක්කම් නියඟය නිමා කරන්නේ බර ඉසිලීමේ ඉසව්ව නියෝජනය කළ චින්තන ගීතාල් විදානගේ. 2006 ඕස්ට්‍රේලියාවේ පැවති ක්‍රීඩා උළෙලේ පිරිමි 62kg බර ඉසිලීමේ ඉසව්වට සහභාගී වෙන චින්තන එහි දී රන් පදක්කම දිනා ගන්නවා. එය මෙරට පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මෙතෙක් අවසන් වරට දිනා ඇති රන් පදක්කමයි.

චින්තන ගීතාල් විදානගේ

ඉන්දියාවේ දී 28 වැනියා වීම

අනතුරුව පැවති ක්‍රීඩා උළෙලේ දී නැවත වතාවක් පදක්කමක් දිනා ගැනීමට චින්තන සමත් වෙනවා. ඒ 2010 ඉන්දියාවේ පැවති ක්‍රීඩා උළෙලේ දී පිරිමි 69kg බර ඉසිලීමේ ඉසව්වට සහභාගී වෙමින් රිදී පදක්කමක් දිනා ගනිමින්. ඒ සමඟම පොදුරදමඬුලු ක්‍රීඩා උළෙලක පදක්කම් 2ක් දිනා ගත් පළමු ක්‍රීඩකයා වීමට චින්තන සමත් වෙනවා.

එම ක්‍රීඩා උළෙලේ දී පිරිමි 62kg බර ඉසිලීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සුදේශ් පීරිස් සමත් වෙනවා.

සුදේශ් පීරිස්

නැවතත් සුදේශ් පීරිස්

ස්කොට්ලන්තයේ 2014 වසරේ දී පැවති ක්‍රීඩා උළෙලේ දී නැවත වතාවක් පදක්කමක් දිනා ගැනීමට සුදේශ් පීරිස් සමත් වෙනවා. ඔහු එවර ද තමන්ගේ ඉසව්ව වූ පිරිමි 62kg බර ඉසිලීමේ ඉසව්වට සහභාගී වෙමින් රිදී පදක්කමක් දිනා ගන්නවා.

ඒ සමඟම පොදුරදමඬුලු ක්‍රීඩා උළෙලක පදක්කම් 2ක් දිනා ගත් දෙවැනි ක්‍රීඩකයා බවට පත් වීමට සුදේශ් සමත් වෙනවා.

ඉතිහාසයේ වැඩිම පදක්කම් දිනූ 2018

පොදුරාජ්‍ය මණ්ඩලීය තරග ඉතිහාසයේ ආසන්නත ම ක්‍රීඩා උළෙලේ දී අපේ ක්‍රීඩකයෝ පදක්කම් 6ක් දිනා ගනිමින් ඉතිහාසයේ වැඩිම පදක්කම් ප්‍රමාණයක් හිමිකර ගත් ක්‍රීඩා උළෙල ලෙසින් එය නිමාවට පත් කරනවා.

එහි දී දිනා ගනු ලැබූ එක ම රිදී පදක්කමේ හිමිකාරිත්වය පිරිමි 69kg බර ඉසිලීමේ ඉසව්වට සහභාගී වූ ඉන්දික දිසානායක සතු කර ගන්නවා.

අනතුරුව පිරිමි 56kg බර ඉසිලීමේ ඉසව්වට සහභාගී වූ චතුරංග ලක්මාල් සහ කාන්තා 48kg බර ඉසිලීමේ ඉසව්වට සහභාගී වූ දිනූෂා ගෝමස් ලෝකඩ පදක්කම් දිනා ගන්නවා.

අනෙක් ලෝකඩ පදක්කම් 3 බර ඉසිලීමේ කණ්ඩායම අතර බෙදී ගියා. ඒ අනුව කාන්තා 48kg ඉසව්වට සහභාගී වූ අනුෂා කොඩිතුවක්කු, පිරිමි 49kg ඉසව්වට සහභාගී වූ තිවංක රණසිංහ සහ පිරිමි 52kg ඉසව්වට සහභාගී වූ ඉෂාන් බණ්ඩාර පොදුරදමඬුලු ශ්‍රී ලාංකීය පදක්කම් ලැයිස්තුවට එක් වුනා.

ඒ අනුව මේ දක්වා ශ්‍රී ලංකා පදක්කම් ලැයිස්තුව සැකසීමේ දී බර ඉසිලීමේ සහ බොක්සිං කණ්ඩායම් පදක්කම් 7 බැගින් ලබා ගනිමින් ඉදිරියෙන් පසු වෙන අතර ඉලක්කයට වෙඩි තැබීමේ සහ මලල ක්‍රීඩා කණ්ඩායම් පදක්කම් 3 බැගින් දිනා ගනිමින් ඊට දෙවැනි වී සිටිනවා.

මෙවර ක්‍රීඩා උළෙල සඳහා මෙරට නියෝජනය කරමින් ක්‍රීඩා 13ක් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 110ක් දෙනෙක් සහභාගී වෙනවා. මීට පෙර මෙම තරගාවලිය සඳහා වැඩිම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ප්‍රමාණයක් සහභාගී කර තිබුණේ 2014 වසරේ දී. එහි ප්‍රමාණය 103ක්.

මෙවර තරගාවලියට එක් වෙන ක්‍රීඩක ක්‍රීඩිකාවෝ

3x3 පැසිපන්දු

  • පිරිමි කණ්ඩායම; සිම්රොන් යෝගනාදන්, ජනිත් චතුරංග, සුපුන් රුක්ෂාන්, ආර්නෝල්ඩ් තෙවකුමාර්
  • කාන්තා කණ්ඩායම; නිහාරි පෙරේරා, චලනි පෙරේරා, ෆාතිමා මෝසෙත්, රශ්මි පෙරේරා

මලල ක්‍රීඩා

යුපුන් අබේකෝන් (මීටර් 100 සහ මීටර් 200 පිරමි) කාලිංග කුමාරගේ (මීටර් 400 පිරිමි) ගයන්තිකා අබේරත්න (මීටර් 800 සහ මීටර් 1500 කාන්තා) නිලානි රත්නායක (මීටර් 3000 කාන්තා බාධක දිවීම) සුමේධ රණසිංහ (හෙල්ල වීසි කිරීම පිරිමි) පාලිත බණ්ඩාර (ආබාධිත කවපෙත්ත විසිකිරීම පිරිමි) සාරංගි සිල්වා (දුර පැනීම කාන්තා)

බැඩ්මින්ටන්

  • පිරිමි කණ්ඩායම; දුමිඳු අබේවික්‍රම, නිලූක කරුණාරත්න, සචින් ඩයස්, බුවනෙක ගුණතිලක
  • කාන්තා කණ්ඩායම; සුහස්නි විදානගේ, තිළිණි හෙන්දහේවා

වෙරළ වොලිබෝල්

  • පිරිමි කණ්ඩායම; මලින්ත යාපා, අශේන් රශ්මික
  • කාන්තා කණ්ඩායම; දීපිකා බණ්ඩාර, චතුරිකා වීරසිංහ

බොක්සිං

  • පිරිමි කණ්ඩායම; ඉෂාන් බණ්ඩාර (51kg), රුක්මල් ප්‍රසන්න(54kg), ජීවන්ත නිශ්ශංක (57kg), සංජීව බණ්ඩාර (63.5kg), නික්ලාස් විටලිස් (71kg)
  • කාන්තා කණ්ඩායම; නදීකා පුෂ්පකුමාරි (48kg), කේශානි හංසිකා (50kg), සජීවනී කුරේ (57kg)

ක්‍රිකට් (කාන්තා)

චමරි අතපත්තු, නිලක්ෂි ද සිල්වා, කවීශා දිල්හාරි, සචිනි ගෝනාපීනුවල, අචිනි කුලසූරිය, අමා කාංචනා, සුගන්ධිකා කුමාරි, හසිනි පෙරේරා, උදේශිකා ප්‍රබෝධනී, ඉනෝකා රණවීර, ඕෂදී රණසිංහ, අනුශ්කා සංජීවනී, හර්ෂිතා සමරවික්‍රම, ප්‍රසාදනී වීරක්කොඩි, ඉමේෂා විතාරණ

Diving

දුලංජන ප්‍රනාන්දු

ජිම්නාස්ටික්

  • පිරිමි කණ්ඩායම; රුචිර ප්‍රනාන්දු, මලින් ප්‍රනාන්දු, හංස කුමාරසිංහගේ
  • කාන්තා කණ්ඩායම; මිල්කා ගෙහානි, කෞෂිනී ගමගේ, අමායා කලුකොට්ටගේ, කුමුදි අබේරත්න, ඈන් මේරි ඔන්ඩිට්ජේ

ජූඩෝ

  • පිරිමි කණ්ඩායම; ප්‍රේමරත්න වික්‍රම (60kg), චාමර රැපියල්ලගේ (73kg), රජිත පුෂ්පකුමාර (81kg)
  • කාන්තා කණ්ඩායම; චමිලා මාරප්පුලිගේ (60kg), හිරුණි විතාන (78kg වැඩි)

සත් සාමාජික රග්බි

  • පිරිමි කණ්ඩායම; දිල්රුක්ෂ දන්ගේ, සුදාරක දික්කුඹුර, දන්ෂ චන්ද්‍රදාස, මිතුන් හපුගොඩගේ, රවිඳු හෙට්ටිආරච්චි, බුද්ධිම කුඩාච්චිගේ, කවිඳු පෙරේරා, රීසා රෆායිඩීන්, නයිජල් රත්වත්තේ, අශාන් රත්වත්තේ, චතුර සෙනෙවිරත්න, ශ්‍රීනාත් සූරියබණ්ඩාර, අදීශ වීරතුංග
  • කාන්තා කණ්ඩායම; අනුෂා අත්තනායක, කුමාරි දිල්රුක්ෂි, ජීවන්ති ගුණවර්ධන, සන්දිකා හේමකුමාරි, දිලිනි කාංචනා, චරණි ලියනගේ, ශානිකා මධුමාලි, කාංචනා මහේන්ද්‍රන්, දුලානි පල්ලික්කොන්දගේ, අයේෂා පෙරේරා, නිපුනි රසාංජලි, අනුශිකා සමරවීර, උමයංගනා තත්සරණි

Squash

  • පිරිමි කණ්ඩායම; රවිඳු ලක්සිරි, ශාමීල් වකීල්
  • කාන්තා කණ්ඩායම; චනිත්මා සිනලි, යෙහෙනි කුරුප්පු

පිහිනුම්

අකලංක පීරිස් (පිරිමි මීටර් 50 backstroke සහ මීටර් 50 butterfly), ගංගා සෙනෙවිරත්න (කාන්තා මීටර් 100 backstroke සහ කාන්තා මීටර් 200 backstroke)

බර ඉසිලීම

  • පිරිමි කණ්ඩායම; ඩිලංක ඉසුරු කුමාර (55 kg), තිලංක පළඟසිංහ (61 kg), චතුරංග ලක්මාල් (67 kg), ඉන්දික දිසානායක (73 kg), චින්තන විදානගේ (81 kg), උශාන් චාරුක (109kg වැඩි)
  • කාන්තා කණ්ඩායම; ශ්‍රීමාලි සමරකෝන් (49 kg), චමර වර්ණකුලසූරිය (55 kg), චතුරිකා ප්‍රියන්ති (87 kg), ත්‍රිමාලි හපුතැන්නේ (87kg වැඩි)

මල්ලවපොර

  • පිරිමි කණ්ඩායම; සිනෙත් චතුරංග (74 kg), සුරංග ප්‍රනාන්දු (86 kg)
  • කාන්තා කණ්ඩායම; නිරෝෂි ගමගේ (50 kg), චමෝද්‍යා කේශානි (53 kg), නෙත්මි අහිංසා (57 kg), හසිනි සිල්වා (62 kg)

පොදුරදමඬුලු ක්‍රීඩා උළෙල නියෝජනය සඳහා ශ්‍රී ලංකා ධජය යටතේ සහභාගී වූ සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ThePapare.com හී උණුසුම් සුබ පැතුම්! තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය ThePapare.com සමඟින්.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<