LPL තරගාවලියේ විනිසුරුවරුන් සහ තරග තීරකයන් නම් කරයි

ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලිය 2021

3396
රෝහිත කොට්ටච්චී, රවීන්ද්‍ර කොට්ටච්චී, අසංග ජයසූරිය, හේමන්ත බොතේජු, දීපාල් ගුණවර්ධන, කීර්ති බණ්ඩාර

දෙසැම්බර් මාසයේ දී ආරම්භ වීමට නියමිත ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර සඳහා නම් කළ විනිසුරු මඩුල්ල අද (23) නිල වශයෙන් මාධ්‍ය වෙත නිකුත් කර තිබුණා.

මෙම අදියර සඳහා ප්‍රවීණ තරග තීරක රංජන් මඩුල්ල මහතා සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ සුපිරි කාණ්ඩයේ විනිසුරුවරයෙකු වන කුමාර ධර්මසේන මහතා නම් කර තිබෙන අතර ඔවුන් මෙම තරගාවලියට එක්වන දෙවැනි අවස්ථාව මෙයයි.

ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ සිටින ප්‍රවීණතම තරග තීරකවරයෙකු වන මඩුල්ල මහතා ලෝක කුසලාන අටකට සිය සේවාව ලබා දී ඇති අතර 1999, 2003, 2015, 2019 සහ 2021 පන්දුවාර 20 ලෝක කුසලාන අවසන් මහා තරගයේ තරග තීරක ලෙස කටයුතු කළා.

තරගාවලිය සඳහා ඔහුට අමතරව අනෙක් තරග තීරකයන් ලෙස ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ තරග තීරකයන් දෙදෙනෙකු වන ග්‍රැහැම් ලැබ්‍රෝයි, වෙන්ඩල් ලැබ්‍රෝයි සහ දේශීය තරග තීරකයෙකු වන මනෝජ් මෙන්ඩිස් එක්වනවා.

වමේ සිට දකුණට: ග්‍රැහැම් ලැබ්‍රෝයි, රංජන් මඩුගල්ල, මනෝජ් මෙන්ඩිස්, වෙන්ඩල් ලැබ්‍රෝයි

තරගාවලිය සඳහා නම් කළ විනිසුරුවන් අතරින් අත්දැකීම් බහුලතම විනිසුරුවා වන කුමාර ධර්මසේන ලොව පුරා ප්‍රධාන පෙළේ තරගාවලි රැසක විනිසුරුවරයා ලෙස කටයුතු කර තිබෙන අතර ඔහු 2012 සහ 2018 යන වසරවල හොඳම විනිසුරු සම්මානයෙන් ද පිදුම් ලැබුවා.

ඔහුට අමතරව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ විනිසුරුවරුන් ලෙස කටයුතු කරන රුචිර පල්ලියගුරු, ලින්ඩන් හැනිබල්, රවීන්ද්‍ර විමලසිරි සහ ප්‍රගීත් රඹුක්වැල්ල ද තරගාවලිය සඳහා ඇතුළත් කර තිබෙනවා.

ඔවුන්ට අමතරව පළමු කාණ්ඩයේ විනිසුරුවන් ලෙස කටයුතු කරන දීපාල් ගුණවර්ධන, හේමන්ත බොතේජු, කීර්ති බණ්ඩාර, අසංග ජයසුරිය, රෝහිත කොට්ටච්චි සහ රවීන්ද්‍ර කොට්ටච්චි එම විනිසුරු මඩුල්ල සඳහා නම් කර තිබෙනවා.

මෙවර ලංකන් ප්‍රිමියර් ලීග් තරගාවලිය දෙසැම්බර් 05 වැනිදා සිට 26 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව ඇති අතර පළමු වටයේ තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දීත්, අවසන් වටයේ තරග සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දීත් පැවැත්වීමට නියමිතයි.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<