SLTB, Marata City, St. Mary’s සහ Serendib වැඩ පෙන්වයි

ශූරයින්ගේ ලීග් පාපන්දු තරගාවලිය 2022

215

ශූරයින්ගේ ලීග් පාපන්දු සංග්‍රාමයේ තෙවැනි සතිය අද (18) දිවයින පුරා විසිරුණු ක්‍රීඩාංගණ කිහිපයක දී ආරම්භ වුනා.

එම තරගවල දී SLTB, Marata City, St. Mary’s සහ Serendib කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කරන්නට සමත් වුනේ පිළිවෙළින් Crystal Palace, Pelicans, Super Sun සහ Moragasmulla ක්‍රීඩා සමාජ පරාජය කරමිනි.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ Crystal Palace FC

ගෝල 1-0ක් ලෙස ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල (SLTB) ක්‍රීඩකයින් ජයග්‍රහණය කරනු ලැබූ මෙම තරගය පැවතියේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දීයි.

තරගයේ වාර්තා වූ එකම ගෝලය පළමු අර්ධයේ දී වාර්තා වූ අතර ඊට හිමිකම් කීවේ SLTB ක්‍රීඩක Mohamed Nusri.

අවසන් ලකුණු තත්වය: ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය 1 – 0 Crystal Palace FC

ගෝල ලාභීන්:

  • SLTB – Mohamed Nusri (41’)

Pelicans SC සහ Matara City Club

මාතර ක්‍රීඩකයින් විසින් කුරුණෑගල මාලිගාපිටිය ක්‍රීඩාංගණයේ දී ගෝල 2-1ක් ලෙස Pelicans ක්‍රීඩකයින් පරාජය කරන්නට අද සමත් වුනා.

ඉතාමත් තියුණු මුහුණුවරක් ගත් පළමු අර්ධයේ අවසානයට ලං වන තෙක් කිසිදු ක්‍රීඩකයෙකු ගෝලයක් වාර්තා කරන්නට අපොහොසත් වුනත්, 42 වැනි මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ Pelicans ක්‍රීඩක Arumugan Sujeewan විසින් පන්දුව සාර්ථකව ගෝලය තුලට යොමු කළේ ගෝල 1-0ක් ලෙස පළමු අර්ධයේ වාසිය සිය කණ්ඩායම සතු කරමිනි.

ඉන් අනතුරුව දෙවැනි අර්ධයේ දී සාර්ථකව ප්‍රතිප්‍රහාර දියත් කළ මාතර ක්‍රීඩකයින් විසින් පිටිය ආක්‍රමණය කළ අතර එහි දී Larbi Prince විසින් 60 වැනි මිනිත්තුවේ දීත්, කේෂාන් දුමින්ද විසින් 68 වැනි මිනිත්තුවේ දී රැස් කළ ගෝල සමඟින් ගෝල 2-1ක් ලෙස තරගය නිමාව දුටුවේ මාතර ක්‍රීඩකයින් ජයග්‍රහණය කරමින්.

අවසන් ලකුණු තත්වය: Pelicans SC 1 -2 Matara City Club

  • Pelicans – Arumugan Sujeewan (42’)
  • Matara – Larbi Prince (60’), කේෂාන් දුමින්ද (68’)

St. Mary’s SC සහ Super Sun SC

යාපනය දොරේඅප්පා ක්‍රීඩාංගණයේ දී නිමා වූ මෙම තරගයේ දී ගෝල 4-2ක ජයග්‍රහණයක් වාර්තා කරන්නට St. Mary’s ක්‍රීඩකයින් සමත් වුනා.

තරගයට සාර්ථක ආරම්භයක් ලබා ගනිමින් St. Mary’s ක්‍රීඩක Anthony Jenirsan ප්‍රථම ගෝලය වාර්තා කළේ 15 වැනි මිනිත්තුවේ දීයි. ඉන් අනතුරුව නැවතත් 26 මිනිත්තුවේ දී ක්‍රියාත්මක වූ Anthony Elohor St. Mary’s ලකුණු පුවරුව දෙගුණ කරන්නට සමත් වුනා.

ප්‍රතිවාදීන් අභියෝගයට පිළිතුරු දෙන්නට Super Sun ක්‍රීඩකයින් ආරම්භ කළේ 37 වැනි මිනිත්තුවේ දීයි. හසිත ප්‍රියංකර විසින් වාර්තා කළ එම ගෝලයත් සමඟින් ප්‍රථම අර්ධය නිමාව දුටුවේ ගෝල 2-1ක් ලෙසයි.

දෙවැනි අර්ධයේ දී St. Mary’s ලකුණු පුවරුවට තවත් ගෝලයක් එක් කරන්නට Sebamalainayagam Gnanaruban සමත් වුනේ 71 වැනි මිනිත්තුවේ දීයි. ඉන් අනතුරුව Super Sun ලකුණු පුවරුව දෙගුණ කරමින් සිය දෙවැනි ගෝලය වාර්තා කරන්නට හසිත ප්‍රියංකර සමත් වුනා. ඒ 87 වැනි මිනිත්තුවේ දීයි.

කෙසේ නමුත් තරගය අවසාන වන්නට පෙර තවත් ගෝලයක් සිය කණ්ඩායමට එකතු කරන්න St. Mary’s ක්‍රීඩක Ponuththurai Ainesh සමත් වුනේ තරගයේ අතිරේක කාලයේ දීයි.

අවසන් ලකුණු තත්වය: St. Mary’s SC 4 – 2 Super Sun SC

ගෝල ලාභීන්:

  • Mary’s – Anthony Jenirsan (15’), Anthony Elohor (26’), Sebamalainayagam Gnanaruban (71’), Ponuththurai Ainesh (90+2)
  • Super Sun – හසිත ප්‍රියංකර (37’, 87’)

Serendib SC සහ Moragasmulla SC

තරගාවලියේ තෙවැනි සතියේ පළමු දිනයේ පැවති අවසන් තරගයෙන් ගෝල 3-0ක ජයග්‍රහණයක් වාර්තා කරන්නට Serendib ක්‍රීඩකයින් සමත් වුනා.

මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ ප්‍රථමයෙන් ගෝල රැස් කිරීම ආරම්භ කළේ Serendib ක්‍රීඩක Asante Evans විසිනි.

පළමු අර්ධයේ අවසානය වන තෙක් කිසිදු ගෝලයක් වාර්තා නොවු මෙම තරගයේ Evans විසින් 44 වැනි මිනිත්තුවේ දී වාර්තා කළ ප්‍රථම ගෝලයත් සමඟින් Mohamed Issadeen විසින් ළඟ ළඟ ගෝල දෙකක් වාර්තා කරන්නට සමත් වුනා. ඒ 45 වැනි මිනිත්තුවේ දී සහ 45+2 මිනිත්තුවල දීයි.

ගෝල 3-0ක් ලෙස ආරම්භ වූ දෙවැනි අර්ධයේ දී දෙපිලම ගෝල රැස් කරන්නට සමත් වුනේ නැහැ.

අවසන් ලකුණු තත්වය: Serendib SC 3 – 0 Moragasmulla SC

ගෝල ලාභීන්:

  • Serendib – Asante Evans (44’), Mohamed Issadeen (45’, 45+2’)

තෙවැනි සතියේ තවත් තරග කිහිපයක් හෙට පහත පරිදි පැවැත්වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම ඔබ වෙත සමීප කරන්නට ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<