Evansගේ දක්ෂතා සමඟින් ජයග්‍රහණය Serendibට

ශූරයින්ගේ ලීග් පාපන්දු තරගාවලිය 2022

194

ශූරයින්ගේ ලීග් පාපන්දු තරගාවලියේ 8 වැනි සතියේ දෙවැනි තරගය අද (06) කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී පැවති අතර එහි දී ගෝල 4-2ක් ලෙස පොලිස් ක්‍රීඩා සමාජය පරාජය කරමින් ජයග්‍රහණය වාර්තා කරන්නට Serendib SC ක්‍රීඩකයින් සමත් වුනා.

13 වැනි මිනිත්තුවේ දී Serendib නායක Asante Evans විසින් ලකුණු පුවරුව ක්‍රියාත්මක කරන්නට සමත් වුනා. 24 වැනි මිනිත්තුවේ දී ලකුණු පුවරුව දෙගුණ කරමින් ගෝලයක් වාර්තා කරන්නට Serendib ක්‍රීඩක Mohamed Fayas සමත් වුනා.

එම පීඩනය හමුවේ ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමට පොලිස් ක්‍රීඩකයින් සමත් වුනේ 30 වැනි මිනිත්තුවේ දීයි. එම ගෝලයේ හිමිකාරිත්වය Anthony Thanujan සතු වූ අතර ඉන්පසුව ප්‍රථම අර්ධය අවසන් වන තෙක් ලකුණු පුවරුව වෙනස් කරන්නට දෙපිලේම ක්‍රීඩකයින් සමත් වුනේ නැහැ.

ගෝල 2-1ක් ලෙස ප්‍රථම අර්ධයේ පසුබෑමත් සමඟින් තරගයට පිවිසි පොලිස් ක්‍රීඩකයින් වෙනුවෙන් ලකුණු පුවරුව සම තත්වයට ගෙන ඒමට පොලිස් ක්‍රීඩක ශිහාන් ප්‍රබුද්ධ සමත් වන්නේ 53 වැනි මිනිත්තුවේ දීයි.

නමුත් ඉන්පසුව ජයග්‍රහණය වෙනුවෙන් ඉදිරියට ඇදුණු Serendib නායකයා සිය දෙවැනි ගෝලයත් දැල් ගත කරමින් තරගයේ පෙරමුණ Serendib වෙත දිනා දුන්නා.

72 වැනි මිනිත්තුවේ දී වාර්තා වූ එම ගෝලයෙන් පසුව මිනිත්තු 5ක් ගත වෙද්දී Wijekumar Vignesh විසින් Serendib වෙනුවෙන් 4 වැනි ගෝලයත් වාර්තා කරන්නේ 4-2ක් ලෙස තරගයේ ජයග්‍රහණය Serendib වෙත දිනා දීමට දායක වෙමින්.

අවසන් ලකුණු තත්වය: පොලිස් ක්‍රීඩා සමාජය 2 – 4 Serendib SC

ගෝල ලාභීන්:

  • පොලිස් – Anthony Thanujan (30’), ශිහාන් ප්‍රබුද්ධ (53’)
  • Serendib – Asante Evans (13’ & 72’), Mohamed Fayas (24’), Wijekumar Vignesh (77’)

8 වැනි සතියේ තවත් තරග දෙකක් අගෝස්තු 9 වැනිදා පැවැත්වීමට නියමිතයි. එහි දී St. Mary’s සහ Saunders අතර තරගය මාලිගාපිටිය ක්‍රීඩා පිටියේ දීත්, Crystal Palace සහ Java Lane අතර තරගය සුගතදාස ක්‍රීඩාංගණයේ දීත් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

තරගාවලියේ සියලු පුවත් ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<