CR කණ්ඩායම සතු වූ ජයග්‍රහණය CH ක්‍රීඩකයෝ උදුරා ගනිති

560

ඩයලොග් අන්තර් සමාජ රග්බි තරගාවලියේ අවසන් සතිය ආරම්භ කරමින් CR & FC කණ්ඩායමත්, CH & FC කණ්ඩායමත් තුරඟ තරග පිටියේ දී අද (09) තරග වැදුණු අතර එහි දී ලකුණු 25-24ක තියුණු ජයක් ලබා ගැනීමට CH & FC ක්‍රීඩකයන් සමත් විය.

නාවික බලය හමුවේ ගුවන් බලය යටපත් වේ

ඩයලොග් අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ දාහතර වන සතිය හෙවත් අවසන් සතිය ආරම්භ කරමින් අද (09) ගුවන් හමුදා ක්‍රීඩා සමාජය සමඟ පැවති තරගය ලකුණු 50-28ක් ලෙස ජය…

ප්‍රසාද ලකුණු සටහනේ තෙවන ස්ථානය සඳහා වන තරගය නිසාවෙන් ක්‍රීඩාගාරය අතුරු සිදුරු නැතිව පිරී තිබුණේ මේ තරග මාලාවේ කාගේත් අවධානය දිනාගත් ජනප්‍රියතම තරගය මෙය වීම නිසාවෙනි. එසේම ශ්‍රී ලංකා සත් සාමාජික කණ්ඩායමේ නායක සුදර්ශන මුතුතන්ත්‍රි නවසීලන්තයේ සිට පැමිණීමෙන් පසුව සහභාගී වන පළමු තරගය මෙය වීමත් විශේෂත්වයකි.

තරගය ආරම්භවත්ම දෙපිලේම ආරක්ෂක වළලු තරමක් ලිහිල් බව දක්නට ලැබුණු අතර එයින් මනාව ඵල නෙලා ගනිමින් කවිඳු පෙරේරා තරගයේ ආරම්භක උත්සාහක දිනුම CR වෙත දිනා දුන්නේය. එහි ප්‍රවර්තනය ද තරින්ද රත්වත්තේ විසින් සාර්ථක කර ගත්තේය. (07-00)

ඉන් මිනිත්තු කිහිපයකට පසුව CH කණ්ඩායමේ ලකුණු මැෂිම ලෙස විරුදාවලි ලත් සැමුවෙල් මධුවන්ත CH & FC වෙනුවෙන් පළමු ලකුණු ත්‍රිත්වය දිනා දුන්නේය. ඒ CR කණ්ඩායමෙන් කළ අනිසි බලපෑමකින් ලද දඬුවම් පහරක් සාර්ථක කර ගනිමිනි. (07-03)

කාගේත් අවධානය දිනා ගත් ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක සුදර්ශන මුතුතන්ත්‍රි තම සුපුරුදු දක්ෂතා විදහා දක්වමින් CH & FC කණ්ඩායමේ පළමු උත්සාහක දිනුම වාර්තා කළේ ප්‍රතිවාදී ආරක්ෂක බැම්ම ඉදිරිපිටම ලද ද්විත්ව ආරක්ෂක වළල්ල බිඳ හෙළමිනි. එහි ප්‍රවර්තනය අසාර්ථකයි. (07-08)

මිනිත්තුවෙන් මිනිත්තුවට තරගය උද්වේගකර වන්නට වූ අතර CR කණ්ඩායමේ ආක්‍රමණශීලී ක්‍රීඩක ඔමල්ක ගුණරත්න සූක්ෂමව CH ආරක්ෂක වළල්ල අතික්‍රමණය කරමින් සාර්ථකව ධවල රේඛාව පසුකර යමින් උත්සාහක දිනුමක් වාර්තා කළේය. එහි ප්‍රවර්තනය ද සාර්ථකයි. (14-08)

CH කණ්ඩායම කෙමෙන් කෙමෙන් CR ක්‍රීඩකයන් ලුහු බඳින්නට වූ අතර අවසානයේ ලද පන්දු හුවමාරුවත් සමඟින් සැමුවෙල් මධුවන්ත සාර්ථකව CR ධවල රේඛාව අතික්‍රමණය කරන ලදි. එහි ප්‍රවර්තනය ද සාර්ථකයි. (14-15)

පළමු අර්ධයේ අවසානය පෙනෙන මානයේ දී CH අතින් සිදු වූ අනිසි බලපෑමකින් ලද අසීරු දඬුවම් පහරක් සාර්ථක කර ගන්නට තරින්ද රත්වත්තට හැකි විය. (17-15)

පළමු අර්ධය: CR & FC 17 – 15 CH & FC

ලකුණු දෙකක පරතරයක් සමඟින් දෙවන අර්ධය ආරම්භ වූ අතර තරගය තරමක් උද්යෝගී ස්වභාවයක් පෙනෙන්නට තිබුණු නිසාවෙන්ම දෙපිලම කරට කර ක්‍රීඩා කරනු දක්නට ලැබුණි. කෙසේ නමුත් CR ක්‍රීඩකයින් අභිබවා යමින් CH ක්‍රීඩක චතුර ඩිල්ෂාන් තවත් උත්සාහක දිනුමක් වාර්තා කළේය. එහි ප්‍රවර්තනය ද අසාර්ථකයි. (17-20)

තරගය අතිශයින් උද්වේගකර වන්නට වත්ම දෙපිලම නැවතත් ලකුණු පිපාසයෙන් ක්‍රීඩා කරන්නට විය. CR කණ්ඩායමෙන් ඉවතට ඇදී යන තරගය නැවත CR වෙත ගෙන එන්නට ක්‍රීඩකයින් මහන්සි ගන්නා බවක් පෙනෙන්නට තිබුණි. කෙසේ නමුත් තරගයේ තීරණය වෙනස් කිරීමට සමත් උත්සාහක දිනුමක් චරණ චාමිකර විසින් සාර්ථක කර ගත්තේ  ඔමල්කගේ සහය ඇතිවයි. එහි ප්‍රවර්තනය ද සාර්ථකයි. (24-20)

තරගයේ අවසන් මිනිත්තුව කණ්ඩායම් දෙකටම ඉතාමත් තියුණු එකක් වූ අතර CR කණ්ඩායම කෙසේ හෝ තරගය ජය ගැනීමට යත්න දරණ අතරතුර CH කණ්ඩායමේ හෂාන් මධුරංග ජයග්‍රාහී ලීලාවෙන් ධවල රේඛාව පසුකර ගියේ තරගාවලියේ තෙවැනි ස්ථානය CH & FC කණ්ඩායමට දිනා දෙමිනි. (24-25)

අවසන් ලකුණු තත්වය: CH & FC 25 (4T 1C 1P) –  24 (3T 3C 1P) CR & FC

ThePapare.com තරගයේ වීරයා – හෂාන් මධුරංග (CH & FC)

ලකුණු රැස්කළ ක්‍රීඩකයන්

  • CH & FC – සුදර්ශන මුතුතන්ත්‍රි 1T, හෂාන් මධුරංග 1T, චතුර ඩිල්ෂාන් 1T, සැමුවෙල් මදුවන්ත 1T 1P 1C
  • CR & FC – කවිඳු පෙරේරා 1T, ඔමල්ක ගුණරත්න 1T, චරණ චාමිකර 1T, තරින්ද රත්වත්තේ 3C 1P

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<