ලෝක වාර්තාවක් අලුත් වූ CWG දෙවැනි දිනය

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022

258
ඡායාරූප Getty Images

එංගලන්තයේ බර්මින්හැම් හිදි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දෙවැනි දිනය ඊයේ (30) සාර්ථකව නිමාව දුටුවා.

එහි දී පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් සුපිරි දක්ෂතා දක්වමින් වාර්තා 6ක් අලුත් කරන්නට සමත් වූ අතර ඊට එක් ලෝක වාර්තාවක් සහ තරගාවලිය වාර්තා 5ක් ඇතුළත් වුනා.

පිහිනුම්

Katja Dedekwind ©insidethegames
Katja Dedekwind ©insidethegames

පිහිනුම් ඉසව්වෙන් කැපී පෙනෙන දක්ෂතා දක්වන්නට ඕස්ට්‍රේලියා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඊයේ සමත් වුනා. එහි දී ඕස්ට්‍රේලියානු පැරා පිහිනුම් ක්‍රීඩිකා Katja Dedekwind විසින් S13 කාන්තා මීටර් 50 නිදහස් ආර ඉසව්වේ රන් පදක්කම දිනා ගනිමින් ඉසව්වේ නව ලෝක වාර්තාවක් පිහිටුවන්නට සමත් වුනා. ඇය එම ඉසව්ව සඳහා දැක්වූ දක්ෂතාවය තත්පර 26.56ක්.

එමෙන්ම මීටර් 400 පිරිමි කේවල Medley ඉසව්ව සඳහා සහභාගී වූ 22 හැවිරිදි ඕස්ට්‍රේලියානු ක්‍රීඩක Lewis Clareburt විසින් මිනිත්තු 4:08.70ක දක්ෂතාවයක් වාර්තා කරමින් ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ පොදුරාජ්‍ය මණ්ඩලීය තරග වාර්තාවක් (Commonwealth Game Record – GR) අලුත් කරමිනුයි.

මීටර් 4×100 නිදහස් ආර සහය පිහිනුම් ඉසව්වේ රන් පදක්කම ජයග්‍රහණය කරන්නට ඕස්ට්‍රේලියාව සමත් වුනේ නව තරග වාර්තාවක් (GR) අලුත් කරමින් වීම විශේෂත්වයක්. එහි දී ඔවුන් විසින් එම ඉසව්ව නිමා කරන්නට මිනිත්තු 3:11.12ක කාලයක් ගත කළ අතර ජයග්‍රාහී කණ්ඩායම සඳහා Flynn Southam, Zac Incerti, William Xu Yang සහ Kyle Chalmers ඇතුළත් වුනා.

රන් පදක්කම් දිනූ ඕස්ට්‍රේලියා මීටර් 4×100 කණ්ඩායම

ඊට අමතරව මීටර් 100 සමනල ආර ඉසව්වේ ප්‍රථම ස්ථානය සමඟින් නව තරග වාර්තාවක් (GR) අලුත් කරන්නට කැනේඩියානු ක්‍රීඩික‍ා Margaret Macneil සමත් වුනා. ඇය දැක්වූ දක්ෂතාව තත්පර 56.36ක්.

එමෙන්ම, මීටර් 50 සමනල ආර ඉසව්වට සහභාගී වූ එංගලන්ත ක්‍රීඩක Benjamin Proud තත්පර 22.81කින් ඉසව්ව අවසන් කරමින් රන් පදක්කමක් සමඟ නව තරග වාර්තාවක් (GR) අලුත් කරන්නට සමත් වුනා.

දිනයේ අලුත් වූ අවසන් වාර්තාවට (GR) හිමිකම් කීවේ දකුණු අප්‍රිකානු ක්‍රීඩිකා Lara Van Niekerk. ඇය තත්පර 29.73කින් කාන්තා මීටර් 50 පසුපස ආර ඉසව්ව අවසන් කරමින් රන් පදක්කම ජයග්‍රහණය කරන්නට සමත් වුනා.

Lara Van Niekerk
Lara Van Niekerk

මලල ක්‍රීඩා

උගන්ඩා ක්‍රීඩක Victor Kiplangat පිරිමි මැරතන් ඉසව්වේ රන් පදක්කම දිනා ගන්නට ඊයේ සමත් වුනා. ඒ පැය 2:10:55ක කාලයකින් ඉසව්ව අවසන් කරමින්. ඉසව්වේ රිදි පදක්කම මිනිත්තු 1:34ක් පසුපසින් ඉසව්ව නිමා කළ ටැන්සානියා ක්‍රීඩක Alphonce Felix Simbu (පැය 2:12:29) විසින් දිනා ගනිද්දී, කෙන්යා ක්‍රීඩක Michael Mugo Githae (පැය 2:13:16) විසින් ‍ලෝකඩ පදක්කම ජයග්‍රහණය කළා.

පදක්කම් දිනූ මැරතන් ක්‍රීඩකයින්

කාන්තා මැරතන් ධාවන ඉසව්වේ අවසන් තරග ද ඊයේ පැවති අතර එහි දී රන් පදක්කම දිනා ගන්නට ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකා Jessica Stenson සමත් වුනේ පැය 2:27:31ක කාලයකින් ඉසව්ව අවසන් කරමිනුයි. ඇය මෙවර තරග වාරයේ දැක්වූ හොඳම දක්ෂතාව (Season Best) මෙයයි.

කෙන්යානු ක්‍රීඩිකා Margaret Wangari Muriuki විසින් සිය හොඳම පුද්ගලික දක්ෂතාවය වාර්තා කරමින් (පැය 2:28:00) රිදි පදක්කමත්, නැමීබියානු ජාතික ක්‍රීඩිකා Helalia Johannes ඇයගේ මෙවර තරග වරායේ හොඳම දක්ෂතාවය (පැය 2:28:39) වාර්තා කරමින් විසින් ලෝකඩ පදක්කමත් ජයග්‍රහණය කළා.

බර එසවීම

මෙම ක්‍රීඩාවේ අවසන් තරග කිහිපයක් ඊයේ පැවති අතර එහි දී පිරිමි 55Kg බර පන්තියේ ප්‍රථම ස්ථානය දිනා ගන්නට මැලේසියා ජාතික Hohamad Aniq සමත් වුනේ Snatch ක්‍රමයෙන් 107Kg සහ Clean & Jerk යටතේ 138Kg සමඟින් සමස්තය 249kg දක්ෂතාවයක් දක්වමිනුයි. ඉසව්වේ තෙවැනි ස්ථානය දිනා ගත්තේ ශ්‍රී ලංකා ක්‍රීඩක ඉසුරු කුමාර විසිනුයි.

61kg බර පන්තිය යටතේ රන් පදක්කම දිනා ගන්නටත් මැලේසියානු ජාතික ක්‍රීඩකයෙකු වූ Aznil Muhamad සමත් වූ අතර ඔහු විසින් සමස්ත බර ප්‍රමාණය 285kg එසවමින් රන් පදක්කම ජයග්‍රහණය කරන්නට සමත් වුනා.

කාන්තා 49kg ඉසව්වේ ද නව තරග වාර්තාවක් (GR) සමඟින් රන් පදක්කම දිනා ගන්නට ඉන්දීය ක්‍රීඩිකා Chanu Saikhom Mirabai සමත් වුනේ සමස්ත බර ප්‍රමාණය 201kg දක්ෂතාවයක් දක්වමිනුයි.

ඊට අමතරව කාන්තා 55kg බර පන්තියේ අවසන් තරගය ද ඊයේ පැවති අතර සමස්ත බර ප්‍රමාණය 203kg දැක්වූ නයිජීරියා ක්‍රිඩිකා Adenike Olarinoye විසින් රන් පදක්කම දිනා ගන්නට සමත් වුනේ තරග වාර්තාවක් ද අලුත් කරමිනුයි.

Chanu Saikhom Mirabai

මේ දක්ෂතා සමඟින් ක්‍රීඩා උළෙලේ දෙවැනි දිනය නිමා වන විටත් පදක්කම් සටහනේ පෙරමුණ දිනා ගන්නට ඕස්ට්‍රේලියාව සමත් වී සිටින්නේ පදක්කම 32ක් ජයග්‍රහණය කරමිනුයි. ඒ අතරට රන් පදක්කම් 13ක්, රිදි පදක්කම් 8ක් සහ ලෝකඩ පදක්කම් 11ක් ඇතුළත් වනවා. දෙවැනි සහ තෙවැනි ස්ථාන පිළිවෙළින් නවසීලන්තය (13) සහ එංගලන්තය (21) සතුවනවා.

දෙවැනි දිනය අවසානයේ පදක්කම් සටහන

ක්‍රීඩා උළෙලේ තෙවැනි දිනය අද (31) ආරම්භ වන අතර පිහිනුම්, artistic Gymnastic, පාපැදි ධාවන, තුන්ප්‍රයාම ඉසව් හි අවසන් තරග පැවැත්වීමට නියමිතයි.

2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ සිරි-අසිරිය ඔබ වෙත සමීප ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<