වෙස්ලි ක්‍රීඩකයින් සුපිරි වටයට යද්දී විද්‍යා ක්‍රීඩකයින්ට තියුණු ජයක්!

Dialog පාසල් රග්බි ලීග් තරගාවලිය 2022

1871

මෙරට පාසල් රග්බි පිටියේ උත්කර්ෂවත් සැණකෙළිය වන, Dialog පාසල් රග්බි ලීග් තරගාවලියේ 6 වැනි සතියේ තරග දෙකක් අද (30) පැවැත්වුනා.

එහි දී, ධර්මරාජ ක්‍රීඩකයින් පරාජය කරමින් වෙස්ලි ක්‍රීඩකයිනුත්, සාන්ත පීතර ක්‍රීඩකයින් පරාජය කරමින් විද්‍යා විද්‍යාල ක්‍රීඩකයිනුත් ජයග්‍රහණ වාර්තා කරන්නට සමත් වුනා.

කොළඹ වෙස්ලි විද්‍යාලය සහ මහනුවර ධර්මරාජ විද්‍යාලය

නිත්තවෙල දී පැවති මෙම තරගයෙන් ලකුණු 31-12ක් ලෙස ජයග්‍රහණය වාර්තා කරමින් සුපිරි වටයට සුදුසුකම් ලබා ගන්නට වෙස්ලි ක්‍රීඩකයින් සමත් වුනා.

සුපිරි වටයට යෑම සඳහා නම් මෙම තරගය ජයග්‍රහණය කිරීම වෙස්ලි ක්‍රීඩකයින්ට අනිවාර්ය වූ අතර 8 වැනි මිනිත්තුවේ දී වෙස්ලි Fullback ක්‍රීඩක තරුෂ ජයවීර විසින් වාර්තා කළ උත්සාහක දිනුමත් සමඟින් ලකුණු පුවරුව ක්‍රියාත්මක වුනා (වෙස්ලි 5 – 0 ධර්මරාජ).

ඉන් මිනිත්තු 12කට පමණ පසුව වෙස්ලි ක්‍රීඩක නිතිල් රොද්‍රිගෝ විසින් තවත් උත්සාහක දිනුමක් වාර්තා කරන්නට සමත් වුනා. පළමු ප්‍රවර්තන අවස්ථාව මඟ හැරුනත් ශවීන් ජයවර්ධන විසින් දක්ෂ ලෙස දෙවැනි ප්‍රවර්තනය සාර්ථක කර ගැනීමට සමත් වුනා(වෙස්ලි 12 – 0 ධර්මරාජ).

එතැනින් අවසන් නොවූ වෙස්ලි ක්‍රීඩකයින්ගේ ලකුණු හඹා යෑමට තවත් උත්සාහක දිනුමක් එකතු කරන්නට Hafeez Thabeeth සමත් වූ අතර ශවීන් විසින් එහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගන්නට සමත් වුනා (වෙස්ලි 19 – 0 ධර්මරාජ).

ධර්මරාජ ක්‍රීඩකයින් කිහිප වතාවක් උත්සාහක දිනුමක් වාර්තා කරන්නට සූදානම් වුවත් ඒ කිසිවක් සාර්ථක නොවූ නමුත්, අවසානයේ දී සෞම්‍ය විජේසිරි විසින් ධර්මරාජය වෙනුවෙන් පළමු උත්සාහක දිනුම වාර්තා කරන්නට සමත් වුනා. කෙසේ නමුත් එහි ප්‍රවර්තනය සාර්ථක කරගන්නට ධර්මරාජ ක්‍රීඩකයින්ට අවස්ථාව හිමි වුනේ නැහැ.

පළමු අර්ධය: වෙස්ලි විද්‍යාලය 19 (3T, 2C) – 5 (1T) ධර්මරාජ විද්‍යාලය

දෙවැනි අර්ධය ආරම්භ වී පළමු මිනිත්තු 10 තුල ක්‍රියාත්මක වූ නිතිල විසින් නැවතත් ධවල රේඛාව පසු කර යමින් සිය දෙවැනි උත්සාහක දිනුම වාර්තා කරන්නට සමත් වුනා. නමුත් ශවීන්ට එහි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නට නොහැකි වුනා (වෙස්ලි 24 – 5 ධර්මරාජ).

කෙසේ නමුත් ඉන්පසුව තරගය තරමක් මන්දගාමී ස්වරූපයක් ගත් අතර කණ්ඩායම් දෙකෙන්ම පන්දුව හැසිරවීමේ දී අඩුපාඩු වැඩි වශයෙන් සිදු වනු දක්නට ලැබුණා.

වෙස්ලි විදුහල වෙනුවෙන් තරගයේ පළමු උත්සාහක දිනුම වාර්තා කළ තරුෂ විසින් සාර්ථකව තවත් උත්සාහක දිනුමක් වාර්තා කරන්නට සමත් වුනේ Scrum Half ක්‍රීඩක රිගේෂ් මුරලිදරන්ගේ සහයෝගයත් ඇතිවයි. Shane Hopwood විසින් ප්‍රවර්තනයේ අතිරේක ලකුණු සාර්ථක කර ගන්නට සමත් වුනා (වෙස්ලි 31 – 5 ධර්මරාජ).

මෙතෙක් වේලා නිහඬව සිටි ධර්මරාජය වෙනුවෙන් දෙවැනි උත්සාහ දිනුම වාර්තා කරන්නට තේනුක වික්‍රමසිංහ සමත් වුනේ පැමිණ සිටි ප්‍රේක්ෂකයින් අමන්දානන්දයට පත්කරමිනුයි. විජේසිරි විසින් ප්‍රවර්තනය සාර්ථක කර ගන්නට සමත් වුනා (වෙස්ලි 31 – 12 ධර්මරාජ).

අවසානයේ තරගය නිමා වුනේ 31-12ක් ලෙස වෙස්ලි ක්‍රීඩකයින් විසින් තරගය ජයග්‍රහණය කරමිනුයි.

අවසන් ලකුණු තත්වය: වෙස්ලි විද්‍යාලය 31 (5T, 3C) – 12 (2T,1C) ධර්මරාජ විද්‍යාලය

  • NDB තරගයේ වීරයා – Rigesh Muralitharan (වෙස්ලි)

ලකුණු ලාභීන්:

  • වෙස්ලි – නිතිල් රොද්‍රිගෝ (2T), තරුෂාන් ජයවීර (2T), Hafeez Thabeeth (1T), ශවීන් රොද්‍රිගෝ (2C), Shane Hopwood (1C)
  • ධර්මරාජ – තේනුක වික්‍රමසිංහ (1T), සෞම්‍ය විජේසිරි (1T, 1C)

බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සහ ගල්කිස්ස විද්‍යා විද්‍යාලය

රත්මලාන ගුවන් හමුදා ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 12-10ක් ලෙස තියුණු ජයග්‍රහණයක් වාර්තා කරන්නට විද්‍යා විද්‍යාලය සමත් වුනා.

වෙස්ලි ක්‍රීඩකයින් ධර්මරාජය හමුවේ අද පරාජය වූවා නම් සහ මේ තරගයෙන් ප්‍රසාද ලකුණු සමඟින් ජයග්‍රහණය කරන්නට සාන්ත පීතර ක්‍රීඩකයින් සමත් වූවා නම් ඔවුන්ට සුපිරි වටයට යෑමට අවස්ථාවක් තිබුණු නමුත් එය සිහිනයක් පමණක්ම වුනා.

තරගයේ පළමුවෙන් ලකුණු ලබා ගැනීම ආරම්භ කළේ සාන්ත පීතර ක්‍රීඩකයින් විසිනුයි. විශෙන්ක සිල්වා විසින් සාර්ථක කර ගත් උත්සාහක දිනුමේ ප්‍රවර්තනය සාන්ත පීතරයින් අතින් ගිලිහී ගියා (විද්‍යා 0 – 5 සාන්ත පීතර).

ඉන් අනතුරුව විශෙන්ක විසින් සාන්ත පීතර ලකුණු පුවරුව දෙගුණ කරන්නට සමත් වුනේ නැවත වරක් පන්දුව ධවල රේඛාවෙන් එපිටට රැගෙන යමිනුයි. කෙසේ නමුත් මෙහි ප්‍රවර්තනය ද සාර්ථක කර ගන්නට සාන්ත පීතර ක්‍රීඩක එමිත් ජයවීරට නොහැකි වුනා (විද්‍යා 0 – 10 සාන්ත පීතර)

එම උත්සාහක දිනුමෙන් පසුව මෙතෙක් උත්සාහක දිනුමක් වෙනුවෙන් අරගල කළ විද්‍යා ක්‍රීඩකයින් විසින් පළමු උත්සාහ දිනුම වාර්තා කරන්නට සමත් වුනා. එච්. එල්. කළුආරච්චි විසින් සාර්ථක කර ගත් එම උත්සාහක දිනුමට අතිරේක ලකුණු එකතු වුනේ නැහැ.

පළමු අර්ධය: විද්‍යා විද්‍යාලය 5 (1T) – 10 (2T) සාන්ත පීතර විද්‍යාලය   

දෙවැනි අර්ධය නිසැක වශයෙන්ම විද්‍යා ක්‍රීඩකයින් සිය භාරයට නතු කර ගැනීමට සමත් වුනා. ඊට සාන්ත පීතරයින් අතින් සිදු වූ අත්වැරදීම් ද හේතුවක් වුනා.

ලකුණු රැස් කිරීම සඳහා විවර වූ අවස්ථාවකින් සාර්ථක ඵල නෙලා ගන්නට එස්. එස්. ආලෝක සමත් වුනේ විද්‍යා විද්‍යාලය වෙනුවෙන් දෙවැනි උත්සාහක දිනුම වාර්තා කරමින්. පළමු ප්‍රවර්තන අවස්ථාව මග හැරුනත් නදුන් කවීෂ විසින් දෙවැනි ප්‍රවර්තනය සාර්ථක කර ගන්නට සමත් වුනේ 12-10ක් ලෙස තරගයේ පෙරමුණ විද්‍යා විදුහල වෙත නතු කරමිනුයි.

ඉන් අනතුරුව, තරගය අවසන් වන තෙක් ලකුණු පුවරුව වෙනස් කරන්නට දෙපිලේම ක්‍රීඩකයින් අපොහොසත් වූ අතර ඒ අනුව ලකුණු දෙකකින් තරගය ජයග්‍රහණය කරන්නට විද්‍යා ක්‍රීඩකයින් සමත් වුනා.

අවසන් ලකුණු තත්වය: විද්‍යා විද්‍යාලය 12 (2T,1C) – 10 (2T) සාන්ත පීතර විද්‍යාලය   

  • NDB තරගයේ වීරයා – නදුන් කවීෂ (විද්‍යා)

ලකුණු ලාභීන්:

  • විද්‍යා – එස්. එස්. ආලෝක (1T), එච්. එල්. කළුආරච්චි (1T), නදුන් කවීෂ (1C)
  • සාන්ත පීතර – විශෙන්ක සිල්වා (2T)

Dialog රග්බි ලීග් තරගාවලියේ 6 වැනි සතියේ තවත් තරග කිහිපයක් හෙට (31) පැවැත්වීමට නියමිතයි. තරගාවලියේ උණුසුම සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්ම.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න <<