සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ සත්කාරක පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වෙන තරග 3කින් යුත් විස්සයි විස්ස ජාත්‍යන්තර තරගාවලිය තවත් තරගයක් ඉතිරි ව තිබිය දී ම තරග 2-0ක් ලෙසින් පෙරමුණ ගැනීමට පාකිස්තානය සමත් වුණා.
Rawalpindi ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී (11දා) දෙරට අතර පැවැති 2 වැනි තරගයෙන් පාකිස්තාන ක්‍රීඩකයෝ ලකුණු 82ක ජයග්‍රහණයක් ලබා ගන්නවා.
කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි පාකිස්තාන ක්‍රීඩකයෝ කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 215ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ කඩුලු 7ක් දැවී ලකුණු 133ක් පමණයි.
කුසල් ගේ පළමු උත්සාහය අසාර්ථකයි
මෙම තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම එක් වෙන්නේ වෙනස්කම් ත්‍රිත්වයක් සිදු කරමිනුයි. ඒ පෙර තරගය හා එක් වූ කමිල් මිෂාර, දුනිත් වෙල්ලාලගේ සහ දුශ්මන්ත චමීර වෙනුවට සිනෙත් ජයවර්ධන, චමිඳු වික්‍රමසිංහ සහ බිනුර ප්‍රනාන්දු එක් කර ගනිමිනුයි. මේ අතුරින් සිනෙත් ජයවර්ධන ශ්‍රී ලංකා ජාතික විස්සයි විස්ස කණ්ඩයම හා එක් වූ පළමු අවස්ථාව මෙයයි.
පාකිස්තාන කණ්ඩායම ද මෙම තරගයට එක් වෙන්නේ වෙනස්කම් ද්විත්වයක් සිදු කරමින්. ඒ අනුව ඔවුන්ගේ කණ්ඩායමේ පෙර තරගය හා එක් වූ Razaullah සහ Naseem Shah වෙනුවට Shadab Khan සහ Salman Mirza එක් කර තිබුණා.
ශ්‍රී ලංකා කණ්ඩායම
කුසල් මෙන්ඩිස් (නායක සහ කඩුලු රකින්නා), ලහිරු උදාර, සිනෙත් ජයවර්ධන, කමිඳු මෙන්ඩිස්, සහන් ආරච්චිගේ, දසුන් ශානක, චමිඳු වික්‍රමසිංහ, මහීෂ් තීක්ෂණ, බිනුර ප්‍රනාන්දු, එශාන් මාලිංග සහ නුවන් තුෂාර.
පාකිස්තාන කණ්ඩායම
Sahibzada Farhan (නායක), Fakhar Zaman, Maaz Sadaqat, Hasan Nawaz, Saim Ayub, Shadab Khan, Khawaja Nafay (කඩුලු රකින්නා), Muhammad Imran, Salman Mirza සහ Abrar Ahmed.
පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි පාකිස්තාන ඉනිමේ සාර්ථක ලකුණු සබඳතාවන් ත්‍රිත්වයක් වාර්තා වුණා. ඒ අතුරින් ඉනිම ආරම්භ කළ Sahibzada Farhan සහ Fakhar Zaman එක් ව පළමු කඩුල්ලට පන්දු 41ක දී ලකුණු 55ක් ද, Sahibzada Farhan සහ Maaz Sadaqat එක් ව 2 වැනි කඩුල්ලට පන්දු 48ක දී ලකුණු 88ක් ද සහ Maaz Sadaqat සහ Hasan Nawaz එක් ව 3 වැනි කඩුල්ලට පන්දු 31ක දී ලකුණු 72ක සබඳතාවක් ද ගොඩ නගනවා.
එහි දී පාකිස්තාන ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ඉනිමේ අවසන් පන්දුවේ දී දැවී ගිය Maaz Sadaqat. 21 හැවිරිදි වියේ පසු වු මේ වමත් පිතිකරු දැවී යද්දී පන්දු 51ක දී හයේ පහර 7ක් සහ හතරේ පහර 6ක් සමඟින් ලකුණු 96ක් ලබා ගෙන සිටියා. එය ඔහුගේ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග පිටියේ ඉනිමක ඉහළ ම ලකුණු සබඳතාවයයි.
ඔහුට අමතර ව නායක Sahibzada Farhan මෙම තරගාවලියේ පිට පිට ලබා ගන්නා ලද 2 වැනි අර්ධ ශතකය මෙම තරගයේ දී වාර්තා කරනවා. ඔහු ඉනිමේ 2 වැනි කඩුල්ලට දැවී යන විට පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 73ක් ලබා සිටියා.
ඊට අමතර ව Fakhar Zaman පන්දු 17ක දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 22ක් ද සහ Hasan Nawaz පන්දු 9ක දී හයේ පහරක් සහ හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 19ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී දසුන් ශානක, එශාන් මාලිංග සහ මහීෂ් තීක්ෂණ කඩුල්ලක් බැගින් දවා ගත්තා.
- සංජනා පාකිස්තානයටත් සැරට තලයි
- 17න් පහළ ක්‍රිකට් ක්‍රීඩකයෝ පාකිස්තාන සංචාරයට එක් වෙයි
- කුසල් මෙන්ඩිස්ට ටෙස්ට් කණ්ඩායමේ නායකත්වත්
- ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කණ්ඩායම ලෝකඩ පදක්කම දිනා ගනී
- Major Club විස්සයි විස්සෙන් සොයගත් මිණි කැට
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා ඉනිමේ සාර්ථක ම ලකුණු මෙහෙයුම වූයේ 7 වැනි කඩුල්ලට චමිඳු වික්‍රමසිංහ සහ මහීෂ් තීක්ෂණ එක් ව ගොඩ නැගූ ලකුණු 50ක සබඳතාවයි. පන්දු 42කින් එක් වූ එම ලකුණු සබඳතාව බිඳ වැටෙන්නේ චමිඳු වික්‍රමසිංහ ගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහු ඉනිම හැර යද්දී පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 29ක් ලබා සිටියා.
මහීෂ් තීක්ෂණ ශ්‍රී ලංකා ඉනිම අවසන් වෙද්දී පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 32ක් ලබා සිටියා.
ඊට අමතර ව කමිඳු මෙන්ඩිස් පන්දු 19ක දී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 23ක් ද සහ සිනෙත් ජයවර්ධන පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 22ක් ද ලබා ගත්තා.
ශ්‍රී ලංකා ඉනිමේ අනෙක් කිසිදු පිතිකරුවෙක්ට තනි ඉලක්කම පසු කර යෑමට නොහැකි වූ අතර එහි දී Mohammad Imran ලකුණු 11කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව Salman Mirza කඩුලු ද්විත්වයක් ද, Saim Ayub සහ Shadab Khan කඩුල්ල බැගින් ද දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- පාකිස්තානය – කඩුලු 3ක් දැවී 215 (20.0) Sahibzada Farhan 73, Fakhar Zaman 22, Maaz Sadaqat 96, Hasan Nawaz නොදැවී 19
- ශ්‍රී ලංකාව – කඩුලු 7ක් දැවී 133 (18.5) සිනෙත් ජයවර්ධන 22, කමිඳු මෙන්ඩිස් 23, චමිඳු වික්‍රමසිංහ 29, මහීෂ් තීක්ෂණ නොදැවී 32, Salman Mirza 2/28, Mohammad Imran 3/11
පාකිස්තාන කණ්ඩායමට ලකුණු 82ක ජයක්.
තරගයේ වීරයා – Maaz Sadaqat (පාකිස්තානය)
දෙරට අතර පැවැත්වෙන 3 වැනි සහ අවසන් විස්සයි විස්සයි ජාත්‍යන්තර තරගය මේ මස 13 වැනිදා මෙම ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරයේ උණුසුම ThePapare 1 සහ 1 HD (Dialog TV Ch. 62 සහ 126) සහ Dialog Play App හරහා විඳගත හැකියි.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















