CPL සහ IPL අස්සේ දකුණු අප්‍රිකානු තරගාවලියකට සූදානමක්

309
West Indies Cricket

කොරෝනා වයිරසයත් සමඟින් අවලංගු වූ ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි සඳහා වර්තමානය වන විට කොළ එළියක් ලැබී තිබේ. වයිරසය පාලනය කිරීමෙන් පසු පැවැත්වෙන පළමු ක්‍රිකට් තරගාවලිය ලෙස කොදෙව් එංගලන්ත ටෙස්ට් තරගාවලිය මේ දිනවල එංගලන්තයේ දී පැවැත්වෙන්නේ දැඩි ආරක්ෂක තත්ත්ව යටතේය.

වේගමානයේ මකුළු දැල් කැඩූ දිල්හාර ප්‍රනාන්දු

මේ වසරේ ඔක්තෝබර් – නොවැම්බර් මාසවල දී පැවැත්වීමට නියමිතව තිබූ විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අවලංගු කිරීමත් සමඟින් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය පසුගිය දා තීරණය කළේය. 

සැප්තැම්බර් මස මුල් භාගයේ දී ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට තම ක්‍රීඩකයන් පිටත්ව යාමට පෙර දකුණු අප්‍රිකානු යෝජිත තරගමාලාවේ අවම වශයෙන් කොටසක් හෝ පැවැත්වීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය බලාපොරොත්තු වන බව පසුගිය දා මාධ්‍ය වෙත පවසා ඇත. 

දකුණු අප්‍රිකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබූ ක්‍රිකට් තරගාවලිය සඳහා ටෙස්ට් තරග 2ක් සහ විස්සයි විස්ස තරග 5ක් ඇතුළත් විය. එම තරගාවලිය ජූලි මස සිට අගෝස්තු මස දක්වා පැවැත්වීමට සැලසුම් කර තිබුණි.

වර්තමාන කොදෙව් ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක ජොනී ග්‍රේව් පවසා සිටියේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ කාලසටහන මත පදනම්ව විස්සයි විස්ස තරග පහක තරගාවලියක් හෝ ටෙස්ට් තරග දෙකකින් සමන්විත කෙටි තරග සංචාරයක් සඳහා සත්කාරකත්වය සැපයීමට තමන් බලාපොරොත්තු වන බවයි.  

විස්ඩන් කුසලානය විශ්‍රාම යවමින් නව කුසලානයක්

“අපි බලාපොරොත්තු වෙනවා අවම වශයෙන් විස්සයි විස්ස තරගාවලියක් හෝ ටෙස්ට් තරගාවලියක් පවත්වන්න. සැප්තැම්බර් මාසයේ දී දකුණු අප්‍රිකාව අපේ රටට ඒවි කියලා අපි බලාපොරොත්තු වෙනවා” ජොනී ග්‍රේව් Mason and Guests Cricket Show වැඩසටහන හා එක්වෙමින් පැවසීය.

“ඒ තරගාවලිය ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය මත රඳා පවතිනවා. දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ටෙස්ට් ක්‍රීඩකයින් ගණනාවක් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වෙනවා. අපේ ටෙස්ට් කණ්ඩායම ගත්තම කිසිම ක්‍රීඩකයෙක් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වෙන්නේ නැහැ.”  

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ සංවිධායකයන් පසුගිය දා පවසා සිටියේ එම තරගාවලිය සැප්තැම්බර් 19 වැනිදා ආරම්භ කිරීමට තමන් සැලසුම් කරන බවයි. 

කෙසේ වෙතත් කොදෙව් ක්‍රිකට් ආයතනය විසින් මෙහෙයවනු ලබන කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය එළඹෙන අගෝස්තු මස 18 වැනිදා ආරම්භ වීමට නියමිතය. එම තරගාවලිය සැප්තැම්බර් මස 10 වැනිදා දක්වා පැවැත්වේ. ඒ අනුව කොදෙව් ක්‍රිකට් ආයතනය සඳහා මෙම දකුණු අප්‍රිකානු ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට ඉතිරිව ඇත්තේ සැප්තැම්බර් මස 10 වැනිදා සිට 19 වැනිදා දක්වා ඇති දින 8ක කාලය පමණි. 

“ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය පැවැත්වෙන කාලය තුල අපිට දකුණු අප්‍රිකානු තරගාවලිය පවත්වන්න බැහැ. දකුණු අප්‍රිකානු ක්‍රිකට් ආයතනය අපිට ඒ ගැන දන්වලා තියනවා. ඔවුන්ගේ ක්‍රීඩකයන්ට ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට ගිහින් ක්‍රීඩා කරන්න ඒ ක්‍රිකට් ආයතනය බැදී ඉන්නවා. ඒ නිසා අපිට ඒ ගැන කල හැකි දෙයක් නැහැ” ග්‍රේව් තවදුරටත් පැවසීය.

“අපි දැන් මේ ගැන සැලසුම් කරමින් ඉන්නේ. දැනට අපිට තියන සැලසුම එතරම් සාර්ථක වෙන්නේ නැති බේවි. එංගලන්ත තරගාවලියෙන් පස්සේ ක්‍රීඩකයන් නැවත ආවම ඔවුන්ට නිවසේ ඉන්න වෙන්නේ සති අන්තයේ විතරයි. ඊට පස්සේ කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩා කරන ක්‍රීඩකයන් බොහෝ විට අගෝස්තු 3 වැනිදා ට්‍රිනිඩෑඩ් බලා පිටත්ව යාවි.” 

නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩකයින්ට විශේෂ නිවේදනයක්

“කැරිබියන් ප්‍රිමියර් ලීග් තරගාවලිය අවසන් වන්නේ සැප්තැම්බර් 10 වැනිදා. අපි සැලසුම් කරන්නේ ඒත් එක්කම දකුණු අප්‍රිකාව ගෙන්වා ගන්න. අපි බලාපොරොත්තු වෙනවා ඔවුන් ඒවි කියලා. අපට සම්පූර්ණ සංචාරයම පවත්වන්න හැකි වේවි ද, නැතිනම් ටෙස්ට් තරගාවලියක් හෝ විස්සයි විස්ස තරගාවලියක් විතරක් පවත්වන්න පුළුවන් වේවි ද කියලා දැන්ම කියන්න බැහැ. ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ආරම්භ වන දවසත් එක්ක තමයි ඒක තීරණය කරන්න වෙන්නේ.”  

බටහිර ඉන්දීය කොදෙව් දූපත් හෙවත් ජැමෙයිකාව තුල කොරෝනා වයිරස් රෝගීන් 837ක් වාර්තා වන අතර මරණ 10ක් ද වාර්තා වී තිබේ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<