ඉන්දීය ක්‍රිකට් ගැන ආන්දෝලනාත්මක රහස් රැසක් එළියට!

1630

ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමට ක්‍රීඩකයින්ව තෝරා ගැනීමේ දී සිදු කරනු ලබන මතභේදාත්මක ක්‍රියාවන් මෙන්ම, ක්‍රීඩකයින් සහ පරිපාලනය අතර ඇති ගැටුම් පිළිබඳව ද ඉන්දීය තේරීම් කමිටු ප්‍රධානී Chetan Sharma මගින් හෙළිදරව් කරවීමට ඉන්දීය රූපවාහිනී නාලිකාවක් (Zee News) මගින් සිදු කළ රහසිගත මෙහෙයුමකින් (Sting Operation) සමත් වී තිබෙනවා.

නිමා වූ විස්සයි විස්ස ලෝක කුසලානයෙන් (2022) පසුව තේරීම් කමිටු ප්‍රධානත්වය අහිමි වී, පසුව මෙම වසර මුල දී සිය තනතුරේ නැවත පිහිටවූ Chetan Sharma විසින් සිදු කර ඇති මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශවලට ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයින් කිහිප දෙනෙකුගේ නම් ද වරින් වර මුසු වී තිබෙනවා.

ඒ අතර ඉන්දිය පුහුණුකරු Rahul Dravid සහ Virat Kohli අතර සිදු වූ සංවාද කිහිපයක් පිළිබඳව මෙන්ම, Rohit Sharma, Hardik Pandya සහ Jasprit Bumrah වැනි අයගේ නම් ද සඳහන් වී තිබෙනවා.

එමෙන්ම බොහෝ ක්‍රීඩකයින් නිසි ශාරීරික යෝග්‍යත්වයකින් තොරව (80% – 85% මට්ටමක සිටිය දී) ජාතික කණ්ඩායමට තේරී පත් වීම සඳහා විවිධ එන්නත් ලබා ගෙන ඇති බවත් Sharma විසින් කළ ප්‍රකාශ අනූව හෙළිදරව් වී තිබෙනවා.

(මෙම එන්නත් තහනම් උත්තේජක ගණයට අයත් ඒවා නොවන බව සඳහන් කරන Sharma පවසන්නේ එවැනි ගැටලු ඇති නොවන අන්දමේ එන්නත් මොනවද යන්න ක්‍රීඩකයින් දන්නා බවයි.)

එමෙන්ම මේ වන විට පැවැත්වෙන ඉන්දු – ඕස්ට්‍රේලියා ටෙස්ට් ක්‍රිකට් තරගාවලියට පවා ආබාධ හේතුවෙන් සහභාගී වීමට නොහැකිව සිටින ඉන්දීය ප්‍රධාන වේගපන්දු යවන්නා වන Jasprit Bumrah පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වුණු විස්සයි විස්ස තරගාවලියට සහභාගී වූ අතර, ඔහුව එම තරගාවලියට සහභාගී කරවීම පිළිබඳ තමන් සහ කණ්ඩායම් කළමනාකාරිත්වය අතර මත ගැටුම් තිබූ බව ද Sharma විසින් හෙලි කර තිබෙනවා.

එමෙන්ම ඉන්දීය පිතිකරු Virat Kohli සහ හිටපු BCCI ප්‍රධානී Sourav Ganguly අතර යම් මත ගැටුම් (පෞද්ගලිකව තම තමන්ගේ ආත්මාභිමානය පිළිබඳ ඇති අධි තක්සේරුව නිසා) තිබූ බවත් Sharma පවසා තිබෙනවා.

ඊයේ (14) ඉන්දියානු  Zee News හරහා සිදු කළ මෙම ආන්දෝලනාත්මක හෙළිදරව් කිරීමෙන් අනතුරුව තවත් ඉන්දීය පුවත් සේවයක් වන PTI පුවත් සේවය මේ පිළිබඳ තොරතුරු දැන ගැනීම වෙනුවෙන් Sharmaව සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත්, එය ව්‍යර්ථ වී තිබෙනවා.

කෙසේ වෙතත් මෙම සිදුවීම සම්බන්ධයෙන් BCCI විසින් මේ වන විට විමර්ශන සිදු කරන බැවින්, කොන්ත්‍රාත්තු පදනම මත සිටින Sharma හට ඒ පිළිබඳ යමක් පැවසීමට හැකියාවක් නොමැති බව විශ්වාස කළ හැකියි.

මෙම සිදුවීමෙන් පසුව Chetan Sharmaගේ අනාගතය පිළිබඳ තීරණය බොහෝ විට BCCI ලේකම් Jay Shah අත රැඳෙනු ඇති බව PTI පුවත් සේවයට නිර්නාමික ව විස්තර ලබා දුන් BCCI නියෝජිතයකු සඳහන් කර ඇති අතර, ඔහු තවදුරටත් සඳහන් කර ඇත්තේ වත්මන් ඉන්දීය ක්‍රිකට් නායකයින් දෙදෙනා වන Rohit Sharma සහ Hardik Pandya විසින් නැවත Chetan Sharma සමඟ කණ්ඩායම් තේරීම් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම්වලට එක් වීමට එකඟ වනු ඇති ද යන්නත් ගැටලුවක් බවයි.

මේ වන විටත් මෙම හෙළිදරව් කිරීමට අදාළව තොරතුරු නිකුත් වෙමින් පවතින අතර ඒ අතර Rohit සහ Virat අතර ඇති සබඳතාව පිළිබඳ මෙන්ම Sanju Samson, KL Rahul වැනි ක්‍රීඩක නම් සමඟ ඉන්දීය ක්‍රිකට් අනාගතය ගැන ද තොරතුරු ඇතුලත්ව ඇති බවයි දැන ගන්නට ලැබෙන්නේ.

මේ පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Times of India ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<