සොෆියා වෙනුවෙන් යුරෝපය ආක්‍රමණය කළ සුවාරෙස්

998
Telegraph.co.uk

ඔහුගේ ක්‍රීඩා දිවිය පුරාම ඔහුව අනෙක් පාපන්දු ක්‍රීඩකයන් අතරින් කැපී පෙනෙන්නට හේතු වූයේ ඔහුගේ “බොක්කෙන් හෝ බොලොක්කෙන්” න්‍යායයි. සාමාන්‍යයෙන් ඔහුගේ මානුෂීය ගතිගුණ ගැන ලොව වටා ඇත්තේ යහපත් මතයක් නොවුනත්, ඔහු තද ක්‍රීඩකයෙකු මෙන්ම තදබල ප්‍රේමවන්තයෙකි.

විනිසුරු දුටුවත් නැතත්, ලෝකයා සතුටු වුවත් නැතත්, ප්‍රතිවාදී ක්‍රීඩකයෙකුගේ පයට ඇනීම Luis Suarez හට සරල දෙයකි. ප්‍රතිවාදීන්ගේ හිසට හිස වද්දා ගැනීම, ඔවුන්ව තල්ලු කිරීම, වාද කිරීම, වැලමිටෙන් ඇනීම හැරුණු කොට ඔවුන්ව සපාකෑමට ද සුවාරෙස් පෙලඹුණු අවස්ථා තිබේ. ඒ ඔහුගේ සාමාන්‍ය ක්‍රීඩා ශෛලියයි. එහෙත් ප්‍රේමය සම්බන්ධව, ලොව සුදනන් යැයි කියැවෙන බොහෝ දුදනන්ට වඩා සුවාරෙස් යනු සැබෑම ප්‍රේමවන්තයෙකි.


ලුයිස් සුවාරෙස් සහ සොෆියා බැල්බි නව යොවුන් වියේ දී

සුවාරෙස් හට සොෆියා බැල්බි හමුවුනේ ඔවුන් දෙදෙනාම නව යොවුන් වියේ සිටිය දීයි. ඒ වන විට සුවාරෙස් 15 වැනි වියෙහි ද, සොෆියා 13 වැනි වියෙහි ද පසුවිය. සුවාරෙස් ඒ වන විට දරිද්‍රතාවයෙන් මිරිකී සිටි අතර වීදි පිරිසිදු කිරීම ඔහු රැකියාවක් ලෙස කළේය.

කෙසේ වෙතත් සුවාරෙස්ගේ පාපන්දු දස්කම් කැපී පෙනෙන්නට වූ නිසා වැඩිකල් නොගොස්ම Nacional (නැසියොනාල්) පාපන්දු සමාජයට නවක ක්‍රීඩකයන් සොයා දෙන්නෙකු වූ විල්සන් පෙරේස් හට සුවාරෙස් නම් නව යොවුන් පාපන්දු දක්ෂයාව හමුවිය.

සහෝදර සහෝදරියන් හත්දෙනෙකුගෙන් යුත් සුවාරෙස්ගේ පවුල දරිද්‍රතාවයෙහි ගොදුරක් වූ නිසා පවුල තුළ දී යමක් ලබා ගන්නට නම් සටන් කළ යුතු විය. එමෙන්ම වීදි පිරිසිදු කරන්නෙකු වශයෙන් සහ අවට සමාජයේ දී සටන් කළහොත් මිස යමක් නොලැබුණු නිසා සුවාරෙස් සෑමවිටම සටන්කාමියෙකු විය. සුළු දෙයටත් වාද විවාද වල පැටලීම සහ ගැටුම් වලට මැදිවීම එහි අතුරු ඵලයකි.

කෙතරම් දක්ෂ ක්‍රීඩකයෙකු වුවත් Nacional ක්‍රීඩා සමාජයේ යොවුන් කණ්ඩායම හා එක්වූ පසු ද ඔහුගේ කලහකාරී හැසිරීම් නොවෙනස් විය. විනිසුරුවරයෙකුට හිසින් පහර දීම නිසා ලද රතු කාඩ්පතක් මෙන්ම බිමත්කම නිසා ඇතිකරගත් ගැටුම් කිහිපයකින් පසු ඔහුගේ පුහුණුකරු ඔහුට බැන තර්ජනය කළේය. ඒ කිසිවකින් දමනය නොවූ සුවාරෙස්ව දමනය කළ හැකි එක් අයෙකු විය. ඒ සොෆියායි.

අවුරුදු 15දී මගේ ඔළුව පැහැදිලිව තියාගන්න ඇය මට උදව් කළා. ඒකෙන් මම තේරුම් ගත්තා පාපන්දු ක්‍රීඩාව මට කොයිතරම් වැදගත් ද කියන එක.”

ඇය ගැන සුවාරෙස් අද පවසන්නේ මෙවැන්නකි.

නව යෞවනයෙකු ලෙස ඇයව සතුටු කිරීම සඳහා හොඳින් පාපන්දු ක්‍රීඩා කිරීමට අමතරව සුවාරෙස් තවත් යමක් කළේය. ඒ බිම වැටී තිබෙන කාසි ඇහිඳීමයි. ඒ වන විට ඔහු පුහුණු වනු දැකීමට පවා සොෆියා Nacional ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයට පැමිණියාය. ඇයට තෑගි ලබා දීම නව යොවුන් ඔහුගේ කැමැත්ත විය.

එහෙත් එක් මොහොතක දී දෛවය ඔහුට අභියෝගයක් පෑවේය. සොෆියා ඇගේ පවුල ජීවත් වූ ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවර වෙත පදිංචියට යන්නට තීරණය කළාය. බලවත් වේදනාවෙන් පසුවූ සුවාරෙස් පරාජය භාරගන්නට අකමැති වූයේ සුපුරුදු සටන්කාමී විලාශයෙනි.

සොෆියාගේ ළඟටම යන්නට නම් ස්පාඤ්ඤයේ බාසිලෝනා ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කිරීමේ වරම් දිනා ගත යුතු වූ බව වටහා ගත් සුවාරෙස් තරගයෙන් තරගය සිය දියුණුව සකසා ගත්තේය. ඒ වන විට ඔහු උරුගුවේහි ක්‍රීඩා සමාජයක ක්‍රීඩා කරන ක්‍රීඩකයෙකු පමණි. පළමු අභියෝගය වූයේ යුරෝපයට පා තැබීමයි.

ඔහුගේ කැපවීමට නිසි ප්‍රතිඵල ලැබුණි. නෙදර්ලන්තයේ Groningen (ග්‍රොනින්ගන්) ක්‍රීඩා සමාජයට නවකයන් සොයා යන නියෝජිතයකු සුවාරෙස්ව දුටුවේය. ඒ 2006/07 තරග වාරයයි. නෙදර්ලන්තය ස්පාඤ්ඤයෙන් ඈතක තිබුණ ද, අඩු වශයෙන් ඔහු තම පෙම්වතිය සමඟ එකම කලාපයක විසීමට අවස්ථාව උදාකරගෙන තිබිණි.

සුවාරෙස් ග්‍රොනින්ගන් හා ක්‍රීඩා කළ සමය

Groningen සමඟින් හොඳින් ක්‍රීඩා කළ සුවාරෙස්ව දුටු නෙදර්ලන්තයේ ප්‍රමුඛතම පාපන්දු කණ්ඩායමක් වන Ajax (අයැක්ස්) කණ්ඩායම ඔහුව තම කණ්ඩායමට ඇතුළත් කරගත්තේය. සුවාරෙස් කෙතරම් හොඳින් ක්‍රීඩා කළේ ද යත්, පිට පිට දෙවරක් Ajax හි වසරේ පාපන්දු ක්‍රීඩකයා ලෙස ඔහු සම්මාන දිනා ගත්තේය.

Ajax සමඟින් සාර්ථක සිව්වසරක් ගතකිරීමට ඔහු සමත් විය. 2009 වන විට ඔහු ඔහුට අවශ්‍ය මට්ටමේ ක්‍රීඩකයෙකු ව සිටියේය. බාසිලෝනා ක්‍රීඩා සමාජයට එක්වන්නටත් පෙර ඔහු සොෆියාව විවාහ කරගත්තේය.

එංගලන්ත ප්‍රීමියර් ලීගයේ දැවැන්ත කණ්ඩායමක් වන Liverpool (ලිවර්පූල්) ඉදිරිපෙළ ප්‍රහාරකයෙකු සොයමින් සිටින්නේ මේ කාලයේ දීයි. සුවාරෙස් ඊට කදිමට ගැලපුණි. 2012/13 සහ 2013/14 යන වර්ෂවල ලිවර්පූල්හි වසරේ පාපන්දු ක්‍රීඩකයා වූ සුවාරෙස් යුරෝපියානු රන් සපත්තුව ද දිනා ගත්තේය.

එහෙත් මේ සියලු ජයග්‍රහණ මැද විනය විරෝධීව හැසිරීම පිළිබඳ ඔහු චෝදනා සහ දඬුවම් ලැබූ අවස්ථා කොතෙකුත් විය. Chelsea (චෙල්සී) කණ්ඩායමේ ආරක්ෂක පෙළෙහි ක්‍රීඩක බ්‍රැනිස්ලොව් ඉවනොවිච්ව සපාකෑම නිසා ඔහුට තරග 10ක තහනමක් ලැබිණි. එබැවින් ඔහු කෙතරම් දක්ෂයෙකු වුවත් ලෝකයෙන් කොන් විය.

ක්‍රීඩකයෙකු ලෙස මෙන්ම මනුෂ්‍යයෙකු ලෙස ද වටිනා කෙනෙකු විය යුතු බව ඔහුට වටහා දීම කළ හැක්කේ තමන්ට බව සොෆියාට ඒත්තු යන්නේ එම කාලයේ දීය. ඇය තමන් සතු “ප්‍රේම බලය” උපයෝගී කොටගෙන සුවාරෙස් හා සාකච්ඡා කළාය. ඔහුට අවශ්‍ය වූයේ ආදරය පමණි. අතින් පයින් වචනයෙන් නොව පාපන්දුවෙන් වැඩ පෙන්විය යුතු බව ඔහුට පසක් විය.

2014 දී Barcelona (බාසිලෝනා) ක්‍රීඩා සමාජයට ඔහුව තෝරාගත්තේය. ඔහුට ඔහුගේ ප්‍රිය බිරිඳගේ ගම් ප්‍රදේශයේ, එකම නිවෙසක විසීමේ වාසනාව ලැබුණි. ඒ සියල්ල පිටුපස සිටි දැවැන්ත පෙම් පවුර සොෆියා ය. ඒ වනවිට ප්‍රබල ඉදිරි පෙළක් සිටි බාසිලෝනා කණ්ඩායමේ “MSN පෙළ” ලෙස ලෝක ප්‍රසිද්ධ වූයේ Lionel “M”essi (ලියොනල් මෙසී), Luis “S”uarez (ලුයිස් සුවාරෙස්) සහ “N”eymar Jr. (නේමාර් ජූනියර්) ය. කලහකාරියෙකු ලෙස ලොවක නින්දා අපහාස ලබමින් සිටි සුවාරෙස් ප්‍රේමණීය පාපන්දු සලකුණක් විය.

මගේ බිරිඳ මට උපදෙස් දෙනවා. ඔයා විනිසුරුවරුන් එක්කයි ප්‍රතිවාදී ආරක්ෂක පෙළ එක්කයි වාද කරනවා වැඩියි. ඔයාට ඒවට නොගිහින් ඉන්නයි තිබුනේකියලා. මම පැත්තකට යනවා, ඒ ගැන හිතනකොට තේරෙනවා ඇය නිවැරදියි කියලා. ඇය කියන්නේ අපි පැත්තකට ගිහින් හිතන්න ඕන කියලා. මමත් පිටියෙන් එළියේ දී එහෙමයි.”, සුවාරෙස් කියයි.

සුවාරෙස්-සොෆියා පවුල

ක්‍රීඩාව ගැන ළඟින් බලන බිරිඳක් ඉන්න එක හොඳයි. කාටවත් වඩා හොඳින් ඇය මාව දන්නවා සහ වඩා හොඳට ක්‍රීඩා කරන්නත් මාව සතුටින් ඉන්න කෙනෙක් කරන්නත් මට ඇගේ උපදෙස් අවශ්‍යයි.”, ඔහු වැඩිදුරටත් කියයි.

2020 වසර වන තෙක් බාසිලෝනා කණ්ඩායම හා සිටි සුවාරෙස් විසින් ඉන් අනතුරුව Atletico Madrid (ඇට්ලටිකෝ මැඩ්රිඩ්) සමඟ දෙවසරක් ගතකොට 2022 දී ප්‍රේමණීය තීරණයක් ගනු ලැබුවේය.

ඒ ඔහුගේ මුල් පාපන්දු කණ්ඩායම වූ Nacional වෙත යළි පැමිණීමයි. එය ප්‍රේමණීය තීරණයක් වන්නේ ඇයි දැයි ඔබට පැහැදිලි ඇතැයි සිතමි. සුවාරෙස් වයස අවුරුදු 20 පිරෙන විටම Nacional හැර යන්නේ යුරෝපයේ සිටින තම පෙම්වතිය වූ සොෆියාට ළඟා වීමේ සිහිනයෙනි. එම සිහිනය ඔහුව පාපන්දු වීරයෙකු මෙන්ම සොෆියාගේ ස්වාමියා බවට ද පත්කළේ ය.

ඔහු නැවත උරුගුවේ වෙත එන්නේ ජයග්‍රාහකයෙකු ලෙසය. එලෙස එන ගමනේ දී ඔවුන් හා එක්වන අමුත්තන් කිහිප දෙනෙකු ද ඇත. ඒ, ලුයිස් සුවාරෙස් නම් නව යොවුන් තරුණයා පාපන්දු පුහුණු වනු නැරඹීමට Nacional ක්‍රීඩා පිටියට ආ සොෆියා නම් නව යොවුන් තරුණියට ලුයිස් සුවාරෙස් නම් පාපන්දු වීරයාගෙන් පිළිසිඳගත් දරු තිදෙනායි. අද ඔවුන් සියලු දෙනාම එක පවුලකි.

සාමාන්‍යයෙන් ලොව ප්‍රබලතම පාපන්දු ක්‍රීඩා සමාජ නියෝජනය කළ ක්‍රීඩකයෙකු නැවත සිය නිජබිමේ මුල් ක්‍රීඩා සමාජයට පැමිණීම ජයග්‍රාහී කතාන්දරයක් නොවේ. එහෙත් සුවාරෙස් යුරෝපයට ගොස් නැවත පැමිණෙන්නේ තම ප්‍රේමයත්, පාපන්දු සලකුණුත්, ප්‍රතිරූපයත් නැවත රැගෙන ජයග්‍රාහකයෙකු ලෙස ය.

කෙතරම් සුන්දර ආදර කතාවක් ද…

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<