Maxwell රෝහලට; ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පරීක්ෂණ අරඹයි!

West Indies Tour of Australia 2024

712

ඕස්ට්‍රේලියානු තුන් ඉරියව් ක්‍රිකට් ක්‍රීඩක Glenn Maxwell පසුගිය සති අන්තයේ දී හදිසියේ ම රෝහල් ගත කර ඇති අතර, ඕස්ට්‍රේලියානු ක්‍රිකට් විසින් ඔහු රෝහල්ගත කිරීමට සම්බන්ධ සිදුවීම පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති බව දැනුම් දී තිබෙනවා.

පසුගිය සිකුරාදා (19) Maxwell විසින් Adelaide හි The Gov නම් ප්‍රසිද්ධ ස්ථානයේ පැවැත්වුණු සංගීත වැඩසටහනකට සම්බන්ධ වී තිබෙනවා. හිටපු ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රීඩක Brett Leeගේ ප්‍රධානත්වයෙන් යුතු Six and Out සංගීත කණ්ඩායම විසින් රස ගැන්වූ මෙම සංදර්ශනයට Maxwell විසින් සහභාගී වී තිබූ අතර එහි දී ඇති වූ යම් සිදුවීමකින් අනතුරුව වහාම ගිලන්රතයක් කැඳවමින් Maxwellව රෝහල්ගත කර තිබෙනවා.

Maxwell රෝහල්ගත කිරීමට අදාළ සිදුවීම කුමක් ද යන්න තවමත් නිශ්චිතව හෙළිදරව් වී නොමැති නමුත් ESPN Cricinfo විසින් සඳහන් කරන්නේ මෙය මත්පැන් සම්බන්ධ යම් ගැටලුවක් බවයි. එමෙන්ම මෙම සිදුවීමට වෙනත් පාර්ශවයක සම්බන්ධයක් නොමැති බව ද ESPN විසින් තහවුරු කරනවා.

මෙම සංගීත වැඩසටහනට Maxwellට අමතරව ඕස්ට්‍රේලියානු නායක Pat Cummins, Steve Smith සහ Alex Carey වැනි තවත් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ද සහභාගී වී ඇති බවයි වාර්තා වන්නේ.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විසින් පසුගිය සති අන්තයේ Adelaide හිදි Glenn Maxwell සම්බන්ධයෙන් වූ සිදුවීමක් පිළිබඳ දැනුවත් ව ඇති අතර, ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු සොයමින් සිටියි.

ඕස්ට්‍රේලියානු ක්‍රිකට් වෙනුවෙන් එහි ප්‍රකාශකයකු මේ පිළිබඳ එසේ සඳහන් කර තිබුණා.

එමෙන්ම මෙම සිදුවීම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා නම් කළ ඕස්ට්‍රේලියානු සංචිතයට Maxwell නම ඇතුළත් නොවීමට කිසිඳු අන්දමකින් හේතු නොවූ බවත් ඕස්ට්‍රේලියානු ක්‍රිකට් විසින් විශේෂයෙන්ම සඳහන් කර තිබෙනවා. එම එක්දින සංචිතයට Maxwellගේ නම ඇතුළත් නොවුනේ Maxwellගේම පෞද්ගලික කළමනාකරණ තීරණයක් අනුව බවයි සඳහන් වන්නේ. එමෙන්ම ඔහු කොදෙව්වන් සමඟ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස තරගාවලිය සඳහා සහභාගී වීමට බලාපොරොත්තුවෙන් සිටින බවත් දැන ගැනීමට ලැබෙනවා. ඒ අනුව Maxwell රෝහල්ගත කිරීම එතරම් දරුණු ගැටලුවක් නිසා සිදු නොවූවක් බව අනුමාන කල හැකි.

කෙසේ වෙතත් ගෙවුණු දෙවසර පුරාවටම වරින් වර Maxwell විවිධ ආබාධවලට බඳුන් වූ අතර ඒවා බොහෝ විට ක්‍රිකට්වලට සම්බන්ධ නොවූ වෙනත් සිදුවීම් නිසා ඇති වූ ආබාධ වීම විශේෂත්වයක්.

මේ අතර පසුගිය සතියේ දී ඔහු විසින් මෙතෙක් කල් තමන් නායකත්වය දැරූ Big Bash League තරගාවලියේ Melbourne Stars කණ්ඩායම් නායකත්වයෙන් ද ඉල්ලා අස් වුනා. Melbourne Stars 2023/24 BBL තරගවාරයේ ක්‍රීඩා කළ තරග 10න් ජයග්‍රහණය කිරීමට සමත් වුනේ තරග 4ක් පමණයි.

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්.

The Guardian සහ ESPN Cricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<