Rohan Bopanna වයස අවුරුදු 43දී ලොව අංක එකට පැමිණෙයි!

Australia Open 2024

2089

මේ වන විට මුලු මහත් ඉන්දියාවේ ම සහ ලෝක ටෙනිස් රසික ප්‍රජාව අතර ද ප්‍රධානතම මාතෘකාවක් බවට පත් වීමට ඉන්දීය ටෙනිස් ක්‍රීඩක Rohan Bopanna විසින් සමත් වී තිබෙනවා.

පසුගිය බදාදා (24) දිනයේ දී 2024 ඕස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගයක දී සිය ඕස්ට්‍රේලියානු සගයා වන Matthew Ebden සමඟ ආජන්ටිනා ක්‍රීඩකයින් දෙදෙනෙකුට (M. González, A. Molteni) එරෙහිව ජයග්‍රහණයක් ලබමින් තරගාවලියේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීමට Rohan විසින් සමත් වුනා.

මෙම ජයග්‍රහණයත් සමඟින් ම ඊයේ (25) දිනය වන විට Rohan විසින් ටෙනිස් යුගල ශ්‍රේණිගත කිරීම් හි ලොව අංක එකේ ක්‍රීඩකයා බවට පත් වීමට අවශ්‍ය සුදුසුකම් සපුරනු ලැබුවා. එළඹෙන සඳුදා (29) දිනයේ දී යාවත්කාලීන වීමට නියමිත ATP ශ්‍රේණිගත හිදි Rohan යුගල ශ්‍රේණිගත කිරීම් හි ලොව පළමු ස්ථානයට නිල වශයෙන් පත්වනු ඇති.

මෙය ඉන්දීය ජාතිකයකු විසින් ටෙනිස් ක්‍රීඩාව තුළ දැක්වූ ඉහළතම දක්ෂතාවක්* ලෙස හැඳින්විය හැකි අතර, වඩාත් විශේෂතම කරුණක් සහ Rohan වෙත ලොව පුරා අවධානය යොමු වීමේ ප්‍රධානතම හේතුව වන්නේ ඔහු විසින් මෙම කඩ ඉම වෙත ළඟා වන විට ඔහු වයස අවුරුදු 43 ඉක්මවා තිබීමයි.

*. Mahesh Bhupathi 1999 වසරේ දී ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයා බවට පත් වූ අතර, ඊට අමතරව Somdev Devvarman සහ Sania Mirza වැනි ක්‍රීඩක/ක්‍රීඩිකාවන් ද ඉන්දියාව නියෝජනය කරමින් ලෝක මට්ටමෙන් ටෙනිස් ක්‍රීඩාවේ කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් වුනා.

1980 මාර්තු මස 04 වැනි දා ඉන්දියාවේ බැංගලෝර් හිදි උපත ලද Rohan තවත් මාස දෙකකටත් අඩු කාලයක් තුළ සිය 44 වැනි උපන්දිනය සැමරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා. එවන් වයසක දී ඔහු විසින් සිය ටෙනිස් ක්‍රීඩා දිවියේ හොඳම ශ්‍රේණිගත කිරීම් අංකය ලබා ගැනීමට සමත් වීම අතිශය පුදුම උපදවන සුළු බවයි නිසැකවම පැවසිය හැකි.

2003 වසරේ දී වෘත්තීය ටෙනිස් ක්‍රීඩකයකු බවට පත් වූ Rohan මීට පෙර 2013 වසරේ දී ලෝක යුගල ශ්‍රේණිගත කිරීම් හි 03 වැනි ස්ථානයට පත් වූ අතර, මීට පෙර Rohanගේ ඉහළම ශ්‍රේණිගත කිරීම ලෙස සටහන් වූයේ එයයි. ඒ වන විට 33 හැවිරිදි වියේ පසු වූ Rohan පසුව ක්‍රම ක්‍රමයෙන් සිය ක්‍රීඩා ජීවිතයේ අවසන් කාල සීමාවට ළඟා වන බව පෙනෙන්නට තිබුණා.

2019 පමණ වන විට තමන් ක්‍රීඩාවට සමු දීම පිළිබඳ සිතමින් සිටි බවයි Rohan සඳහන් කරන්නේ.

” 2019 අවසන් වෙද්දී මම ටෙනිස් නතර කරන්න සිතමින් සිටියේ, මොකද මගේ දණහිස්වල ලොකු වේදනාවක් තිබුණා. මම දවසකට වේදනා නාශක 2-3ක් ගත්තා. මම වසරේ මුල් මාස පහ තුළ එකම තරගයක් වත් ජයග්‍රහණය කළේ නැහැ.”

නමුත් කොරෝනා වෛරසය සමඟ ලෝකයේ ම වැඩකටයුතු අකර්මණ්‍ය වූ කාල සීමාවේ දී තමන් යෝගා ව්‍යායාම සඳහා නැඹුරු වීමට පටන් ගැනීමත් සමඟින් සිය ශාරීරික යෝග්‍යතාව මෙන්ම මානසික යෝග්‍යතාව ද වඩාත් ඉහළ තත්වයකට පැමිණි බව Rohan සඳහන් කරනවා.

එහි අවසන් ප්‍රතිඵලය වුනේ 2023 වසර අවසානය වන විට Rohan නැවතත් ලෝක යුගල ශ්‍රේණිගත කිරීම් හි තෙවන ස්ථානය දක්වා පැමිණීමයි.

ඉන් පසුව ඔහු 2024 ඕස්ට්‍රේලියානු විවෘත ටෙස්ට් තරගාවලිය සඳහා සහභාගී වූ අතර, මෙම තරගාවලිය අතර තුරයි ඔහු ලොව අංක එකේ ස්ථානය දක්වා පැමිණීමට සමත් වන්නේ. එමෙන්ම පසුගිය බදාදා පැවැත්වුණු අර්ධ අවසන් පූර්ව තරගයෙන් ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව Rohan සහ ඔහුගේ සගයා වන Ebden විසින් ඊයේ (25) දිනයේ දී තරගාවලියේ අවසන් පූර්ව තරගය ද ජයග්‍රහණය කිරීමට සමත් වුනා. ඒ අනුව මෙම යුගලය හෙට (27) තවත් ඉතාලි ක්‍රීඩකයින් ‍යුගලයක් වන S. Bolelli සහ A. Vavassori සමඟ 2024 ඕස්ට්‍රේලියානු විවෘත යුගල අවසන් මහා තරගයට ක්‍රීඩා කරනු ඇති.

පසුගිය වසරේ දී ද ඔහු විසින් ඇමරිකානු විවෘත යුගල තරග අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ද සමත් වුනා. නමුත් අවාසනාවන්ත ලෙස ඔහුට එය ජයග්‍රහණය කිරීමට හැකියාවක් ලැබුණේ නැහැ. ඊට පෙර ඔහු විසින් Grand Slam තරගාවලියක අවසන් මහා තරගයකට සුදුසුකම් ලබා ගත්තේ ඊටත් වසර 13කට පෙර 2010 වසරේ දී වීම ද විශේෂත්වයක්.

“මගේ දණහිස්වල කාටිලේජ නැහැ, ඒවා සම්පූර්ණයෙන්ම ගෙවී ගිහින්.”

සාමාන්‍ය ක්‍රීඩකයකු විශ්‍රාම සුවයෙන් පසු වන කාලය තුළ තම උපරිමයට ළඟා වූ Rohanගේ ගමන කෙතරම් අසීරු එකක් ද යන්න එම ප්‍රකාශයෙන් ම පැහැදිලි කර ගත හැකි. කෙසේ වෙතත් තම ගමන තවත් ක්‍රීඩකයකුට හෝ පුද්ගලයකුට බලාපොරොත්තුවක් ඇති කරවනු ඇති බවයි Rohan විශ්වාස කරන්නේ.

” ඉන්දීය ටෙනිස්වලට මෙය අවශ්‍යයි, ක්‍රීඩාව නරඹමින් හැදී වැඩෙන අයට සැම විටම වීරයින් සිටිනවා. මම අංක එකට පැමිණීම කොහේ හරි ගෙදරක ඉඳන් බලා ගෙන ඉන්න කෙනෙකුට බලාපොරොත්තුවක් ඇති කරාවි කියලා මම හිතනවා.

ටෙනිස්වල විතරක් ම නෙවෙයි, ලොව පුරා සිටින වයස අවුරුදු 40 සහ ඊට වැඩි පිරිස් වෙනස් ම ආකාරයකින් මෙය නිසා දිරිමත් වේවී.”

හෙට පැවැත්වීමට නියමිත තරගය ජයග්‍රහණය කිරීමට හැකි වේ නම් එය Rohanගේ පළමු පිරිමි යුගල* Grand Slams ජයග්‍රහණය බවට පත් වනු ඇති.

*. ඔහු විසින් 2017 වසරේ දී ප්‍රංශ විවෘත මිශ්‍ර යුගල ශූරතාව ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

කෙසේ වෙතත් එම තරගය ජයග්‍රහණය කිරීම හෝ නොකිරීම මත Rohanගේ ක්‍රීඩා දිවියේ ලද ඉහළම වටිනාකම කිසිඳු ලෙසකින් බාල්දු නොවනු ඇති.

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ නැවුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<