තිසරගේ බලාපොරොත්තු සුන්

BPL 2023

797

9 වැනි වරට පැවැත්වුණු Bangladesh Premier League තරගාවලියේ අවසන් මහා තරගය ඊයේ (16) Comilla Victorians සහ Sylhet Strikers කණ්ඩායම් අතර පැවැත්වුණු අතර, එහි දී කඩුලු හතකින් Strikers පරාජය කරමින් සිව්වැනි වරටත් BPL ශූරතාව හිමි කර ගැනීමට Comilla Victorians සමත් වුනා.

මෙහි දී Sylhet Strikers නියෝජනය කරමින් තිසර පෙරේරා ද අවසන් මහා තරගය නියෝජනය කළ නමුත් ඔහුගෙන් බලාපොරොත්තු වූ මට්ටමේ දක්ෂතා දැක බලා ගැනීමට අවකාශය හිමි වුනේ නැහැ.

පළමුවෙන්ම පන්දුවට පහර දුන් Sylhet Strikers නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7කට ලකුණු 175ක් රැස් කර ගැනීමට සමත් වුනා. එහි දී Najmul Shanto ලකුණු 64ක් සහ Mushfiqur Rahim නොදැවී ලකුණු 74ක් සිය කණ්ඩායම වෙනුවෙන් එකතු කළා. මෙහි දී තිසර පෙරේරා විසින් තමන් මුහුණ දුන් පළමු පන්දුවෙන් ම Sunil Narine හමුවේ දැවී ගියා.

Comilla Victorians වෙනුවෙන් පන්දු යැවීමේ දී Mustfizur Rahman කඩුලු දෙකක් බිඳ හෙළීමට සමත් වුනා.

ලකුණු 176ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි Comilla Victorians කණ්ඩායමේ පළමු කඩුලු දෙක ලකුණු 34ක් වන විට දැවී ගිය නමුත් පසුව පිටියේ එකතු වූ Linton Das සහ Jhonson Charles විසින් ලකුණු 70ක සබඳතාවක් පිහිටුවීමට සමත් වූ අතර, Das ලකුණු 55කට දැවී යාමෙන් අනතුරුව Charles සමඟ එකතු වූ Moeen Ali නොබිඳුණු ලකුණු 72ක සබඳතාවක් පිහිටුවීමට සමත් වෙමින් පන්දුවාර 19 පන්දු 2ක් තුල Comilla Victorians ජයග්‍රාහී ඉලක්කය වෙත ගෙන යාමට සමත් වුනා.

මෙහි දී Victorians වෙනුවෙන් Jhonson Charles විසින් නොදැවී ලකුණු 79ක් ලබා ගත් අතර, ඔහු අවසන් මහා තරගයේ වීරයා ලෙස ද සම්මාන දිනා ගත්තා.

Strikers වෙනුවෙන් කිසිදු පන්දු යවන්නකුට ස්ථාවර වීමට ඉඩ නොලැබුනු අතර තරගයේ එක් පන්දුවාරයක් පමණක් ක්‍රියාත්මක කළ තිසර පෙරේරා එහි දී ලකුණු 12ක් ප්‍රතිවාදී කණ්ඩායමට ලබා දුන්නා.

මේ අතර Comilla Victorians කණ්ඩායමේ Tanvir Islam තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා බවට පත් වෙමින් කඩුලු 17ක් බිඳ හෙළීමට සමත් වූ අතර, තරග 15ක දී ලකුණු 516ක් රැස් කළ Najmul Shanto තරගාවලියේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා.

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමගින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<