ඉන්දියානු වේගපන්දුවේ බලාපොරොත්තු බිඳ වැටේ!

ඉන්දියානු කණ්ඩායමේ ඕස්ට්‍රේලියා ටෙස්ට් තරග සංචාරය 2020/21

793

ඉන්දීය ටෙස්ට් කණ්ඩායමේ වේගපන්දු බලඇණිය සවිබලගන්වන ප්‍රබල පන්දු යවන්නෙකුගේ සේවය ඉදිරි තරග කිහිපය සඳහා අහිමි යාමේ වැඩි ඉඩකඩක් පවතින බව ඉන්දීය කණ්ඩායම් කළමනාකාරිත්වය විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන්කොට තිබේ.

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර මේ දිනවල ක්‍රියාත්මක වන තරග හතරකින් සමන්විත බෝර්ඩර්-ගවස්කාර් ටෙස්ට් තරගාවලිය ආරම්භ කරමින් පැවති පළමු තරගයෙන් විශිෂ්ට ජයක් අත්පත් කරගැනීමට Tim Paine ප්‍රමුඛ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයින් ඊයේ (19) දිනයේ දී සමත් විය. දිවා රාත්‍රී ටෙස්ට් තරගයක් ලෙසින් පැවති එම තරගයේ ජය තහවුරු කරගැනීම සඳහා ඕස්ට්‍රේලියා කණ්ඩායම හට වැය කිරීමට අවශ්‍ය වූයේ දින තුනක් පමණි. 

පළමු ඉනිමේ දී අත්පත්කරගත් වාසිදායක තත්වය ජයග්‍රහණයකට පරිවර්තනය කරගැනීමට තිබූ මහඟු අවස්ථාව ඉන්දීය පිතිකරුවන් අතින් ගිලිහී ගියේ ඔවුන් පන්දු තෝරා බේරාගනිමින් පහර එල්ල කිරීමේ දී දැක්වූ දුර්වලතාවන් නිසාවෙනි. 

එහි දී ඉන්දීය දෙවෙනි ඉනිමෙහි අවසන් කඩුල්ල සඳහා පිටියට පිවිසි Mohammad Shami හට වැඩි වේලාවක් කඩුල්ලෙහි රැඳී සිටීමට අවසර ලබා නොදුන් Pat Cummins තණතිරුවේ ඉපිලීම උපයෝගි කරගනිමින් වේගවත් බවුන්සර් පන්දු කිහිපයකින් සංග්‍රහ කිරීමට යුහුසුළු විය.

එහි දී Cummins විසින් එල්ල කළ වේගවත් බවුන්සර් පන්දුවක් Shamiගේ දකුණු බාහුවේ ගැටීමත් සමඟම ඔහු දැඩි වේදනාවකින් පෙළෙන ආකාරය පුනරූපනයන් ඔස්සේ දැකගැනීමට හැකි විය. ඒ අනුව වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඔහුව ක්‍රීඩා පිටියෙන් ඉවතට රැගෙන යාමට ඉන්දීය ක්‍රීඩා වෛද්‍ය නිළධාරීහු කටයුතු කළහ.

තවත් ක්‍රිකට් පුවත්:

ඉන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමෙන් අනතුරුව වෛද්‍යවරුන් විසින් හඳුනාගෙන තිබුණේ Shamiගේ දකුණු බාහුවේ වැලමිට අසලින් ඇති අස්ථිය බිඳීමකට ලක්ව ඇති බවයි. 

ආරංචි මාර්ග සඳහන් කරන පරිදි ආබාධයට ගොදුරු වූ අවස්ථාවේ දී Shami තම පිත්ත එසවීමට වෑයම් කළ ද එය සිදු කිරීමට නොහැකි වූයේ එම අනතුරෙහි ස්වභාවය ඉතාමත් සංකීර්ණ ස්වභාවයක් ගත් නිසාවෙන් බවයි.

තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේ දී Shamiගේ ආබාධයේ වත්මන් තත්වය සම්බන්ධයෙන් ඇසූ පැනයන්ට පිළිතුරු දෙමින් නායක Virat Kholi සඳහන්කොට සිටියේ අවසන් වෛද්‍ය වාර්තාවන් ලැබෙන තුරු නිශ්චිතවම ඒ පිළිබඳ යමක් සඳහන් කළ නොහැකි බවයි.

“Shamiගේ ආබාධය ගැන තාම හරි තොරතුරක් ලැබුණේ නැහැ. ඔහුව ස්කෑන් පරීක්ෂණයකට යොමු කරලයි තියෙන්නේ. රෝහලට යනකොටත් ඔහු ලොකු වේදනාවකින් තමයි හිටියේ. හවස් වෙනකොට හරියටම දැනගන්න පුළුවන් ඔහුට මොකද වෙලා තියෙන්නේ කියලා.”

තරගාවලියේ ඉදිරි තරග කිහිපය සඳහා Shamiගේ දායකත්වය ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම අපොහොසත් වුවහොත් ඔවුන් විශාල ගැටලුවකට මුහුණ පා හැකි බවත්, එය තරගාවලියේ තීරණය වෙනස් කිරීමට බලපෑ හැකි තීරණාත්මක සාධකයක් විය හැකි බවත් ප්‍රබල ඕස්ට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රීඩක Josh Hazlewood තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුව අතරතුර දී සඳහන් කර සිටියේය. 

“Shamiගේ අනතුර ඉන්දීය කණ්ඩායමට විශාල පාඩුවක්! ඔහුව ස්කෑන් පරීක්ෂණයකට යොමු කරන්න නියමිතයි. අපිට දැනගන්න පුළුවන් වෙයි කොච්චරක් දුරකට ඔහුගේ අතට හානියක් සිදු වෙලා තියෙනවද කියලා. Shami කියන්න විශිෂ්ට වේගපන්දු යවන්නෙක්. ඒ ගැන විවාදයක් නැහැ මොකද ඔහු මේ තරගය පුරාවටත් පෙන්නුවා ඔහුට කරන්න පුළුවන් දේ.”

“ඉතින් Shami වෙනුවට ක්‍රීඩකයෙක් නම් කරන එක කණ්ඩායම් කළමනාකාරිත්වයට ලේසි වෙන එකක් නැහැ මොකද ඔහු වගේ මේ තණතීරුවල පන්දු යවලා අත්දැකීම් තියෙන දක්ෂ ක්‍රීඩකයෙක් ආදේශ කරන පහසු කටයුත්තක් නෙවෙයි.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<