යොවුන් ලෝක කුසලානයට පාර කියන පළමු තරගයට පෙර

169

15 වැනි යොවුන් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සහභාගී වෙන පළමු තරගය සිම්බාබ්වේ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට එරෙහිව හෙට (21) Kimberley හී Diamond Oval ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.   

මෙම තරගය සඳහා ශ්‍රී ලංකාව වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම එක් වෙන්නේ පැවැති පුහුණු තරග 2න් ඉන්දියාව හමුවේ ලත් පරාජයක් සහ බංග්ලාදේශය හමුවේ ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලත් ලකුණු 112ක ජයග්‍රහණයක් ද සමඟයි.  

නමුත් තරගාවලියට පෙර පැවැති පළමු පුහුණු තරග 2 දී ම ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ජයග්‍රහණය කිරීමට සිම්බාබ්වේ ක්‍රීඩකයෝ සමත් වෙමිනුයි මෙම තරගය හා එක් වෙන්නේ.   

පළමු පුහුණු තරගය 

  • අයර්ලන්තය – කඩුලු 9ක් දැවී 217 (50.0)
  • සිම්බාබ්වේ – කඩුලු 3ක් දැවී 167 (38.0)

සිම්බාබ්වේ කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 27ක ජයක්.  

දෙවැනි පුහුණු තරගය 

  • සිම්බාබ්වේ – කඩුලු 9ක් දැවී 136 (31.0)
  • ඇමෙරිකාවසියලුම දෙනා දැවී 124 (30.1)

සිම්බාබ්වේ කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 12ක ජයක්.  

යොවුන් ලෝක කුසලාන ඉතිහාසයේ දී සිම්බාබ්වේ ක්‍රීඩකයෝ ශ්‍රී ලංකාවට හමුවෙන තෙවැනි අවස්ථාව මෙයයි. මීට පෙර 1998 දී සහ 2018 දී පැවැති තරගමාලාවන් හී දි ඔවුනොවුන් හමුවු අවස්ථාවන් 2 දී ම ජයග්‍රහණය හිමි වූයේ ශ්‍රී ලංකාව වෙතයි.  

තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන Matthew Schonken ගේ නායකත්වයෙන් යුත් සිම්බාබ්වේ ක්‍රීඩකයෝ මෙම තරගාවලිය සඳහා සූදානම් වෙන්නේ මේ වසර ආරම්භයේ දී අයර්ලන්තය සමඟින් තරග 2කින් යුත් එක්දින තරගාවලියකට එක් වෙමින්. 

සිම්බාබ්වේ කණ්ඩායමේ සූදානම 

පළමු පුහුණු තරගයේ දී ම අර්ධ ශතකයක් ලබා ගනිමින් තමන් මෙම තරගාවලියට හොඳින් සූදානම් බැව් ආරම්භක දකුණත් පිතිකරු Ryan Kamwemba ඒත්තු ගැන් වූවා. ඊට අමතර ව ඉදිරි පෙළ පිතිකරුවෙක් ලෙසින් පිටියට පිවිසි Campbell Macmillan ද නොදැවී ලකුණු 49ක් ලබා ගනිමින් තමන් ද හොඳ සටන්කාමී පිතිකරුවෙක් යන විශ්වාසය තම කණ්ඩායම හමුවේ ප්‍රදර්ශනය කළා.  

එබැවින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වඩාත් අවධානය යොමු කළ යුතු ක්‍රීඩකයන් අතර මේ දෙදෙනා ඉහළින් ම රැදී සිටිනවා.  

දෙවැනි පුහුණු තරගයේ දී මේ කිසිවෙක් එතරම් විශාල ලකුණු අතරකට නොගියත් ඔවුන් විශ්වාසයෙන් යුතුව දක්ෂතා දැක් වීම කැපී පෙණුනා. එබැවින් මෙම තරගයේ දී තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩකයන් ලෙසින් නායක  Matthew Schonken, Ronak Patel සහ Matthew Schonken වෙත වැඩි විශ්වාසයක් තැබෙතැයි විශ්වාස කළ හැකියි.  

පිතිකරුවන් අතුරින් පෙර සඳහන් කළ Ryan Kamwemba සහ Campbell Macmillan ට අමතර ව Panashe Taruvinga සහ Nathaniel Hlabangana කෙරෙහි අවධානය යොමු කිරීම ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වඩාත් වාසි සහගත විය හැකියි. 

ප්‍රවේශම් විය යුතු පන්දු යවන්නන් ලෙසින් Anesu Kamuriwo, Kohl Eksteen සහ Brandon Sunguro විශේෂයෙන් ම හැඳින්විය හැකියි.  

තරගයට එක් වෙන සිම්බාබ්වේ කණ්ඩායමේ නායක Matthew Schonken සහ Panashe Taruvinga පෙර නිමා වූ 2022 ලෝක කුසලාන තරගාවලියට ද එක් ව අත්දැකීම් ලත් ක්‍රීඩකයන් ලෙසිනුයි හැඳින්වෙන්නේ.    

ශ්‍රී ලංකාව කණ්ඩායමට එරෙහිව නම් කෙරෙතැයි සිතෙන සිබ්බාබ්වේ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම:  

Matthew Schonken (නායක), Nathaniel Hlabangana, Ryan Kamwemba, Panashe Taruvinga (කඩුලු රකින්නා), Campbell Macmillan, Kohl Eksteen, Ronak Patel, Newman Nyamhuri, Brandon Sunguro, Ryan Simbi, Anesu Kamuriwo, Mashford Shungu / Calton Takawira. 

ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම 

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරගාවලිය සඳහා එක්වෙන්නේ මෙරට පැවැති ආසන්නත ම තරගාවලි 4 දී හොඳ පෙර පුහුණුවීමක් ලබා ගැනීමෙන් අනතුරුවයි. එසේ වූවත් ඔවුන් තරගාවලියට පෙර පැවැති පුහුණු තරග 2 අවසන් කරන්නේ 1-1ක් ලෙසයි.  

පළමු පුහුණු තරගය 

  • ශ්‍රී ලංකාව – කඩුලු 9ක් දැවී 238 (49.0)
  • බංග්ලාදේශය – කඩුලු 9ක් දැවී 119 (36.2) 

ශ්‍රී ලංකාවට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 112ක ජයක්.  

දෙවැනි පුහුණු තරගය 

  • ශ්‍රී ලංකාව – කඩුලු 9ක් දැවී 208 (50.0)
  • ඉන්දියාව – කඩුලු 3ක් දැවී 209 (41.2)

ඉන්දියාවට කඩුලු 7ක ජයක්.  

තරගාවලියට සහභාගී වූ කණ්ඩායම් සාමාජිකයන් අතුරින් වඩාත් බලාපොරොත්තු රැදී ක්‍රීඩයකයා බවට පත් වීමට පුලිඳු පෙරේරා සමත් ව තිබෙනවා. ඔහු නිමා කළ තරග 7ක දී ලකුණු 441ක් ලබා ගනිමින් දක්ෂතා දක්වා තිබෙන අතර එහි සාමාන්‍ය 119.18ක් ලෙසින් පවත්වා ගැනීමට ද සමත් වෙනවා.  

ඔහුට අමතර ව රූසඳ ගමගේ ද ඉදිරියෙන් ම සිටින පිතිකරුවෙක් ලෙසින් හැඳින්විය හැකියි. ඔහු නිමා කළ තරග 4ක දී ලකුණු 246ක් ලබා සිටින අතර එහි සාමාන්‍ය 82.27ක් ලෙසින් පවත්වා ගැනීමට සමත් වෙනවා.  

පන්දු යවන්නන් අතුරින් ගරුක සංකේත් නිමා වූ තරග 8ක කඩුලු 17ක් ලබා ගනිමින් ඉදිරියෙන් ම සිටින අතර දිනුර කළුපහන තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වමින් කඩුලු 12ක් ද ලබා ගනිමින් අවධානය දිනා සිටිනවා.  

ඔවුන්ට අමතර ව නායක සිනෙත් ජයවර්ධන, රවිශාන් ද සිල්වා සහ විශේන් හැළඹගේ ද පිතිකරුවන් ලෙසිනුත් සහ තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන්නන් ලෙසින් උප නායක මල්ෂ තරුපති සහ හිරුන් කපුරුබණ්ඩාර අද තරගයේ දී වඩාත් විශ්වාසවන්ත ලෙසින් කටයුතු කරනු ඇතැයි සිතිය හැකියි.  

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව නම් කෙරෙතැයි සිතෙන ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම: 

සිනෙත් ජයවර්ධන (නායක), පුලිඳු පෙරේරා, විශේන් හැළඹගේ, රවිශාන් ද සිල්වා, දිනුර කළුපහන, රූසඳ ගමගේ, ශාරුජන් ශම්මුගනාදන් (කඩුලු රකින්නා), මල්ෂ තරුපති, හිරුන් කපුරුබණ්ඩාර, විහස් තෙව්මික, ගරුක සංකෙත්. 

15 වැනි වයස අවුරුදු 19න් පහළ යොවුන් ලෝක කුසලාන තරගාවලියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමටThePapare.com සූදානම්, රැඳී සිටින්නThePapare.com සමඟින්.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<