19න් පහළ ලෝක කුසලානයේ යොවුන් සිංහයන්ගේ සැමරුම්

ICC Men's U19 Cricket World Cup

218
ICC Men's U19 Cricket World Cup

15 වැනි වරටත් පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ යොවුන් ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය හෙට (19) දකුණු අප්‍රිකාවේ දී ආරම්භ වීමට නියමිතයි. දින 23ක් පුරා පැවැත්වෙන මෙම තරගාවලියට කණ්ඩායම් 16ක් කාණ්ඩ 4ක් යටතේ එකතු වෙන අතර තරගාවලිය තරග 41කින් සමන්විතයි.

තරගාවලියේ මංගල තරගය අයර්ලන්තය සහ ඇමෙරිකාව සමඟින් Bloemfontein හී, Mangaung Oval පිටියේ දී පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව C කාණ්ඩයෙන් එක් වෙන අතර ඔවුන්ගේ පළමු තරගය මේ මස 21 වැනිදා සිම්බාබ්වේ සමඟින් පැවැත්වෙනවා.  ඔවුන් සහභාගී වන 2 වැනි තරගය ජනවාරි 24 වැනිදා නැමීබියාව සමඟින් පැවැත්වෙන අතර තෙවැනි තරගය ජනවාරි මස 28 වැනිදා ඔස්ට්‍රේලියාව සමඟ ද පැවැත්වීමට නියමිතයි.

නිමාවට පත් වූ යොවුන් ලෝක කුසලාන තරග වාර්තා අතරට මෙරටින් මේ දක්වා එක් ව සිටින එක ම ක්‍රීඩකයා වන්නේ හසිත බෝයගොඩ. ඔහු 2018 ලෝක කුසලානයේ දී කෙන්යාවට එරෙහිව පන්දු 152ක දී ලකුණු 191ක් වාර්තා කරන ලද අතර එය එතෙක් මෙතෙක් ලෝක කුසලාන ඉතිහාසයක ක්‍රීඩකයෙක් විසින් වාර්තා කරන ලද ඉහළ ම පෞද්ගලික ලකුණු සංඛ්‍යාව වේ.

මීට අමතර ව 2014 වසරේ දී තරගාවලියේ වැඩිම කඩුලුලාභියා ලෙසින් අනුක් ප්‍රනාන්දු (15) ද සහ 2022 වසරේ තරගාවලියේ වැඩිම කඩුලුලාභියා ලෙසින් දුනිත් වෙල්ලාලගේ (17) ද ලෝක කුසලාන ඉතිහාසයට එක් වුණා.

ලෝක කුසලාන මෙරට ඉතිහාසයේ දක්ෂතම තුන් ඉරියව් ක්‍රීඩකයා බවට පත් ව සිටින්නේ ජීවන් මෙන්ඩිස්. ඔහු 2002 වසරේ දී මෙරට කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා මෙන් ම වැඩිම කඩුලුලාභියා ද වීමට සමත් වෙමින් මෙම ඉතිහාසයේ කැපී පෙණෙන ක්‍රීඩකයන් බවට පත් වුනා.

යොවුන් ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකා ගමන් මඟ
  වසර සත්කාරකත්වය ශ්‍රී ලංකා නායක Mat Won Lost Tie NR
1 1988 ඔස්ට්‍රේලියාව රොහාන් වීරක්කොඩි 7 3 4 0 0
2 1998 දකුණු අප්‍රිකාව ප්‍රදීප් හේවගේ 6 4 2 0 0
3 2000 ශ්‍රී ලංකාව මලින්ත ගජනායක 8 6 2 0 0
4 2002 නවසීලන්තය ධම්මික නිරෝෂන 6 1 4 0 1
5 2004 බංග්ලාදේශය ෆර්වීස් මහරූෆ් 6 3 3 0 0
6 2006 ශ්‍රී ලංකාව ඇන්ජලෝ මැතිව්ස් 4 2 2 0 0
සමීර ද සොයිසා 2 1 1 0 0
7 2008 මැලේසියාව අශාන් ප්‍රියංජන් 5 3 2 0 0
8 2010 නවසීලන්තය චතුර පීරිස් 6 3 3 0 0
9 2012 ඔස්ට්‍රේලියාව සනිත ද මැල් 6 4 2 0 0
10 2014 UAE කුසල් මෙන්ඩිස් 6 3 3 0 0
11 2016 බංග්ලාදේශය චරිත් අසලංක 6 3 3 0 0
12 2018 නවසීලන්තය කමිඳු මෙන්ඩිස් 6 4 2 0 0
13 2020 දකුණු අප්‍රිකාව නිපුන් ධනංජය 6 3 3 0 0
14 2022 බ.ඉ. කොදෙව් දුනිත් වෙල්ලාලගේ 6 4 2 0 0

1: ශ්‍රී ලංකාව ලෝක කුසලාන ඉතිහාසයේ මංගල ජයග්‍රහණය ලබා ගන්නේ එංගලන්තයට එරෙහිවයි. ඒ 1988 පැවැති පළමු ලෝක කුසලානයේදී සිවු වැනි තරගයේදීයි. ඒ වෙද්දී ශ්‍රී ලංකාව පිළිවෙළින් නවසීලන්තය, පාකිස්තානය සහ ඔස්ට්‍රේලියාව හමුවේ පරාජය වී තිබුණා.

419/4 (50.0): ශ්‍රී ලංකාව වාර්තා කරන ලද වැඩිම ලකුණු 2018 වසරේ කෙන්යාවට එරෙහිව Lincoln හි දී. මෙය ලෝක කුසලාන ඉතිහාසයේ කණ්ඩායමක් ලබා ගත් වැඩිම ලකුණු අතර සිව්වැනි ස්ථානයට පත් දක්ෂතාවයයි.

365/3 (50.0): ශ්‍රී ලංකාවට එරෙහිව කණ්ඩායමක් ලබා ගන්නා ලද වැඩිම ලකුණු සංඛ්‍යාව 2020 දී පාකිස්තානය විසින් North Sound හි දී වාර්තා කරනවා .

114/10 (34.3): ශ්‍රී ලංකාව යොවුන් ලෝක කුසලානයේ දී මෙතෙක් අඩුම ලකුණු සංඛ්‍යාවකට දැවී ගොස් ඇත්තේ ඇෆ්ගනිස්තාන කණ්ඩායම හමුවේ. ඒ 2014 වසරේ ICCA 2 Dubai හි දී.

79/10 (27.3): ශ්‍රී ලංකාව විසින් ප්‍රතිවාදී කණ්ඩායමක් අඩුම ලකුණු ප්‍රමාණයකට සීමා කර ඇත්තේ නේපාල කණ්ඩායමයි. එය 2012 වසරේ Brisbane හි දී.

ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකා පිතිකරු දක්ෂතා අතර පළමු 5 දෙනා
  Player Year Mat Inns NO Runs HS Ave 100 50
1 ප්‍රදීප් හේවගේ 1998 6 6 3 316 83 105.33 0 3
2 හසිත බෝයගොඩ 2018 4 4 0 307 191 76.75 2 0
3 ඉයන් ඩැනියෙල් 2000 8 8 4 299 72* 74.75 0 2
4 රවිඳු රසාන්ත 2020 6 6 2 286 102* 71.50 1 1
5 චරිත් අසලංක 2016 6 6 0 276 76 46.00 0 3

316: ලෝක කුසලාන ඉතිහාසයේ මෙතෙක් එක් තරගාවලියක දී වැඩිම ලකුණු ලබා ගත් ක්‍රීඩකයා බවට පත්ව සිටින්නේ ප්‍රදීප් හේවගේ. ඔහු 1998 වසරේ දී දකුණු අප්‍රිකාවට (83), පාකිස්තානයට (80*) සහ සිම්බාබ්වේට (80*) එරෙහිව ලබා ගත් අර්ධ ශතක සමඟින් ලකුණු 316ක් ලබා ගන්නවා. එහි සාමාන්‍ය දැක් වුණේ 105.33ක් ලෙසයි.

50: ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකාව වෙනුවෙන් මංගල අර්ධ ශතකය වාර්තා කිරීමේ ගෞරවය හිමි වෙන්නේ චමින්ද මෙන්ඩිස් වෙත. ලෝක කුසලාන මංගල තරගාවලියේ දී ඔහු මෙම ඉනිම ක්‍රීඩා කරන්නේ පාකිස්තානයට එරෙහිවයි.

ශ්‍රී ලංකාවට එරෙහිව වාර්තා කරන ලද මංගල අර්ධ ශතකය පාකිස්තානයේ Zahoor Elahi විසින් එම තරගයේ දී ම ලබා ගන්නවා.

100: ශ්‍රී ලංකාව වෙනුවෙන් මංගල ශතකය වාර්තා වෙන්නේ 2012 වසරේ දී. ඒ සඳුන් වීරක්කොඩි විසින් අයර්ලන්තයට එරෙහිව Brisbane හි දී පන්දු 121කට මුහුණ දී හතරේ පහර 10ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලබා ගත් ලකුණු 112යි.

191: ලෝක කුසලාන ඉතිහාසයේ ඉනිමක වැඩිම ලකුණු ලබා ගන්නා ලද ශ්‍රී ලංකා ක්‍රීඩකයා වන්නේ හසිත බෝයගොඩ. ඔහු 2018 වසරේ දී කෙන්යා කණ්ඩායමට එරෙහිව Lincoln හී දී පන්දු 152කට මුහුණ දෙමින් හතරේ පහර 28ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 191ක් ලබා ගන්නවා.

එම තරගාවලියේ දී ම සහ එම ක්‍රීඩාංගණයේදී ම බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව නැවත ශතකයක් වාර්තා කළ හසිත බෝයගොඩ එක් තරගාවලියක දී ශතක 2ක් වාර්තා කළ එක ම ශ්‍රී ලාංකීය ක්‍රීඩකයා බවට ද පත් වුනා.

හසිත බෝයගොඩ 2018 දී තරගයේ වීරයා සම්මානය දිනා ගනිමින්...
හසිත බෝයගොඩ 2018 දී තරගයේ වීරයා සම්මානය දිනා ගනිමින්…

136: පාකිස්තානයේ Haseebullah Khan ශ්‍රී ලංකාවට එරෙහිව ඉනිමක දී වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාවේ හිමිකරු වූවා. 2022 North Sound හී Sir Vivian Richards ක්‍රීඩාංගණයේ දී ඔහු මෙම දක්ෂතාව දැක් වූවා.

100: ලෝක කුසලාන තරගවල දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 6 දෙනෙක් මෙතෙක් ශතක 7ක් වාර්තා කර තිබෙනවා. එසේ ශතක ලැබූවන් වන්නේ සඳුන් වීරක්කොඩි (2012 – අයර්ලන්තයට), හෂාන් දුමිඳු (2014 – එක්සත් අරාබි එමීර් රාජ්‍යයට), හසිත බෝයගොඩ (2018 – බටහිර ඉන්දීය කොදෙව්වන්ට සහ කෙන්යාවට), නිශාන් මධුශ්ක (2018 – සිම්බාබ්වේට), ධනංජය ලක්ෂාන් (2018 – අයර්ලන්තයට), රවිඳු රසාන්ත (2020 – නයිජීරියාවට) සහ දුනිත් වෙල්ලාලගේ (2022 – දකුණු අප්‍රිකාවට).

ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකා පන්දු යවන්නන් පෑ දක්ෂතා අතර පළමු 5 දෙනා
  Player Year M In Overs M Runs W Best Ave 5
1 දුනිත් වෙල්ලාලගේ 2022 6 6 55.0 3 231 17 5/27 13.58 2
2 ලහිරු මධුශංක 2012 6 6 36.5 3 130 15 6/24 8.66 1
3 අනුක් ප්‍රනාන්දු 2014 6 6 54.0 5 331 15 4/50 22.06 0
4 මාලිංග බණ්ඩාර 1998 6 6 53.0 1 185 14 4/20 13.21 0
5 චතුර පීරිස් 2010 6 6 47.0 10 173 13 5/25 13.30 1

17: ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකා පන්දු යවන්නෙක් එක් තරගාවලියක දී ලබා ගන්නා ලද වැඩිම කඩුලු සංඛ්‍යාවේ ලැයිස්තුවේ පළමු ස්ථානය හිමිකර ගෙන සිටින්නේ දුනිත් වෙල්ලාලගේ. ඔහුගේ මෙම දක්ෂතාවේ දී ස්කොට්ලන්තයට එරෙහිව ලකුණු 27කට කඩුලු 5ක් සහ ඔස්ට්‍රේලියාවට එරෙහිව ලකුණු 28කට කඩුලු 5ක් ද දවා ගනිමින් දක්ෂතා දක්වනවා.

7/19 (9.2): ශ්‍රී ලංකා පන්දු යවන්නෙක් යොවුන් ලෝක කුසලාන තරග ඉතිහාසයේ පෑ ඉහළ ම දක්ෂතාවේ හිමිකරු වන්නේ ජීවන් මෙන්ඩිස්. ඔහු සිම්බාබ්වේට එරෙහි ව 2002 වසරේ දී  Christchurch හි දී පෑ දක්ෂතාවයි මෙතෙක් මෙම ලැයිස්තුවේ පළමු ස්ථානයට පත් ව තිබෙන්නේ.

එය එම වසරේ ලෝක කුසලාන තරගාවලියේ පන්දු යවන්නෙක් පෑ ඉහළ ම දක්ෂතාව බවට ද පත් වූ අතර ලෝක කුසලාන ඉතිහාසයේ මෙතෙක් පන්දු යවන්නන් පෑ දක්ෂතා අතර තෙවැනි තැනට පත් දක්ෂතාව ද වුනා.

එම තරගාවලියේ දී ඔහු තරග 6කට සහභාගී වෙමින් පන්දුවාර 31.3ක් යවමින් ලකුණු 128කට කඩුලු 11ක් දවා ගනිමින් තරගාවලියේ මෙරට ක්‍රීඩකයෙක් පෑ ඉහළ ම දක්ෂතාව ද දැක් වූවා.

එමෙන් ම එම තරගාවලියේ දී පිතිකරුවෙක් ලෙසින් ද දක්ෂතා දක්වන ඔහු තරග 6ක දී අර්ධ ශතක 3ක් සමඟින් ලකුණු 260ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පිතිකරුවන් අතර පෙරමුණ ගැනීමට ද සමත් වූවා.

5/21 (7.0): ශ්‍රී ලංකාවට එරෙහිව හොඳම පන්දු යැවීම වාර්තා කරන්නේ 2020 වසරේ දී Lewis Goldsworthy හි දී, එංගලන්තයේ Lewis Goldsworthy පෑ දක්ෂතාවයි.

දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<