SAFF ශූරතාවයක සත්කාරකත්වය ශ්‍රී ලංකාවට

SAFF වයස අවුරුදු 17න් පහළ පාපන්දු ශූරතාවය 2022

203

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් පළමු වරට, දකුණු ආසියානු පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලබන SAFF වයස අවුරුදු 17න් පහළ පාපන්දු ශූරතාවයේ සත්කාරකතවය දිනා ගැනීමට සමත් වී තිබෙනවා.

තරගාවලි සැප්තැම්බර් 5 වැනිදා සිට 14 වැනිදා දක්වා කොළඹ දී පැවැත්වීමට නියමිතයි. 2012 වසරේ පැවති SAFF කාන්තා පාපන්දු ශූරතාවයට පසුව ශ්‍රි ලංකාවේ SAFF තරගාවලියක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

තරගාවලියේ සියලු තරග කොළඹ තුරඟ පිටියේ දී පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, නේපාලය, බංග්ලාදේශය, භූතානය සහ මාලදිවයින තරගාවලිය සඳහා සහභාගී වන සෙසු රටවල් වනවා. අවසන් වරට 2019 වසරේ දී පැවති තරගාවලියේ දී සත්කාරක ඉන්දීය ක්‍රීඩකයින් විසින් මාලදිවයින පරාජය කරමින් ශූරතවය ජයග්‍රහණය කරන්නට සමත් වෙද්දී ශ්‍රී ලංකාව සිව්වැනියා ලෙස තරගාවලිය අවසන් කළා.

දීර්ඝ කාලයකට පසු මෙම තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. අනාගත ජාතික කණ්ඩායම නිර්මාණය කිරීමේ දී මෙම තරගාවලිය ප්‍රධාන තැනක් ගනු නොඅනුමානයි. ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මේ දුෂ්කර කාලපරිච්ඡේදයේ දී මෙම තරගාවලියෙන් රටට අමතර විදේශ ආදායමක් ද ලැබෙනු ඇත. පාපන්දු ක්‍රීඩාව තුළින් රටට යම් විදේශ විනිමය ආදායමක් ලබා දීමට හැකි වීම ගැන අපි සතුටු වෙනවා,” ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ජස්වර් උමාර් පවසා තිබුණා.

පසුගිය දා පැවති 20න් පහළ සුදුසුකම් ලබා ගැනිමේ තරග ඔස්සේ පාපන්දු ක්‍රීඩාවට නිර්මාණය වුන ඉහළ ආකර්ශණය නිසා මෙම තරගාවලිය සඳහා සහභාගී වීමට විශාල ක්‍රීඩකයින් පිරිසක් සූදානමින් සිටින බවට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විශ්වාස කරනවා. ක්‍රීඩකයින් තෝරා ගැනීමේ තරග දිවයින පුරා සංවිධානය කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සැලසුම් කර තිබෙන බව වාර්තා වනවා.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<