පොදුරදමඬුලු දිනන්නට යන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල 2022

395

ජූලි 28 වැනිදා සිට අගෝස්තු 8 වැනිදා දක්වා එංගලන්තයේ බර්මින්හැම් නුවර දී පැවැත්වීමට නියමිත “2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල” සඳහා ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි වෙරළ වොලිබෝල් කණ්ඩායම් ද සුදුසුකම් ලබා සිටිනවා.

මෙවර ක්‍රීඩා උළෙල සඳහා පොදුරාජ්‍ය මණ්ඩලීය සාමාජික රටවල් 54 අතරින් කණ්ඩායම් 24ක් (කාන්තා 12ක් සහ පිරිමි 12ක්) සුදුසුකම් ලබා ඇති අතර ආසියානු කලාපයෙන් පිරිමි සහ කාන්තා දෙඅංශයෙන්ම තරගාවලියට සුදුසුකම් ලබා ඇත්තේ ශ්‍රී ලංකාව පමණයි.

මෙම ක්‍රීඩා උළෙල සඳහා ප්‍රථම වරට වෙරළ වොලිබෝල් ක්‍රීඩාව ඇතුළත් කරනු ලැබුවේ  අවසන් වරට 2018 ඕස්ට්‍රේලියාවේ Gold Coast හි පැවති 21 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී වන අතර ඒ සඳහා සුදුසුකම් ලබා ගත්තේ ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම පමණයි.

මෙවර තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම නියෝජන කරමින් මලින්ත යාපා සහ අශේන් රශ්මික සංචිතයට තෝරාගෙන ඇති අතර දීපිකා බණ්ඩාර සහ චතුරිකා මධුශානි කාන්තා කණ්ඩායම සඳහා ඇතුළත් කරගෙන තිබෙනවා.

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ වෙරළ වොලිබෝල් තරග බර්මින්හැම් නුවර Smith Field ක්‍රීඩාංගණයේ දී ජූලි 30 වැනිදා සිට ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා ක්‍රීඩකයින් B කාණ්ඩය නියෝජනය කරමින් ද, ක්‍රීඩිකාවන් A කාණ්ඩය නියෝජනය කරමින් ද මෙවර තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

එහි දී, අවසන් වරට 2018 දී පැවති Gold Coast තරගාවලියේ දී රිදි පදක්කම දිනූ ඕස්ට්‍රේලියාව සමඟින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ද, එම ක්‍රීඩා උළෙලේ දී රිදි පදක්කම දිනූ කැනඩාව සමඟ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ද, ජූලි 31 වැනිදා සිය සමාරම්භක තරග සඳහා සහභාගී වීමට නියමිතයි.

FIVB පිරිමි කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් හි කැනඩාව 41 වැනි ස්ථානයේ ද, ශ්‍රී ලංකාව 272 වැනි ස්ථානයේ ද පසු වෙද්දී, කාන්තා ශ්‍රේණිගත කිරීම් හි ඕස්ට්‍රේලියාව 4 වැනි ස්ථානයේ ද, ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් 265 වැනි ස්ථානයේ ද පසුවනවා.

මෙම දක්ෂතාවලට අමතරව ඉකුත් වසරේ දී නිමාවට පත් වූ ටෝකියෝ ඔලිම්පික් උළෙලේ වෙරළ වොලිබෝල් හි කාන්තා අංශයෙන් රිදි පදක්කම දිනා ගන්නට ඕස්ට්‍රේලියානු ක්‍රීඩිකාවන් සමත් වෙද්දී, කැනඩා ජාතික පිරිමි කණ්ඩායම එහි දී 5 වැනි ස්ථානය දිනා ගන්නට සමත් වුනා.

ප්‍රබල ප්‍රතිවාදීන් සමඟින් කරට කර සටන් කරමින් ලක්මතාවට ගෞරවයක් ගෙන ඒමට මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට හැකියාව ලැබේවායි ThePapare.com ප්‍රාර්ථනා කරමු.

තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කරන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න <<