පාකිස්තානුවෝ පළමු තරගය පහසුවෙන් ම ජය ගනී

Pakistan Women tour of Sri Lanka 2026

2
Cricket

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් පහසු ජයග්‍රහණයක් ලබා ගත් සංචාරක ක්‍රීඩිකාවෝ තරගාවලියේ 1-0ක් ලෙසින් පෙරමුණ ගත්තා.

හම්බන්තොට, සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී (23) පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායිකාව පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගනිමින් පිටියට පිවිස කඩුලු 9ක් දැවී ලකුණු 210ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි පාකිස්තාන ක්‍රීඩිකාවෝ තවත් පන්දු 42ක් ඉතිරි ව තිබිය දී කඩුලු 5ක් පමණක් දැවී ප්‍රතිවාදී ඉලක්කය සපුරා ගන්නවා.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම

 

චමරි අතපත්තු (නායිකාව), විශ්මි ගුණරත්න, හසිනි පෙරේරා, හර්ෂිතා සමරවික්‍රම, හංසිමා කරුණාරත්න, කවීෂා දිල්හාරි, නිලක්ෂිකා සිල්වා, මල්කි මදාරා, චේතනා විමුක්ති, ඉනෝකා රණවීර සහ නිමාෂා මීපගේ.

 

පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම

 

Fatima Sana (නායිකාව), Sadaf Shamas, Gull Feroza,  Sidra Amin, Ayesha Zafar, Muneeba Ali, Najiha Alvi (කඩුලු රකින්නිය), Syeda Aroob Shah, Nashra Sandhu, Umm-e-Hani සහ Tasmia Rubab.

ජයග්‍රාහී පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණුලාභිනිය වූයේ Gull Feroza. ඇය පන්දු 77කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සමඟින් ලකුණු 78ක් ලබා ගත්තා. ඊට අමතර ව Sidra Amin පන්දු 94කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 57ක් ලබා ගන්නවා. ඔවුන් දෙදෙනා එක් ව 2 වැනි කඩුල්ලට පන්දු 114ක දී ලකුණු 90ක සබඳතාවක් එක් කරනවා.

ඔවුන් දෙදෙනාට අමතර ව ඉනිම ජයග්‍රහණයෙන් අවසන් වෙද්දී Ayesha Zafar පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 27ක් ද සහ ආරම්භක පිතිකාරිනී Sadaf Shamas පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 20ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී කවීෂා දිල්හාරි ලකුණු 37කට කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව චමරි අතපත්තු, නිමාෂා මීපගේ සහ ඉනෝකා රණවිර කඩුල්ල බැගින් දවා ගත්තා.

පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තාවෝ සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට සමත් වෙනවා. ඉනිම ආරම්භ කළ විශ්මි ගුණරත්න සහ නායිකා චමරි අතපත්තු එක් ව පළමු කඩුල්ලට පන්දු 68ක දී ලකුණු 56ක සබඳතාවක් එක් කරනවා.

එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ විශ්මි ගුණරත්න ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඇය පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 28ක් ලබා සිටියා.

අනතුරු ව පිටියට පිවිසි හසිනි පෙරේරා එක් කර ගත් චමරි අතපත්තු 2 වැනි කඩුල්ලට පන්දු 75ක දී ලකුණු 53ක සබඳතාවක් ද එක් කරනවා. එහි දී ඉනිම හැර යන්නේ චමරි අතපත්තු. ඇය පන්දු 67කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 46ක් ලබා ගන්නවා.

හසිනි පෙරේරා ඉනිමේ 4 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 63කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 35ක් ලබා සිටියා.

ඉන් අනතුරු ව 5 වැනි කඩුල්ලට පන්දු 57ක දී ලකුණු 42ක් එක් කිරීමට කවීෂා දිල්හාරි සහ නිලක්ෂිකා සිල්වා ද සමත් වෙනවා. කවීෂා දිල්හාරි පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟන් ලකුණු 35කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා.

ශ්‍රී ලංකා ඉනිම අවසන් වෙද්දී නිලක්ෂිකා සිල්වා පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවි ලකුණු 46ක් ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී Nashra Sandhu ලකුණු 42කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරනවා. ඊට අමතර ව Tasmia Rubab කඩුලු 2ක් ද, Syeda Aroob Shah, Umm-e-Hani සහ Fatima Sana කඩුල්ල බැගින් දවා ගන්නවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 9ක් දැවී 210 (50.0) විශ්මි ගුණරත්න 28, චමරි අතපත්තු 46, හසිනි පෙරේරා 35, කවීෂා දිල්හාරි 35, නිලක්ෂිකා සිල්වා නොදැවී 46, Tasmia Rubab 2/34, Nashra Sandhu 3/42
  • පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම – කඩුලු 5ක් දැවී 211 (43.0) Sadaf Shamas 20, Gull Feroza 78, Sidra Amin 57, Ayesha Zafar 27, කවීෂා දිල්හාරි 2/37

පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායමට කඩුලු 5ක ජයක්.

තරගයේ වීරයා – Gull Feroza (පාකිස්තානය)

දෙරට අතර පැවැත්වෙන 2 වැනි තරගය හෙට (25)  මෙම ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.

පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ උණුසුම් තොරතුරු සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<