19න් පහළ ලෝක කුසලාන ඉතිහාසය

ICC Men's U19 Cricket World Cup

885

15 වැනි වරට පවත්වන 2024 වයස අවුරුදු 19 පහළ ක්‍රිකට් ලෝක කුසලානය කණ්ඩායම් 16ක සහභාගීත්වයෙන් එළඹෙන ජනවාරි 19 වැනි දා දකුණු අප්‍රිකාවේ දී ආරම්භ වීමට නියමිතයි.

1988 වර්ෂයේ දී පළමු වරට ආරම්භ වූ මෙම තරගාවලි ඉතිහාසයේ දී මෙතෙක් රටවල් හතක් ශූරතාව ජයග්‍රහණය කිරීමට සමත් වී තිබෙනවා.

ඉන්දියාව (5), ඕස්ට්‍රේලියාව (3), පාකිස්තානය (2), බංග්ලාදේශය (1), දකුණු අප්‍රිකාව (1), බටහිර ඉන්දීය කොදෙව් (1) සහ එංගලන්තය (1) මෙම කුසලානය ජයග්‍රහණය කරද්දී ශ්‍රී ලංකාව මෙතෙක් ඉතිහාසයේ දැක්වූ ඉහළම දක්ෂතාව සටහන් කිරීමට සමත් වුනේ 2000 වසරේ පැවැත්වුණු ලෝක කුසලානයේ දී එහි අනුශූරතාව ජයග්‍රහණය කරමිනුයි.

මෙම යොවුන් ලෝක කුසලානය මගින් පසුකාලීන ව ක්‍රිකට් පිටියේ පෙළහර පෑ සුපිරි තරු ගණනාවක් ලෝකයට හඳුන්වා දීමට ද සමත් වුනා.

මෙතෙක් පැවැත්වුණු ලෝක කුසලාන තරගාවලි 14 සහ එහි දී ලොව හමුවට ආ කැපී පෙනෙන ක්‍රීඩකයින් පිළිබඳ මතකය අවදි කිරීමක් පහතින්.

1988 – ශූරතාව – ඕස්ට්‍රේලියාව

කණ්ඩායම් අටක් සහභාගී වූ මෙම තරගාවලියට සත්කාරකත්වය ලබා දුන් ඕස්ට්‍රේලියාව විසින් පාකිස්තානය පරාජය කරමින් ශූරතාව ජයග්‍රහණය කළා.

ශ්‍රී ලංකාවට හිමි වුනේ 05 වැනි ස්ථානයයි.

  • ක්‍රිකට් පිටියේ කැපී පෙනුණු සුපිරි තරු: සනත් ජයසූරිය, Nasser Hussain, Michael Atherton, Brian Lara, Chris Cairns

1998 – ශූරතාව – එංගලන්තය

පළමු ලෝක කුසලානයෙන් වසර දහයක් ගෙවී යාමෙන් පසුව පැවැත්වුණු මෙම තරගාවලියේ ශූරතාව එංගලන්තය හිමි කර ගත්තේ නවසීලන්තය අනුශූරයින් බවට පත් කරවමිනුයි.

තරගාවලියේ ඉහළම ලකුණු ලාභියා ලෙස බටහිර ඉන්දීය කොදෙව් දේශයේ Chris Gayle නම සටහන් කර ගනිද්දී, තවත් සුපිරි කොදෙව් පිතිකරුවකු වූ Ramnaresh Sarwan තරගාවලියේ සම ඉහළම කඩුලු ලාභියා (සිම්බාබ්වේ ක්‍රීඩක Mluleki Nkala සමග කඩුලු 16 බැගින්) බවට පත් වුනා.

ශ්‍රී ලංකාවට හිමි වුනේ 06 වැනි ස්ථානයයි.

  • ක්‍රිකට් පිටියේ කැපී පෙනුණු සුපිරි තරු: Chris Gayle, Ramnaresh Sarwan, Shoaib Malik, Imran Tahir, Kyle Mills, Harbhajan Singh, Virender Sehwag, Graeme Swann

2000 – ශූරතාව – ඉන්දියාව

ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වුණු මෙම තරගාවලියේ අවසන් මහා තරගයේ දී ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව කඩුලු 6ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුනා.

තරගාවලියේ වීරයා ලෙස Yuvraj Singh තෝරා ගැනුණු අතර හිටපු දකුණු අප්‍රිකා නායක Graeme Smith තරගාවලියේ ඉහළම ලකුණු ලාභියා වීමට සමත් වුනා.

  • ක්‍රිකට් පිටියේ කැපී පෙනුණු සුපිරි තරු: Michael Clarke, Mitchell Johnson, Shane Watson, Ian Bell, Yuvraj Singh, Brendon McCullum, Graeme Smith, Jonathan Trott

2002 – ශූරතාව – ඕස්ට්‍රේලියාව

නවසීලන්තයේ පැවැත්වුණු මෙම තරගාවලියේ දී ඕස්ට්‍රේලියාව දෙවැනි වරටත් ලෝක ශූරයින් ලෙස කිරුළු දැරීමට සමත් වුනේ දකුණු අප්‍රිකාවට අනුශූරතාව හිමි කර දෙමිනුයි.

තරගාවලියේ වීරයා සම්මාන Tatenda Taibu හට හිමි වූ අතර ඕස්ට්‍රේලියානු නායක Cameron White තරගාවලියේ ඉහළම ලකුණු ලාභියා බවට පත් වුනා.

ශ්‍රී ලංකාවට හිමි වුනේ 08 වැනි ස්ථානයයි.

  • ක්‍රිකට් පිටියේ කැපී පෙනුණු සුපිරි තරු: උපුල් තරංග, Cameron White, George Bailey, Suresh Raina, Mashrafe Mortaza, Ross Taylor, Umar Gul, Hashim Amla , Daren Sammy, Dwayne Bravo

2004 – ශූරතාව – පාකිස්තානය

බංග්ලාදේශයේ පැවැත්වුණු මෙම තරගාවලියේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජය කළ පාකිස්තානය පළමු වරට ලෝක කුසලාන පහස ලැබීමට සමත් වුනා.

ඉන්දියාවේ Shikhar Dhawan තරගාවලියේ ඉහළම ලකුණු ලාභියා වෙමින් තරගාවලියේ වීරයා සම්මානය ද දිනා ගත්තා.

ශ්‍රී ලංකාවට හිමි වුනේ 05 වැනි ස්ථානයයි.

  • ක්‍රිකට් පිටියේ කැපී පෙනුණු සුපිරි තරු: ඇන්ජලෝ මැතිව්ස්, Alastair Cook, Shikhar Dhawan, Dinesh Karthik, Wahab Riaz, Eoin Morgan

2006 – ශූරතාව – පාකිස්තානය

දෙවන වරටත් ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වුණු මෙම තරගාවලියේ අවසන් මහා තරගයට ඉන්දියාව සහ පාකිස්තානය සුදුසුකම් ලබා ගත්තා.

මෙහි දී පාකිස්තානය විසින් ලකුණු 110ක ඉතා කුඩා ඉලක්කයක් ආරක්ෂා කර ගනිමින් ලෝක කුසලාන ඉතිහාසයේ නොකඩවඩා දෙවරක් ශූරතාව දිනාගත් පළමු සහ එකම කණ්ඩායම බවට ද පත් වුනා.

ඉන්දීය ක්‍රීඩක Cheteshwar Pujara තරගාවලියේ ඉහළම ලකුණු ලාභියා වෙමින් තරගාවලියේ වීරයා බවට ද පත් වුනා.

ශ්‍රී ලංකාවට හිමි වුනේ 06 වැනි ස්ථානයයි.

ක්‍රිකට් පිටියේ කැපී පෙනුණු සුපිරි තරු: Aaron Finch, Usman Khawaja, David Warner, Mushfiqur Rahim, Shakib Al Hassan, Tamim Iqbal, Moeen Ali, Cheteshwar Pujara, Rohit Sharma, Ravindra Jadeja, Tim Southee, Sarfaraz Ahmed, Dean Elgar, Sunil Narine, Kieron Pollard

2008 – ශූරතාව – ඉන්දියාව

සුපිරි ඉන්දීය ක්‍රීඩක Virat Kohliගේ නායකත්වය යටතේ ඉන්දියාව විසින් අවසන් මහා තරගයේ දී දකුණු අප්‍රිකාව පරාජය කරමින් දෙවැනි වරටත් ලෝක ශූරයින් බවට පත් වුනා.

මෙම තරගාවලියේ දී වත්මන් ක්‍රිකට් ලොව සුපිරිතම පිතිකරුවන් ලෙස සැලකුම් ලබන Virat Kohli, Kane Williamson සහ Steve Smith යන ක්‍රීඩකයින් තිදෙනා ම කළඑළි බැසීම විශේෂත්වයක්.

තරගාවලියේ වීරයා සම්මානය නවසීලන්තයේ Tim Southee හට හිමි වුනා.

ශ්‍රී ලංකාවට හිමි වුනේ 07 ස්ථානයයි.

  • ක්‍රිකට් පිටියේ කැපී පෙනුණු සුපිරි තරු: කුසල් ජනිත් පෙරේරා, Josh Hazelwood, Steve Smith, Chris Woakes, Virat Kohli, Kane Williamson, Shan Masood, Paul Stirling

2010 – ශූරතාව – ඕස්ට්‍රේලියාව

නවසීලන්තයේ පැවැත්වුණු මෙම තරගාවලියේ දී පාකිස්තානය පරාජය කිරීමට සමත් වූ ඕස්ට්‍රේලියාව තෙවන වරටත් ලෝක ශූරයින් බවට පත් වීමට සමත් වුනා.

ශ්‍රී ලංකාවට සිව් වැනි ස්ථානය* හිමි වුනා.

*. ශ්‍රී ලංකාව තරගාවලියේ අවසන් පූර්ව තරගයෙන් ඕස්ට්‍රේලියාව හමුවේ පරාජය වූ අතර පසුව තෙවන ස්ථානය සඳහා තරගයෙන් බටහිර ඉන්දීය කොදෙව්වන් හමුවේ පරාජය වුනා.

  • ක්‍රිකට් පිටියේ කැපී පෙනුණු සුපිරි තරු: Hashmatulla Shahidi, Jos Buttler, Joe Root, Ben Stokes, Babar Azam, KL Rahul, Mitchell Marsh, Adam Zampa, Jason Holder, Tom Latham

2012 – ශූරතාව – ඉන්දියාව

පළමු වරට ඕස්ට්‍රේලියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වුණු මෙම තරගාවලියේ දී ඉන්දියාව විසින් සත්කාරක දේශය පරාජය කරමින් තෙවන වරටත් ලෝක ශූරතාව ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

ශ්‍රී ලංකාවට හිමි වුනේ 09 වැනි ස්ථානයයි.

  • ක්‍රිකට් පිටියේ කැපී පෙනුණු සුපිරි තරු: Travis Head, Imam-ul-haq, Ish Sodhi, Akeal Hosein, Litton Das, Taskin Ahmed

2014 – ශූරතාව – දකුණු අප්‍රිකාව

පාකිස්තානය පරාජය කළ දකුණු අප්‍රිකාව විසින් ඩුබායි හිදි සිය මංගල ලෝක කුසලාන පහස විඳීමට සමත් වුනා.

මෙහි දී දකුණු අප්‍රිකානු කණ්ඩායම මෙහෙයවීමේ වගකීම දැරූ Adien Markram තරගාවලියේ වීරයා බවට පත් වීමට ද සමත් වීම විශේෂත්වයක්.

තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වීමට ශ්‍රී ලංකාවේ අනුක් ප්‍රනාන්දු සමත් වුනා.

ශ්‍රී ලංකාවට හිමි වුනේ 08 වැනි ස්ථානයි.

  • ක්‍රිකට් පිටියේ කැපී පෙනුණු සුපිරි තරු: කුසල් මෙන්ඩිස්, Shreyas Iyer, Kuldeep Yadav, Mustafizur Rahman, Adien Markram, Kagiso Rabada, Nicholas Pooran, Kyle Jamieson, Shimron Hetmeyer

2016 – ශූරතාව – බටහිර ඉන්දීය කොදෙව්

බංග්ලාදේශයේ පැවැත්වුණු මෙම තරගාවලියේ දී ඉන්දියාව පරාජය කල බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ශූරතාව ජයග්‍රහණය කළා.

බංග්ලාදේශයේ Mehidy Hasan තරගාවලියේ වීරයා බවට තේරී පත් වුනා.

ශ්‍රී ලංකාවට සිව් වැනි ස්ථානය* හිමි වුනා.

*.තරගාවලියේ අවසන් පූර්ව තරගයේ දී ඉන්දියාව හමුවේ පරාජය වූ ශ්‍රී ලංකාව තෙවන ස්ථානය වෙනුවෙන් පැවැත්වුණු තරගයේ දී බංග්ලාදේශය හමුවේ පරාජය වුනා.

  • ක්‍රිකට් පිටියේ කැපී පෙනුණු සුපිරි තරු: වනිඳු හසරංග, චරිත් අසලංක, Rashid Khan, Shadab Khan, Sam Curran, Alzarri Joshep, Rishab Pant, Glenn Phillips, Rachin Ravindra, Mehidy Hasan Miraz

2018 – ශූරතාව – ඉන්දියාව

තුන් වැනි වරටත් නවසීලන්තයේ සත්කාරකත්වයෙන් පැවැත්වුණු මෙම තරගාවලිය ජයග්‍රහණය කිරීමට ඉන්දියාව විසින් සමත් වුනේ ඕස්ට්‍රේලියාවට එරෙහිව අවසන් මහා තරගය ජයග්‍රහණය කරමිනුයි.

තරගාවලියේ වීරයා බවට ඉන්දියාවේ Shubman Gill තේරී පත් වුනා.

ශ්‍රී ලංකාවට හිමි වුනේ 09 වැනි ස්ථානයයි.

  • ක්‍රිකට් පිටියේ කැපී පෙනුණු සුපිරි තරු: Gerald Coetzee, Shubman Gill, Towhid Hridoy, Harry Brook, Naveen-ul-Haq, Rahmanullah Gurbaz, Shaheen Afridi, Mujeeb Ur Rahman

2020 – ශූරතාව – බංග්ලාදේශය

තරගාවලිය පුරාවට ප්‍රබල දස්කම් දැක්වූ ඉන්දීය කණ්ඩායම පරාජය කරමින් මෙම තරගාවලියේ ශූරතාව හිමි කර ගැනීමට බංග්ලාදේශය විසින් සමත් වුනා.

තරගාවලියේ ඉහළම ලකුණු ලාභියා වෙමින් තරගාවලියේ වීරයා බවට පත් වීමට ඉන්දියාවේ Yashasvi Jaiswalට හැකියාව ලැබුණා.

ශ්‍රී ලංකාවට හිමි වුනේ 10 වැනි ස්ථානයයි.

  • ක්‍රිකට් පිටියේ කැපී පෙනුණු සුපිරි තරු: මතීෂ පතිරණ, Noor Ahmad, Yashasvi Jaiswal, Ravi Bishnoi, Jayden Seals

2022 – ශූරතාව – ඉන්දියාව

එංගලන්තය පරාජය කල ඉන්දීය කණ්ඩායම පස් වැනි වරටත් ලෝක ශූරයින් බවට පත් වුනා.

මෙම තරගාවලියේ දී ඇෆ්ගනිස්තානය විසින් ශ්‍රී ලංකාව පරාජය කරමින් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට සමත් වීමත් කැපී පෙනෙන සිදුවීමක් වුනා.

තරගාවලියේ ඉහළම ලකුණු ලාභියා වෙමින් තරගාවලියේ වීරයා සම්මානය ද තමන්ගේ කර ගැනීමට දකුණු අප්‍රිකාවේ Dewald Brevis විසින් සමත් වන අතරේ තරගාවලියේ ඉහළම කඩුලු ලාභියා වීමට ශ්‍රී ලංකා නායක දුනිත් වෙල්ලාලගේ විසින් සමත් වුනා.

ශ්‍රී ලංකාව තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයෙන් ඉවත් වෙමින් තරගාවලියේ 06 වැනි ස්ථානයට පත් වුනා.

  • ක්‍රිකට් පිටියේ කැපී පෙනුණු සුපිරි තරු: දුනිත් වෙල්ලාලගේ, Dewald Brevis, Rehan Ahmed

2024 වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානය පිළිබඳ සියලු උණුසුම් තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<