විස්සයි 20 ශූරතාව Old Dharmapalians දිනා ගනී

331

ශ්‍රි ලංකා ක්‍රිකට් සංවිධානය කළ අන්තර් ක්‍රීඩා සමාජ Tier B කොටසේ විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට Old Dharmapalians ක්‍රීඩා සමාජය සමත් වුනා.

වැලිසර නාවික හමුදා ක්‍රීඩා සමාජයීය පිටියේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් Old Dharmapalians නායකයා ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මොරටුව ක්‍රීඩා සමාජය කඩුලු 8ක් දැවී ලකුණු 120ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් Old Dharmapalians ක්‍රීඩකයෝ තවත් කඩුලු 3ක් ඉතිරිව තිබිය දී ලකුණු 121ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා.

අවසන් පූර්ව වටයේ දී Old Dharmapalians ක්‍රීඩකයෝ මහනුවර ක්‍රිකට් සමාජයට එරෙහි ව ලකුණු 20ක ජයක් ලබා ගනිමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගනිද්දී මොරටුව ක්‍රීඩකයන්ට සිදු වූයේ පළමු වටයේ ප්‍රසාද ලකුණු මතින් අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමටයි.

ලියෝ ක්‍රීඩා සමාජය සමඟ පැවැති ඔවුන්ගේ අවසන් පූර්ව තරගයට වර්ෂාව හරස් වීම හේතුවෙන් අවසන් මහා තරගයේ සුදුස්සන් ප්‍රසාද ලකුණු පුවරුවේ ලකුණු ලබා ගැනීමේ වේගය මත තීරණය වූවා. ඒ වෙද්දී ලියෝ ක්‍රිකට් සමාජය ලකුණු 0.640ක් ලබා සිටි අතර මොරටුව ක්‍රීඩා සමාජය ලකුණු 0.935ක් ලබා සිටියා. ඒ අනුව ඉදිරියෙන් සිටි මොරටුව ක්‍රීඩා සමාජය අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

මොරටුව ක්‍රීඩා සමාජය: අනුක් ද අල්විස් (නායක), සමිත ඩිල්ශාන්, අනුශ්ක සී. පෙරේරා, නිපුන් පීරිස්, සුමල්ක ප්‍රනාන්දු, ක්‍රිශේන් අපෝන්සු (කඩුලු රකින්නා), උමයංග සුවාරිස්, තේමිය ගුණරත්න, රවීන් පෙරේරා, යොහාන් පෙරේරා, සශික පෙරේරා.

Old Dharmapalians ක්‍රීඩා සමාජය: තරිඳු අමරතුංග (නායක), සජිත් ද සිල්වා, තිමිර මල්ෂාන්, ශානක සම්පත්, රවිඳු ලක්මාල්, නිමන් උමේෂ්, විමුද් සප්නක (කඩුලු රකින්නා), ජනිඳු ජයවර්ධන, ධනංජය එදිරිසිංහ, නිශාන් පෙරේරා, රුචිර සිල්වා.

අවසන් මහා තරගය

Tier B කොටසේ එක්දින ශූරයන් වූ මොරටු ක්‍රීඩකයෝ මෙම අවසන් මහා තරගයට පිවිසියේ වඩාත් විශ්වසනීය කණ්ඩායමක් සමඟින් වූව ද ඔවුන්ගේ ආරම්භය එතරම් ම සාර්ථක වූයේ නැහැ.

ඔවුන්ගේ පළමු කඩුලු ත්‍රිත්වය ලකුණු 27ක් තුළ හරවා යැවීමට Old Dharmapalians පන්දු යවන්නෝ සමත් වූවා. ඉන් කඩුලු 2ක් ම පළමු පන්දුවාර 2 තුළ දී ඔවුන් අහිමි කර ගත්තා.

කෙසේ වෙතත් සිවු වැනි කඩුල්ලේ දී සුමල්ක ප්‍රනාන්දු සහ ක්‍රිශේන් අපෝන්සු එක්ව ලකුණු පුවරුව 52ක් දක්වා රැගෙන ඒමට සමත් වූවා. එහි දී සුමල්ක ප්‍රනාන්දු පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 18ක් ලබා ගත්තා.

කෙසේ වෙතත් මොරටුව ක්‍රීඩා ඉනිමේ කඩා වැටීම සනිටුහන් වූයේ 14 වැනි පන්දුවාරයේදීයි. ජනිඳු ජයවර්ධන විසින් යැවුණ එම පන්දුවාරයේ දී මොරටුව ක්‍රීඩා සමාජයේ කඩුලු ත්‍රිත්වයක් අහිමි කර ගත්තා. ඒ අතර එතෙක් හොඳින් පන්දුවට පහර දෙමින් සිටි ක්‍රිශේන් අපෝන්සු ද වූවා. ඔහු දැවී යන විට පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 24ක් ලබා සිටියා.

ඉන් අනතුරුව යැවුණ පන්දු 37 දී තම කඩුලු ආරක්ෂා කර ගත් රවීන් පෙරේරා සහ යොහාන් පෙරේරා 9 වැනි කඩුල්ලට නොදැවුණු ලකුණු 48ක සබඳතාවක් එක් කළා. එහි දී රවින් පෙරේරා පන්දු 16කට මුහුණ දෙමින් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 21ක් ද සහ යොහාන් පෙරේරා පන්දු 22ක දී හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 26ක් ද ලබා ගත්තා.

පන්දු යැවීමේ දී ජනිඳු ජයවර්ධන ලකුණු 18කට කඩුලු 4ක් දවා ගත් අතර ශානක සම්පත්, රුචිර සිල්වා, තිමිර මල්ෂාන් සහ නිශාන් පෙරේරා කඩුල්ල බැගින් බෙදා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Old Dharmapalians ක්‍රීඩා සමාජයට ද ස්ථාවර ඉනිමක පෙරනිමිති පහළ වූයේ නැහැ. ඔවුන්ගේ පළමු කඩුල්ල ලකුණු 14 දී අහිමි වූවා. නමුත් 2 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 39ක දී ලකුණු 39ක සබඳතාවක් එක් කරමින් තරගයට අවතීර්ණ කර වීමට සජිත් ද සිල්වා සහ නායක තරිඳු අමරතුංග සමත් වූවා.

සජිත් ද සිල්වා පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 29ක් ලබා සිටිය දී එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටුණ අනතුරුව තරිඳු අමරතුංග ශානක සම්පත් සමඟ එක් වෙමින් පන්දු 13ක දී ලකුණු 27ක සබඳතාවක් එක් කළා.

තරිඳු අමරතුංග පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 34ක් ලබා ගත්තා. අනතුරුව ශානක සම්පත් ද ලකුණු 17කට තම ඉනිම අහවර කර ගත්තේ පන්දු 12ක දී හතරේ පහර 2ක් ද තම ඉනිමට එක් කරගෙන සිටියදීයි.

එතැන් සිට තරගයේ පාලනය දෙපැත්තට ම දෝලනය වෙමින් පැවැතිය ද අවසානයේ තරගය අවසන් වීමට තවත් පන්දු 4ක් ඉතිරි ව තිබිය දී මොරටු අභියෝගය ජය ගැනීමට Old Dharmapalians ක්‍රීඩකයෝ සමත් වූවා.

Old Dharmapalians ඉනිම පාලනය කිරීමේ දී නිපුන් පීරිස් ලකුණු 24කට කඩුලු 3ක් ද සහ නායක අනුක් ද අල්විස් ලකුණු 19කට කඩුලු 2ක් දවා ගත්තා.

අවසන් මහා තරගය, වැලිසර, 22, දෙසැම්බර් 2023, SLC Tier B T20 Tournament 2023

o ක්‍රීඩාංගණය – නාවික හමුදාව, වැලිසර.

o කාසියේ වාසිය – Old Dharmapalians ක්‍රීඩා සමාජය

මොරටුව ක්‍රීඩා සමාජය – කඩුලු 8ක් දැවී 120 (20.0) සුමල්ක ප්‍රනාන්දු 18, ක්‍රිශේන් අපෝන්සු 24, රවීන් පෙරේරා නොදැවී 21, යොහාන් පෙරේරා නොදැවී 26, ජනිඳු ජයවර්ධන 4/18

Old Dharmapalians ක්‍රීඩා සමාජය – කඩුලු 7ක් දැවී 121 (19.4) සජිත් ද සිල්වා 29, තරිඳු අමරතුංග 34, ශානක සම්පත් 17, අනුක් ද අල්විස් 2/19, නිපුන් පීරිස් 3/24

Old Dharmapalians ක්‍රීඩා සමාජයට කඩුලු 3ක ජයක්.

තරගාවලියේ සම්මාන බෙදී ගිය ආකාරය,

  • තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා – මංගල ප්‍රදීප් (ලියෝ ක්‍රිකට් සමාජය)
  • තරගාවලියේ දක්ෂතම පිතිකරු – කළණ මධුශංක (මැලේ ක්‍රිකට් සමාජය)
  • තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා – හරීන් වීරසිංහ (සිංහ ක්‍රීඩා සමාජය)
  • අවසන් තරගයේ වීරයා – ජනිඳු ජයවර්ධන (Old Dharmapalians ක්‍රීඩා සමාජය)

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ පිටියේ සියලු උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<