Kohli වෙනුවෙන් ඉදිරියට එන්න Babarට තිබුණ හේතුව මොකක්ද?

366
​Babar Azam explains why he tweet for kohli

පසුගිය වසරේ මැද බාගයේ දී ඉන්දීය සුපිරි පිතිකරු Virat Kohliව දිරිමත් කරමින් තැබූ twitter සටහනට හේතු වූ සැබෑ කාරණය පාකිස්තාන නායක Babar Azam විසින් හෙලි කර තිබෙනවා.

2019 නොවැම්බර් මාසයේ දී බංග්ලාදේශයට එරෙහිව රැස් කළ ලකුණු 136න් පසුව 2022 වසරේ සැප්තැම්බර් මාසය වන තෙක් වසර තුනකට ආසන්න කාලයක් තිස්සේ එකදු ශතකයක් හෝ වාර්තා කිරීමට නොහැකිව සිය ක්‍රිකට් ජීවිතයේ ගෙවා දැමූ දුර්වලතම කාලසීමාවක් පසු කිරීමට Virat Kohli හට සිදු වුනා.

ඒ කාලය තුල Kohliගේ මෙම දරුණු කඩා වැටීම ක්‍රිකට් ලෝකය පුරා දැඩි කතාබහකට පවා ලක් වුන අතර පසුගිය වසරේ ජූලි මාසයේ දී Kohliගේ ප්‍රබලතම පිතිකරණ ප්‍රතිවාදියා ලෙස සැලකෙන Babar Azam විසින් Kohli වෙනුවෙන් සහය පළ කරමින් twiter ප්‍රකාශයක් නිකුත් කළා.

“මෙයත් පසු කර යමු, ශක්තිමත්ව සිටින්න.”

යනුවෙන් සඳහන් කළ එම ප්‍රකාශය ක්‍රිකට් ලොව තුල අතිමහත් ප්‍රසිද්ධියක් ද ලබා ගත්තා.

මේ අතර පසුගිය දිනක ICC වෙබ් අඩවිය සමඟ පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් එම twitter සටහන පිළිබඳ මතකය අවදි කළ Babar පවසා සිටියේ, වෘත්තීය ක්‍රීඩකයින් අතර අන්‍යෝන්‍ය සංවේදනයක් ඇති බවත්, තමන්ට අවශ්‍ය වුනේ සිය ප්‍රතිවාදියා සාර්ථක වනු දැකීමත් බවයි.

Babar මෙම twitter සටහන පළ කිරීමට පෙර දිනයේ එංගලන්තය සහ ඉන්දියාව අතර පැවැත්වුණු එක්දින ක්‍රිකට් තරගයකින් ඉන්දීය කණ්ඩායමට ලකුණු 100ක පරාජයක් උරුම වූ අතර, එම තරගයේ දී Kohliගේ පිත්තෙන් වාර්තා වුනේ ලකුණු 16ක් පමණයි.

2019 දී සිය අවසන් ශතකය ලබා ගත් දිනයේ පටන් එම එංගලන්ත තරගය වන තෙක් Kohli විසින් රැස් කිරීමට සමත් වී තිබුණේ එක්දින ජාත්‍යන්තර ලකුණු 806ක් පමණක් වන අතර එහි සාමාන්‍ය සටහන් වී තිබුණේ 36.68ක් ලෙසයි. එමෙන්ම එම කාලසීමාව තුල Kohliගේ ටෙස්ට් පිතිකරණ සාමාන්‍ය 27.25ක් තරම් පහළ අගයක රඳා පැවතුණා.

පාකිස්තානයේ නිත්‍ය ප්‍රතිවාදීන් වන ඉන්දීය ක්‍රීඩකයකුට මෙසේ සහය දැක්වුවේ කෙසේ දැයි එම සාකච්ඡාවේ දී Babarගෙන් විමසූ අතර ඔහු පැවසුවේ ක්‍රීඩකයකු ලෙස අනෙක් ක්‍රීඩකයින්ට දුෂ්කර කාලවල දී සහය දැක්විය යුතු බවයි.

“ක්‍රීඩකයකු ලෙස ඕනෑම කෙනෙක්ට එවැනි කාලයක් පසු කරන්න සිදු වේවි. ඒ වෙලාවේ මම හිතුවේ මම මේ tweet එක දැම්මොත් ඒක කෙනෙක්ට උදව්වක් වේවි සහ විශ්වාසයක් ඇති කරාවි කියලා.

බලන්න, ක්‍රීඩකයෙක් විදිහට ඔබ දුෂ්කර කාලයක් ගෙවන තවත් ක්‍රීඩකයෙකුට ශක්තියක් විය යුතුයි.

ඒ වෙලාවේ මම හිතුවා මම ඒක කළ යුතුයි කියලා සහ ඒකෙන් මොනවා හරි ධනාත්මක දෙයක් සිදු වේවි කියලා.”

පසුව Babarගේ twitter සටහන වෙනුවෙන් Kohli විසින් ස්තුතිය පළ කරමින් Babarට සුබ ප්‍රාර්ථනා කර තිබුණා.

පසුව 2022 වසරේ සැප්තැම්බර් මාසයේ දී ඇෆ්ගනිස්තානයට එරෙහිව සිය මංගල විස්සයි විස්ස ශතකය ලබා ගනිමින් සිය ශතක ඉඩෝරයට තිත තැබූ Kohli විසින් ඉන් පසුව මේ වන තෙක් එක්දින ජාත්‍යන්තර ශතක තුනක් ද වාර්තා කර තිබෙනවා.

එමෙන්ම නිමා වූ විස්සයි විස්ස ලෝක කුසලානයේ දී Babar Azam විසින් නායකත්වය දැරූ පාකිස්තාන කණ්ඩායමට එරෙහිව ඉන්දීය කණ්ඩායම ජයග්‍රහණය කරා කැඳවා යමින් Kohli විසින් ලබා ගත් ලකුණු 82 මෙතෙක් විස්සයි විස්ස තරග ඉතිහාසයේ ක්‍රීඩකයකු විසින් දියත් කළ විශිෂ්ටතම ඉනිමක් බවට ප්‍රසාදයට පවා බඳුන් වුනා.

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ICC නිල වෙබ් පිටුව ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<