චමරි අතපත්තු 2023 ICC කාන්තා විස්සයි විස්ස කණ්ඩායමට නම් කරයි

ICC Men's U19 Cricket World Cup 2024

127

ගෙවුණු 2023 වසරේ ජාත්‍යන්තර කාන්තා විස්සයි විස්ස පිටියේ විශිෂ්ට දස්කම් දැක්වූ ක්‍රීඩිකාවන් අතුරින් ICCය විසින් නම් කළ වසරේ විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වය ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු හට හිමි වී තිබෙනවා.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම විසින් ගෙවුණු වසර ඉතා විශිෂ්ට ලෙස නිම කිරීමට සමත් වූ අතර ඒ වෙනුවෙන් නායකත්වය ලබා දීමේ ගෞරවය චමරි හට හිමි වුනා.

මෙහි දී 2023 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානයේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව විශිෂ්ට ජයක් ලැබීමට චමරිගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් විසින් සමත් වූ අතර, එහි දී චමරිගේ පිත්තෙන් ලකුණු 68ක් වාර්තා වුනා.

පසුව නවසීලන්ත කාන්තා කණ්ඩායම ශ්‍රී ලංකාවේ සිදු කළ තරග සංචාරයේ දී පැවැත්වුණු විස්සයි විස්ස තරගාවලිය ශ්‍රී ලංකාව පරාජය වුවත්, තරගාවලියේ අවසන් තරගයේ දී චමරිගේ පිත්තෙන් එක් වූ ලකුණු 80ත් සමඟින් ශ්‍රී ලංකාව එම තරගය ජයග්‍රහණය කළා.

එමෙන්ම එංගලන්තයේ දී ම එංගලන්තය පරාජය කරමින් ඉතිහාසගත විස්සයි විස්ස තරගාවලි ජයග්‍රහණයක් කරා ශ්‍රී ලංකාව ‍රැගෙන යාමට ද චමරිගේ නායකත්වයට ගෙවුණු වසරේ දී හැකියාව ලැබුණා.

ගෙවුණු වසරේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විස්සයි විස්ස තරග 16ක් ක්‍රීඩා කළ චමරි 31.33ක පිතිකරණ සාමාන්‍යයක් ද සහිතව ලකුණු 470ක් ලබා ගැනීමට සමත් වූ අතර එහි දී ඇයගේ ප්‍රහාරාත්මක වේගය රැඳී තිබුණේ 130.91ක් වැනි ඉහල අගයකයි.

එමෙන්ම ඇය විසින් ගෙවුණු වසරේ පන්දු යැවීමෙන් ද කඩුලු 8 දවා ගැනීමට සමත් වුනා. මෙම සියලු දක්ෂතා නිසා 2023 වසරේ විස්සයි විස්ස ක්‍රීඩිකාව සඳහා ලබා දෙන ICC සම්මානය වෙනුවෙන් ද චමරිගේ නම නිර්දේශ අතරට එක් වුනා.

ICCය විසින් මෙම සියලු කරුණු කාරනා සලකා බලමින් චමරි ගෙවුණු වසරේ විස්සයි විස්ස කණ්ඩායමට නම් කිරීමට අමතරව එම කණ්ඩායමේ නායිකාව ලෙස ද තෝරා ගෙන තිබෙනවා.

චමරිගේ නායකත්වය යටතේ නම් කළ මෙම කණ්ඩායමට ගෙවුණු වසරේ ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ ඉහළම ලකුණු ලාභිනිය වූ කොදෙව් ක්‍රීඩිකා Hayley Matthews, වසරේ දෙවැනියට ඉහළම ලකුණු ලාභිනිය වූ දකුණු අප්‍රිකාවේ Laura Wolvaardt සහ තුන් ඉරියව්වෙන් ම කැපී පෙනෙන දස්කම් දැක්වීමට සමත් වූ නවසීලන්තයේ Amelia Kerr යන ක්‍රීඩිකාවන්ගේ නම් ද ඇතුළත් ව තිබෙනවා.

ICCය විසින් ප්‍රකාශයට පත් කළ 2023 වසරේ කාන්තා විස්සයි විස්ස කණ්ඩායම මෙසේයි;

චමරි අතපත්තු (නායිකා), Beth Mooney (ඕස්ට්‍රේලියාව), Laura Wolvaardt (දකුණු අප්‍රිකාව), Hayley Matthews (බටහිර ඉන්දීය කොදෙව්), Nat Sciver-Brunt (එංගලන්තය), Amelia Kerr (නවසීලන්තය), Ellyse Perry (ඕස්ට්‍රේලියාව), Ash Gardner (ඕස්ට්‍රේලියාව), Deepti Sharma (ඉන්දියාව), Sophie Ecclestone (එංගලන්තය) සහ Megan Schutt (එංගලන්තය)

දිනෙන් දින උණුසුම් වන ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ නැවුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<