තිසර BPL අවසන් තරගයට යද්දී, දසුන්ගේ මීළඟ නැවතුම පාකිස්තානය?

BBL 2023/ PSL 2023

5970

BPL තරගාවලියේ Qualifier 2 තරගය ඊයේ (14) පැවැත්වුණු අතර එහි දී දසුන් ශානක නියෝජනය කළ Rangpur Riders කණ්ඩායම පරදවා, තිසර පෙරේරාගේ නියෝජනයෙන් යුත් Sylhet Strikers කණ්ඩායම BPL අවසන් මහා තරගය වෙත සුදුසුකම් ලැබුවා.

මෙහි දී තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Sylhet Strikers නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 182ක් රැස්කර ගැනීමට සමත් වුනා. එහි දී Najmul Shanto පන්දු 30කින් ලකුණු 40ක් රැස් කළ අතර Strikers ඉනිමේ අවසාන භාගයේ පිටියට පිවිසි තිසර පෙරේරා පන්දු 15කින් ලකුණු 21ක් ලබා ගැනීමට සමත් වුනා.

තිසර දසුන් ශානක හමුවේ දුවද්දී දැවී ගිය අතර, ඊයේ දිනයේත් Riders වෙනුවෙන් සාර්ථක පන්දු යැවීමක නිරත වීමට සමත් වූ දසුන් සිය පන්දුවාර 4 අවසානයේ ලකුණු 45ක් ලබා දී කඩුලු 2ක් දවා ගත්තා. ඔහු සිය මුල් පන්දුවාර තුන ලකුණු 28ක් පමණක් ලබා දෙමින් සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට සමත් වුනත්, තරගයේ අවසන් පන්දුවාරය ක්‍රියාත්මක කිරීමේ දී ඔහුගෙන් Strikers ලකුණු 17ක් උදුරා ගැනීමට සමත් වුනා.

කෙසේ හෝ පිළිතුරු ඉනිම ක්‍රියාත්මක කිරීමට පිටියට පිවිසි Rangpur Ridersට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වුනේ ලකුණු 163ක් පමණයි. එහි දී Riders වෙනුවෙන් Rony Talukdar විසින් ලකුණු 66ක් ලබා ගැනීමට සමත් වුනා.

තරගයේ අවසන් පන්දුවාර දෙක වන තෙක් Riders වෙත ජයග්‍රහණයේ බලාපොරොත්තු රඳවා තබා ගැනීමට අවකාශය ලැබුනත්, ඉනිමේ 19 වැනි පන්දුවාරය ක්‍රියාත්මක කළ Luke Wood එහි දී ලකුණු 3ක් පමණක් ලබා දෙමින් Riders කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුනා.

දසුන් ඉනිමේ අවසන් පන්දුවෙන් දැවී ගිය අතර ඔහුට රැස් කිරීමට හැකි වුනේ ලකුණු 10ක් පමණයි.

මේ අනුව Rangpur Riders පරාජය කරමින් ලකුණු 19ක ජයග්‍රහණයක් ලද Sylhet Strikers කණ්ඩායම BPL තරගාවලියේ අවසන් මහා තරගය වෙත සුදුසුකම් ලැබූ අතර, තරගාවලියේ අවසන් මහා තරගය හෙට (16) Comilla Victorians සහ Sylhet Strikers කණ්ඩායම් අතර පැවැත්වෙනු ඇත.

BPL අවසන් වෙද්දී, PSL උණුසුම ද කෙමෙන් වැඩි වෙයි

මේ අතර 8 වැනි PSL තරගාවලියේ දෙවැනි තරගය ඊයේ Peshawar Zalmi සහ Karachi Kings කණ්ඩායම් අතර පැවැත්වුණා.

මෙහි දී Peshawar නියෝජනය කරමින් භානුක රාජපක්ෂ ද ඊයේ තරගයට සහභාගී වූ අතර, ඔහුගෙන් බලාපොරොත්තු වන දස්කම් එහි දී ද දකින්නට ලැබුණේ නැහැ.

කෙසේ වෙතත් තරගයේ පළමුව පන්දුවට පහර දුන් Zalmi කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5කට ලකුණු 199ක් රැස් කළ අතර එහි දී Tom Kohler-Cadmore පන්දු 50කින් ලකුණු 92ක් රැස් කිරීමට සමත් වුනා.

භානුකගේ පිත්තෙන් Zalmi ඉනිමට එකතු වුනේ ලකුණු 6ක් පමණයි.

තරගයේ ජයග්‍රහණය බලාපොරොත්තුවෙන් පිළිතුරු ඉනිම දියත් කළ Karachi Kings කණ්ඩායමට ඉතාම තියුණු තරගයකින් පසුව ලකුණු 2ක පරාජයක් අත් විඳීමට සිදු වූ අතර ඔවුන් පන්දුවාර විස්ස අවසානයේ ලබා ගත්තේ කඩුලු 5ක් දැවී ලකුණු 197ක් පමණයි.

එහි දී Karachi නායක Imad Wasim පන්දු 47කින් නොදැවී ලකුණු 80ක් ලබා ගනිමින් සටන්කාමී ඉනිමක් දියත් කළා.

මේ අතර ඊයේ BPL තරගාවලියට සමුදීමට සිදු වූ දසුන් ශානක ආබාධයකට ලක් වී ඇති Sherfane Rutherford වෙනුවට Zalmi කණ්ඩායම සමඟින් එකතු වීමට නියමිත බවට සමාජ මාධ්‍යවල යම් කතාබහක් නිර්මාණය වී ඇති නමුත් තවමත් ඒ පිළිබඳ කිසිදු ආකාරයක නිල දැනුම් දීමක් සිදු කර නැහැ.

මේ අතර PSL හී 3 වැනි තරගය අද දිනයේ පැවැත්වීමට නියමිත අතර එහි දී Multan Sultan සහ වනිඳු හසරංග ක්‍රීඩා කරන Quetta Gladiators කණ්ඩායම් මුණ ගැසීමට නියමිතයි.

BPL තරගාවලියේ මෙන්ම, PSL තරගාවලියේත් සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<