“BCCIට විරුද්ධ වෙන්න ICCයට වත් බැහැ” – Shahid Afridi

Asia cup 2023

995

2023 ආසියානු කුසලානය පාකිස්තානයේ පැවැත්විය යුතු බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයට (BCCI) ඒත්තු ගැන්වීම ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට (ICC) පවා කළ නොහැකි බව හිටපු පාකිස්තාන තුන් ඉරියව් ක්‍රීඩක Shahid Afridi විසින් පවසනවා.

ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති දේශපාලනික ගැටලු නිසා මෙවර ආසියානු කුසලානය පාකිස්තානයේ පැවැත්වේ නම් ඉන්දියාව පාකිස්තානයට නොයනු ඇති බවට මීට පෙර BCCI විසින් ප්‍රකාශ කළ අතර, එයට පිළිතුරු ලෙස පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය (PCB) තර්ජනාත්මක ලෙස පැවසුවේ ඉන්දියාව පාකිස්තානයට නොපැමිණේ නම් පාකිස්තානය ද මෙවර ඉන්දියාවේ පැවැත්වීමට නියමිත එක්දින ක්‍රිකට් ලෝක කුසලානයට සහභාගී නොවනු ඇති බවයි.

2023 ආසියානු කුසලානය මෙවර එක්දින ලෝක කුසලානයට වෙනුවෙන් පෙරහුරුවක් ලෙස එක්දින තරග රටාවට අනුකූලව පාකිස්තානයේ දී පැවැත්වීමටයි මීට පෙර සැලසුම් කර තිබුණේ.

“ආසියානු කුසලානය වෙනුවෙන් ඉන්දියාව පාකිස්තානයට ඒවි ද?, අපි ඉන්දියාවේ තියෙන ලෝක කුසලානය වර්ජනය කරාවි ද?

මට මේ දේවල් ගැන කිසිම අදහසක් නැහැ, නමුත් අපි මේ ගැන යම් ස්ථාවරයක සිටිය යුතුයි.”

පාකිස්තාන රූපවාහිනී නාලිකාවක් වන Saama TV වෙත වත්මන් තත්වය පිළිබඳ අදහස් දක්වමින් Afridi විසින් එසේ ප්‍රකාශ කර තිබුණා.

මේ වෙලාවේ ICCයට වැදගත් කාර්යභාර්‍යයක් පැවරිලා තියෙනවා, ඔවුන් ඉදිරියට පැමිණිය යුතුයි. නමුත් ICC යට වත් BCCI ඉදිරියේ කිසිම දෙයක් කරන්න බැරි වේවි.”

හිටපු තුන් ඉරියව් ක්‍රීඩකයා විසින් ඒ අයිරින් සිය අදහස් දක්වමින් පවසා සිටියේ BCCI මේ වන විට ඒ තරමට ශක්තිමත් වී ඇති බවයි.

යමෙකුට සිය දෙපයින් නැගී සිටිය නොහැකි නම් මේ වගේ තීරණ ගැනීම පහසු දෙයක් නෙවෙයි. ඉන්දියාව මේ තරම් බරපතළ තීරණ ගන්නවා කියන්නේ ඔවුන් ඒ තරමට ශක්තිමත් කියන එකයි. ඒ නිසා ඔවුන්ට මේ වගේ කතා කියන්න පුළුවන්.”

Afridiගේ මෙම ප්‍රකාශය සිදු වුනේ මීට පෙර ඉන්දීය දඟපන්දු යවන ක්‍රීඩක Ravichandran Ashwin විසින් සිය YouTube නාලිකාව හරහා දැක්වූ අදහස් නිසාවෙනුයි.

“ආසියානු කුසලානය පවත්වන්න තිබුණේ පාකිස්තානයේ, නමුත් ඉන්දියාව නිවේදනය කළා අපි එහේ යන්නේ නැහැ කියලා. අපි තරගාවලියට සහභාගී විය යුතු නම් සත්කාරක රට වෙනස් කළ යුතුයි. මීට පෙරත් මේ වගේ දේවල් සිදු වෙනවා අපි සෑහෙන්න දැකලා තියෙනවා.

අපි එහේ යන්නේ නැහැ කිව්වම, ඔවුන් කියනවා මෙහේ එන්නෙත් නැහැ කියලා. නමුත් මම හිතන්නේ ඒක සිදු විය නොහැකි දෙයක්.

අවසාන තීරණය විය යුත්තේ ආසියානු කුසලානය ශ්‍රී ලංකාව වෙත ගෙන යාමයි. මේක එක්දින ලෝක කුසලානය වෙනුවෙන් හොඳ ඉදිරි පියවරක්. ඩුබායි වල ගොඩක් තරගාවලි පවත්වලා තියෙනවා. එය ශ්‍රී ලංකාවට ගෙන ගියොත් මම සතුටු වෙනවා.”

Ashwinගේ බලාපොරොත්තුව ශ්‍රී ලංකාවේ ක්‍රීඩා කිරීම වන නමුත්, මෙවර ආසියානු කුසලානයේ සත්කාරකත්වය පිළිබඳ අවසන් තීරණය ආසියානු ක්‍රිකට් කවුන්සිලය සතු වනවා. ඔවුන් ඒ පිළිබඳ තීරණයක් ලබන මාර්තු මාසයේ මීළඟ ACC සමුළුවේ දී ගනු ඇත.

2023 ආසියානු කුසලානය පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Times of India ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<