භානුක නැවතත් අසාර්ථකයි!

PSL 2023

513
​bhanuka rajapaksa continuously fails

Pakistan Super League තරගාවලියේ පස්වැනි තරගය ඊයේ (17) රාත්‍රියේ පාකිස්තානයේ Multan ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී Multan Sultan සහ Peshawar Zalmi කණ්ඩායම් අතර පැවැත්වුණා.

එම තරගයට Peshawar Zalmi නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ භානුක රාජපක්ෂ ද ක්‍රීඩා කළ නමුත් එහි දී ද ඔහු සිය දස්කම් පෙන්වීමට සමත් වුනේ නැහැ.

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් Multan Sultan නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු තුනක් පමණක් දැවී ලකුණු 210ක් ලබා ගැනීමට සමත් වුනා.

එහි දී Multan වෙනුවෙන් නායක Mohommad Rizwan පන්දු 42කින් ලකුණු 66ක් ලබා ගත් අතර, Rilee Rossouw විසින් පන්දු 36කට පමණක් මුහුණ දෙමින් වේගවත් ලකුණු 75ක් රැස් කිරීමට සමත් වුනා.

පන්දු යැවීමේ දී Zalmi කණ්ඩායමේ පන්දු යවන්නන් පස් දෙනාම දැඩි ප්‍රහාරයකට බඳුන් වූ අතර Salman Irshad පමණක් තරමක් සාර්ථක පන්දු යැවීමක නිරත වුනේ multan ඉනිමේ කඩුලු 2ක් දවා ගනිමිනුයි.

පසුව සිය පිළිතුරු ඉනිම ලෙස දැවැන්ත ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි Peshawar Zalmi කණ්ඩායමට ශක්තිමත් මෙන්ම වේගවත් ආරම්භයක් ලබා දීමට යොවුන් පිතිකරුවන් දෙදෙනක් වන Mohammad Haris සහ Saim Ayub දෙපළ සමත් වුනේ පිළිවලින් ලකුණු 40ක් සහ 53ක් ලබා ගනිමිනුයි.

මෙහි දී Saim Ayubගේ පිතිකරණ රටාව තරග විස්තර විචාරකයින්ගේ විශේෂ ඇගයීමට පවා පාත්‍ර වුනා.

වරෙක ඔවුන් තමන්ට හිමි ඉලක්කය හඹා යමින් කඩුලු 3ක් දැවී ලකුණු 130ක් ලබා සාර්ථක පිතිකරණයක නියැලෙමින් සිටියත්, පසුව ඔවුන්ගේ ඉනිම පන්දුවාර 18 පන්දු 5ක් වන විට සියල්ලන් ම දැවී ලකුණු 154කට සීමා වුනා.

මෙහි දී භානුක රාජපක්ෂ කණ්ඩායමට අවශ්‍ය ම මොහොතේ දී නැවතත් අසාර්ථක වෙමින් එක් ලකුණකට දැවී ගියා.

නැවතත් Multan Sultan වෙනුවෙන් සාර්ථක පන්දු යැවීමක නිරත වුන Ihsanullah ලකුණු 24කට කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වුනා.

ඒ අනුව Peshawar Zalmi ලකුණු 56කින් පරාජය කළ Multan Sultan කණ්ඩායම PSL ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට ද සමත් වුනේ ක්‍රීඩා කළ තරග තුනෙන් තරග දෙකක් ජයග්‍රහණය කිරීමට සමත් වෙමිනුයි.

තරගාවලියේ හයවැනි තරගය අද (18) Karachi Kings සහ Quetta Gladiators කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිතයි.

PSL තරගාවලියේ සියලු තතුවිත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<