Super Sun, SLTB, Serendib ජය ගනිද්දී එක් තරගයක් සමයි

ශූරයින්ගේ ලීග් පාපන්දු තරගාවලිය 2022

232

දිවයින පුරා විසිරුණු ක්‍රීඩාංගණ කිහිපයක දී ශූරයින්ගේ ලීග් පාපන්දු තරගාවලියේ දෙවැනි සතියේ තරග කිහිපයක් අද (11) සහ ඊයේ (10) පැවැත්වුනා. එහි දී Matara, Super Sun, SLTB, Serendib ක්‍රීඩකයින් ජයග්‍රහණ වාර්තා කරන්නට සමත් වුනා.

Matara City Club සහ ශ්‍රී ලංකා පොලිස්

මාතර කොටවිල ක්‍රීඩා පිටියේ දී පැවති මෙම තරගයෙන් ගෝල 3-2ක් ලෙස ජයග්‍රහණය වාර්තා කරන්නට සමත් වුනේ මාතර ක්‍රීඩකයින් විසිනුයි.

ඊයේ (10) පැවති මෙම තරගයේ ප්‍රථම ගෝලය වාර්තා කරන්නට මාතර ක්‍රීඩක Boadu Prince සමත් වුනේ 20 වැනි මිනිත්තුවේ දීයි. ඉන් අනතුරුව ඊට පෙරළා අභියෝග කරන්නට පොලිස් ක්‍රීඩකයින් සමත් වුනේ 33 වැනි මිනිත්තුවේ දීයි. Nabeel Sudar විසින් වාර්තා කළ එම ගෝලයත් සමඟින් එම අර්ධය අවසන් වුනේ ගෝල 1-1ක් ලෙසයි.

දෙවැනි අර්ධය ආරම්භ වී සිය කණ්ඩායමේ ලකුණු පුවරුව දෙගුණ කරන්නට මාතර ක්‍රීඩක කේෂාන් දුමින්ද සමත් වුනා. ඒ 59 වැනි මිනිත්තුවේ දීයි. ඉන් සුළු මොහොතකට පසුව පොලිස් ක්‍රීඩක හශික නවෝද විසින් අත්වැරදීමකින් Own Goal අවස්ථාවකින් ප්‍රතිවාදීන්ට ගෝලයක් ලබා දුන්නේ 62 වැනි මිනිත්තුවේ දීයි.

කෙසේ නමුත් ඉන්පසුව අතිරේක ක්‍රීඩකයෙකු ලෙස පිටියට පිවිසි Antony Thanujan පොලිස් ලකුණු පුවරුව දෙගුණ කළේ 68 වැනි මිනිත්තුවේ දීයි. ඒම ගෝලයට පසුව කණ්ඩායම් දෙකම ගෝල වාර්තා කරන්නට සමත් නොවූ අතර ගෝල 3-2ක් ලෙස තරගය ජය ගන්නට මාතර ක්‍රීඩකයින් සමත් වුනා.

අවසන් ලකුණු තත්වය: Matara City Club 3 -2 ශ්‍රී ලංකා පොලිස් ක්‍රීඩා සමාජය

ගෝල ලාභීන්:

  • Matara City – Boadu Prince (20’), කේශාන් දුමින්ද (59’), හශික නවෝද (62 OG)
  • පොලිස් – Nabeel Sudar (33’), Antony Thanujan (68’)

Super Sun SC සහ Saunders SC

අද (11) ගෝල 2-1ක් ලෙස ගාල්ල දිස්ත්‍රික් පාපන්දු ක්‍රීඩා සංකීර්ණයේ දී අවසන් වූ මෙම තරගයෙන් Saunders පරාජය කරමින් ජයග්‍රහණය වාර්තා කරන්නට Super Sun සමත් වුනා.

තරගයේ පළමු අර්ධය ගෝල 1-1ක් ලෙස සමව නිමා දුටු අතර තරගයේ ආරම්භක ගෝල පළමු මිනිත්තු 10 තුල වාර්තා කරන්නට Saunders ක්‍රීඩක පැතුම් ගිම්හාන සමත් වුනා. ඉන් අනතුරුව 26 වැනි මිනිත්තුවේ දී ලකුණු පුවරුව සම කරන්නට Super Sun ක්‍රීඩක හසිත ප්‍රියංකර සමත් වුනා.

දෙවැනි අර්ධයේ දී Saunders නායක ඉන්දීවර උදාර විසින් Own Goal අවස්ථාවකින් Super Sun කණ්ඩායමට ගෝලයක් ලබා දුන් අතර තරගය අවසන් වන තෙක් වෙනත් කිසිදු ගෝලයක් වාර්තා කරන්නට දෙපිලේම ක්‍රීඩකයින් අපොහොසත් වුනා.

අවසන් ලකුණු තත්වය: Super Sun SC 2 – 1 Saunders SC

ගෝල ලාභීන්:

  • Super Sun – ක්‍රීඩක හසිත ප්‍රියංකර (26’), ඉන්දීවර උදාර (36’ OG)
  • Saunders – පැතුම් ගිම්හාන (10’)

ශ්‍රී ලංකා ගමනාගමන ක්‍රීඩා සමාජය සහ St. Mary’s SC

කුරුණෑගල මාලිගාපිටිය ක්‍රීඩා පිටියේ දී අද (11) පැවති මෙම තරගයෙන් ජයග්‍රහණය වාර්තා කරන්නට ශ්‍රී ලංකා ගමනාගමන ක්‍රීඩා සමාජය (SLTB) නියෝජනය ක්‍රීඩකයින් සමත් වුනේ ගෝල 1-0ක් ලෙස St. Mary’s ක්‍රීඩකයින් පරාජය කරමිනුයි.

ගෝල රහිතය අවසන් වූ පළමු අර්ධයෙන් පසුව තරගයේ වාර්තා වූ එකම ගෝලයට හිමිකම් කීවේ Sivaraja Krishanthan විසිනුයි. ඒ තරගයේ 55 වැනි මිනිත්තුවේ දීයි.

අවසන් ලකුණු තත්වය: ශ්‍රී ලංකා ගමනාගමන ක්‍රීඩා සමාජය 1 – 0 St. Mary’s SC

ගෝල ලාභීන්:

  • ශ්‍රී ලංකා ගමනාගමන – Sivaraja Krishanthan (55’)

New Star SC සහ Serendib SC

කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී අද (11) පැවති මෙම තරගයේ ජයග්‍රහණය හිමි වුනේ Serendib ක්‍රීඩා සමාජයටයි. ඔවුන් හමුවේ New Star පරාජය වුනේ 2-3ක් වශයෙනුයි.

පළමු ගෝල වාර්තා කරමින් ලකුණු පුවරුව ක්‍රියාත්මක කරන්නට Serendib ක්‍රීඩක Asante Evans සමත් වුනේ 11 වැනි මිනිත්තුවේ දීයි. ඉන්පසුව ඔහු විසින් ලකුණු පුවරු දෙගුණ කරන්නට සමත් වුනේ 14 වැනි මිනිත්තුවේ දී සාර්ථක කර ගත් දඬුවම් පහරත් සමඟිනුයි.

එයින් මිනිත්තු 5ක් යන්නටත් ප්‍රථම New Star ක්‍රීඩකයින් ද ලකුණු පුවරුව ක්‍රියාත්මක කළේ Mohamed Anas විසින් 17 වැනි මිනිත්තුවේ දී ලබා ගත් ගෝලයත් සමඟිනුයි. ඒ සමඟින් ප්‍රථම අර්ධය නිමා වුනේ ගෝල 2-1ක් ලෙස Serendib පෙරමුණ ගනිමිනුයි.

දෙවැනි අර්ධයේ දී Mohomed Issadeen විසින් Serendib කණ්ඩායමේ තෙවැනි ගෝල රැස්කළේ 75 වැනි මිනිත්තුවේ දීයි. තරගයේ නිමාවට පෙර New Star ක්‍රීඩක Ahmed Adil විසින් ගෝලයක් වාර්තා කරන්නට සමත් වුනත් තරගයේ ජයග්‍රහණය සඳහා එය ප්‍රමාණවත් වුනේ නැහැ.

අවසන් ලකුණු තත්වය: New Star SC 2 – 3 Serendib SC

ගෝල ලාභීන්:

  • New Star – Mohamed Anas (17’), Ahmed Adil (84’)
  • Serendib – Asante Evans (11’, 14’P), Mohomed Issadeen (75’)

Crystal Palace FC සහ Pelicans SC

දිනයේ ගෝල සමව අවසන් වූ මෙම තරගය අද (11) පැවැත්වුණේ මහනුවර බෝගම්බර ක්‍රීඩාංගණයේ දීයි.

තරගයේ සමාරම්භක ගෝලය Pelicans ක්‍රීඩක Jekumar Shanthan විසින් වාර්තා කළේ 8 වැනි මිනිත්තුවේ දී. එම ගෝලයෙන් පසුව කිසිදු ගෝලය ප්‍රථම අර්ධයේ දී වාර්තා නොවුන අතර දෙවැනි අර්ධයේ දී Crystal Palace ක්‍රීඩක Jimoh Ibrahim විසින් ලකුණු පුවරුම සම කළේ 75 වැනි මිනිත්තුවේ දීයි.

අවසන් ලකුණු තත්වය: Crystal Palace FC 1- 1 Pelicans SC

ගෝල ලාභීන්:

  • Crystal Palace – Jimoh Ibrahim (75’)
  • Pelicans – Jekumar Shanthan (8’)

2022 ශූරයින්ගේ ලීග් පාපන්දු තරගාවලියේ උණුසුම ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<