බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ ඉදිරියට යද්දී පළමු පදක්කම ඩිලංකගෙන්

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022

760
Commonwealth Games 2022

බර්මින්හැම් නුවර දී පැවැත්වෙන 22 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පදක්කම දිනා දීමට ඩිලංක ඉසුරු කුමාර සමත් වුනා.

බර එසවීමේ ඉසව්ව නියෝජනය කළ ඩිලංක මෙහි දී දිනා ගත්තේ ලෝකඩ පදක්කමක්. කිලෝග්‍රෑම් 55 බර පංතිය නියෝජනය කළ ඩිලංක Snatch ක්‍රමයට කිලෝග්‍රෑම් 105ක් ද, Clean & Jerk ක්‍රමයට කිලෝග්‍රෑම් 120ක් ද ඔසවනු ලැබුවා. ඒ අනුව ඔහු එසවූ සම්පූර්ණ බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 226ක්.

මෙම ඉසව්වේ රන් පදක්කම දිනූ මැලේසියාවේ 20 හැවිරිදි Mohamad Aniq කිලෝග්‍රෑම් 249ක එකතුවක් ඔසවනු ලැබූ අතර එය පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ නව වාර්තාවක් ලෙසින් ද සටහන් වූවා. රිදී පදක්කම දිනා ගත් ඉන්දියාවේ Sanket Mahadev ඔසවනු ලැබූ සම්පූර්ණ බර එකතුව කිලෝග්‍රෑම් 248ක්.

ඩිලංක පදක්කමක් කරා යන ගමනේ දී Snatch ක්‍රමය යටතේ කිලෝග්‍රෑම් 112ක බර එසවීමටත් සහ Clean & Jerk ක්‍රමය යටතේ කිලෝග්‍රෑම් 141ක බර එසවීමටත් උත්සාහ කළ ද එම උත්සාහයන් සාර්ථක වූයේ නැහැ.

26 හැවිරිදි ඩිලංක මීට පෙර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 2019 වසරේ දී තායිලන්තයේ පැවති ලෝක බර එසවීමේ තරගාවලිය ද නියෝජනය කළා.

බැඩ්මින්ටන්

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ඊයේ ඉන්දියාව හා පාකිස්තාන කණ්ඩායම් සමඟින් තරග වැදුණා. එහි දී ඉන්දියාව සමඟ පැවති මිශ්‍ර කණ්ඩායම් ඉසව්ව 5-0ක් ලෙසින් පරාජයකට පත් වෙන ඔවුන් පාකිස්තානය සමඟ 4-1ක් ලෙසින් ජයග්‍රහණය කරන්නට සමත් වුනා. ඒ අනුව තවදුරටත් පදක්කමක් කරා යෑමේ ගමනේ නිරත වීමට බැඩ්මින්ටන් කණ්ඩායම වාසනාව උදා කර ගත්තා.

තරගාවලියේ වඩාත් සටන්කාමී කණ්ඩායමක් ලෙසින් ඉන්දීය කණ්ඩායම හැඳින්විය හැකියි. 2018 යොවුන් ඔලිම්පික් උළෙලේ මිශ්‍ර කණ්ඩායම් රිදි පදක්කම්ලාභී කණ්ඩායමේ සාමාජිකයෙක් වූ Sen Lakshya ද එහි සිටිනවා. ඔහු වෙතින් අපේ අංක එකේ ක්‍රීඩක නිලූක කරුණාරත්න 18:21ක් සහ 5:21ක් ලෙසින් පරාජය වීම ඉන්දියාව හමුවේ පරාජය වීමට ප්‍රමුඛ හේතුව වුනා.

මේ පරාජයත් සමඟින් අනෙක් කිසිවෙක්ටත් ඉන්දියාව පරාජය කිරීමට හැකි වෙන්නේ නැහැ. එසේ වුනත් පාකිස්තානය සමඟ තරගය සම්පූර්ණයෙන් වෙනස් ආකාරයකට අවසන් කිරීමට අපේ ක්‍රීඩකයෝ සමත් වෙනවා.

ඒ අනුව පාකිස්තානය සමඟ මිශ්‍ර යුගල ඉසව්වට එක් වූ සචින් ඩයස් සහ තිළිණි හෙන්දහේවා පාකිස්තානයේ Irfan Saeed සහ Siddique Ghazala පහසුවෙන් ම පරාජය කළා. ඒ 2-0ක ජයග්‍රහණයක් වාර්තා කරමින්. ඔවුන් ලකුණු පුවරුව දිස් වුනේ 21:9ක් සහ 21:11ක් ලෙසයි.

අනතුරුව පිරිමි කේවල ඉසව්වට සහභාගී වූ නිලූක කරුණාරත්න Ali Muradට එරෙහිව 21:9ක් සහ 21:11ක් ලෙසින් පහසුවෙන් ම පරාජය කරමින් 2-0ක ජයග්‍රහණයක් වාර්තා කළා.

පිරිමි යුගල ඉසව්වට ද එක් වූ නිලුක කරුණාරත්න එහි දී සචින් ඩයස්

සමඟ එක් වෙමින් Ali Murad සහ Irfan Saeed පරාජය කළේ 2-0කින්. ලකුණු පුවරුව කියැවුණේ 21:15ක් සහ 21:13ක් ලෙසයි.

කාන්තා යුගල ඉසව්ව නියෝජනය කළ සුහස්නි විදානගේ සහ තිළිණි හෙන්දහේවා විසින් Shahzad Mahoor සහ Siddiqe Ghazala ට එරෙහිව 21:15ක් සහ 21:8ක් ලෙස තරග වට 2-0ක පහසු ජයක් ලබා ගත්තා.

මෙම ඉසව්වේ දී ශ්‍රී ලංකාව 4-1ක පහසු ජයක් වාර්තා කරද්දී, කාන්තා ඒකල ඉසව්වට සහභාගී වූ සුහස්නි විදානගේ 22:22ක් සහ 15:21ක් ලෙස Shahzad Mahoorට පරාජය වූවා.

පිහිනුම්

කාන්තා මීටර් 100 පසුපස ආර ඉසව්ව සඳහා සහභාගී ගංගා සෙනෙවිරත්න තම පළමු වටයේ තරගයෙන් ම ඉවත් වීමට සිදු වුනා. ඇය තම ඉසව්ව නිමා කළ කාලය ලෙසින් සටහන් වූයේ විනාඩි 1:06.17ක් ලෙසයි. එම නිමා කළ කාලයත් සමගින් ඇයට හිමි වූයේ 20 වැනි ස්ථානයයි.

ස්කොෂ්

ස්කොෂ් තරගාවලියේ පිරිමි කේවල ඉසව්වලට සහභාගී වූ රවිඳු ලක්සිරි සහ ශමිල් වකීල්ගේ ගමන ද පදක්කම් සිහිනයෙන් දුරස් ව නිමා වූවා.

රවිඳු ලක්සිරි ස්කොට්ලන්ත ක්‍රීඩක Greg Lobban වෙතින් 11:9ක්, 11:4ක් 12:10ක් ලෙසින් පරාජයට පත් වෙද්දී, ශමිල් වකීල් ඉන්දීය ක්‍රීඩක Saurav Ghosal වෙතින් 11:4ක්, 11:4ක් සහ 11:6ක් ලෙසින් පරාජයට පත් වෙනවා.

මේ අතර කාන්තා කේවල ඉසව්වලට සහභාගී වූ යෙහෙනි කුරුප්පුට සහ චනිත්මා සිනලිට ද තම ඉසව්වන් තිස් දෙදෙනෙක්ගෙන් (32) යුත් වටයෙන් අවසන් කිරීමට සිදු වුනා.

පළමු වටයේ දී නිතරඟ ජයග්‍රහණයක් හිමි වූ වනිත්මා තමන් මුහුණ දුන් පළමු තරගයෙන් කැනඩා ක්‍රීඩිකා Nicole Bunyan වෙතින් 3-0ක පරාජයක් ලබනවා. ශ්‍රී ලංකාව වෙනුවෙන්

මෙවර ක්‍රීඩා උළෙලේ තරගයකට සහභාගී වී පළමු ජයග්‍රහණය ලැබූ යෙහෙනි තම දෙවැනි තරගයේ දී ලෝක ශ්‍රේණිගත කිරීම් හී 9 වැනි ස්ථානයේ සිටින එංගලන්ත ක්‍රීඩිකා Georgina Kennedy වෙතින් 0-3ක පරාජයක් ලබනවා.

බර එසවීම

කාන්තා කිලෝග්‍රෑම් 49 බර පංතියෙන් තරග වැඳුණ ශ්‍රීමාලි සමරකෝන් තම ඉසව්ව නිමා කරන්නේ 8 වැනි ස්ථානයට පත් වෙමින්. ඇය Snatched ක්‍රමයට කිලෝග්‍රෑම් 65ක් ද, Clean & Jerk ක්‍රමයට කිලෝග්‍රෑම් 87ක් ද ලෙසින් සමස්ත බර කිලෝග්‍රෑම් 152ක් ඔසවමින් මෙම ස්ථානය දිනා ගන්නවා.

චමරි වර්ණකුලසූරිය

ඊට අමතර ව කාන්තා කිලෝග්‍රෑම් 55 බර පංතියෙන් තරග බිමට පිවිසි චමරි වර්ණකුලසූරිය Snatch ක්‍රමයට කිලෝග්‍රෑම් 70ක් සහ Clean & Jerk ක්‍රමයට කිලෝග්‍රෑම් 94ක් ලෙසින් සමස්ත බර කිලෝග්‍රෑම් 164ක් ඔසවමින් එම ඉසව්වේ 7 වැනි ස්ථානය දිනා ගන්නවා.

චමරි මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වෙන්නේ එහි තම බර පංතියේ 8 වැනි ස්ථානයට ශ්‍රේණිගත ව සිටිමින්. මෙවර තම ඉසව්ව නිමා වන විට ඇය තවත් අංකයක් ඉදිරියට පිවිසෙමින් 7 වැනි ස්ථානයට ශ්‍රේණිගත වීමට සමත් වීම කැපී පෙනුණා.

ජිම්නාස්ටික් (Artistic)

පිරිමි කණ්ඩායම් ඉසව්වේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වූයේ 10 වැනි ස්ථානයයි. ඔවුන් මෙහි දී ඉසව් 5ක දී ලබා ගන්නා ලද ලකුණු එකතුව 91.850ක්.

එහි රන් පදක්කම ලකුණු 254.550ක් ලබා ගන්නා එංගලන්තය සතු වෙන අතර රිදී පදක්කම කැනඩාව ද ලෝකඩ පදක්කම කැනඩාව ද විසින් දිනා ගත්තා.

ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් බුද්ධික ප්‍රනාන්දු, රුචිර ප්‍රනාන්දු සහ හංස ගයාෂාන් මෙම ඉසව්ව සඳහා සහභාගී වුනා.Commonwealth Games 2022

මෙම ඉසව්වේ කාන්තා රන් පදක්කම එංගලන්තය සතු වෙන අතර රිදි පදක්කම ඕස්ට්‍රේලියාව ද ලෝකඩ පදක්කම කැනඩාව ද ලබා ගන්නවා. ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම ඉසව්ව සඳහා මිල්කා ගෙහානි, කෞෂිනි ගමගේ, අමායා කළුකෝට්ටගේ සහ කුමුදි අබේරත්න සහභාගී වුනා.

අද (31) දවසේ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ තරග කාලසටහන

ක්‍රීඩාව

ඉසව්ව

වේලාව (ශ්‍රී ලංකා වේලාවෙන්)

ජිම්නාස්ටික් Artistic පිරිමි (රුචිර ප්‍රනාන්දු) ප.ව. 1:30
බර එසවීම පිරිමි 67kg (චතුරංග ලක්මාල්) ප.ව. 2:00
සත් සාමාජික රග්බි පිරිමි 13-16 (සැම්බියාව) ප.ව. 3:22
බැඩ්මින්ටන් මිශ්‍ර කණ්ඩායම් (මැලේසියාව) ප.ව.3:30
පිහිනුම් මීටර් 50 පසුපස ආර මූලික තරග (අකලංක පීරිස්) ප.ව. 3:30
ජිම්නාස්ටික් Artistic පිරිමි (මෙල්කා ගෙහානි) ප.ව. 7:00
වෙරළ වොලිබෝල් කාන්තා මූලික වටය (ඕස්ට්‍රේලියාව) ප.ව.7:00
පැසිපන්දු කාන්තා ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව ප.ව. 8:00
වෙරළ වොලිබෝල් පිරිමි මූලික වටය (කැනඩාව) ප.ව. 9:00
පැසිපන්දු පිරිමි ශ්‍රී ලංකාව සහ කැනඩාව ප.ව. 9:40
සත් සාමාජික රග්බි කාන්තා 7 වැනි ස්ථානය සඳහා වන තරගය (දකුණු අප්‍රිකාව සමඟ) ප.ව. 10:30
බර එසවීම පිරිමි 73kg (ඉන්දික දිසානායක) ප.ව. 11:00
ස්කොෂ් කාන්තා 16 දෙනාගේ වටය (Chanithma Sinaly, බොට්ස්වානා) ප.ව. 11:15
පිහිනුම් මීටර් 50 පසුපස ආර අවසන් පූර්ව තරග (අකලංක පීරිස්) ප.ව. 11:37

පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කරන්නට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<