උඩින් බැට් කරන්න මමත් බලාගෙන ඉන්නවා – චන්දිමාල්

128

එක් දින තරගාවලියේ පළමුවැනි තරගයෙන් ලද පරාජයෙන් පසුව විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වූ දිනේෂ් චන්දිමාල් ඔහු ක්‍රීඩා කරන ස්ථානය පිළිබඳ ඇසූ පැනයකට පිළිතුරු දෙමින් කියා සිටියේ තමන් පාසල හා ක්‍රීඩා සමාජය නියෝජනය කරන විට අංක 3 – 4 ස්ථානවල ක්‍රීඩා කරන බවත් ජාතික කණ්ඩායමේත් එම ස්ථානවල ක්‍රීඩා කළ තමන්ට යළිත් එම ස්ථානය හිමිවේ යැයි බලාපොරොත්තුවෙන් සිටින බවත්ය.

නමුත් මේ අවස්ථාවේ කණ්ඩායමට අවශ්‍ය දේ තමන් කරමින් සිටින බව කී චන්දිමාල් පාකිස්තානය ඉතා හොඳින් ක්‍රීඩා කරන මෙවන් වකවානුවක ශ්‍රී ලංකා පිතිකරුවන්ගෙන් ලැබුණු මුළු ලකුණු ප්‍රමාණය 270ක් ඉක්මවා ගියේ නම් ප්‍රතිවාදීන්ට වැඩි පීඩනයක් එල්ල කිරීමට හැකිවන්නට ඉඩ තිබුණු බවද පැවැසීය. පසුගිය වසර එකහමාරක පමණ කාලය තුළ තමන්ට වැරැදුණු තැන් විශ්ලේෂණය කිරීමේදී සොයාගත් කරුණු ගැන විස්තර කළ චන්දිමාල් “මම මගේම ක්‍රීඩාවල විලාශයට අනුව ක්‍රීඩා නොකිරීමෙන් මට වැරැදුණා. මම ගොඩක් වෙලාවට තරගයේ ඒ මොහොතේ තත්ත්වය ගැන බලල ක්‍රීඩා කරන්න ගියා. දැන් මම දන්නවා මම ක්‍රීඩා කළ යුතු ආකාරය කුමක්ද කියලා” යනුවෙන් පැවැසීය.