BCCI ෂර්මාව ඉල්ලා අස් කරවයි

303
Chetan Sharma
Courtesy - Menxp

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන් තරගවල දී යම් ශාරීරික උත්තේජකයක් භාවිතා කළ බව සඳහන් කළ ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති Chetan Sharmaට (චේතන් ෂර්මා) ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් ඉල්ලා අස්වීමට නියම කළ පසු ඔහු ඉල්ලා අස්වී තිබෙනවා.

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ තොරතුරු හෙළිදරව් කිරීම නිසා ඔහු ඔහුගේ කොන්ත්‍රාත්තුව කඩ කර ඇති බව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පැවසුවා. අද (17) උදෑසන ඔහු විසින් ඉල්ලා අස්වීමේ ලිපිය BCCI වෙත එවා ඇති අතර එවූ සැණින් එය භාරගෙන තිබෙනවා.

ඉන්දීය ක්‍රීඩකයන් ශාරීරික යෝග්‍යතාවය පවත්වා ගැනීම වෙනුවෙන් එන්නතක් භාවිතා කරන බව ඔහු විසින් ප්‍රසිද්ධ මාධ්‍යයක ප්‍රකාශ කළේ පසුගිය දිනක දීයි. එමෙන්ම විරාත් කෝලිගේ නායකත්වය අහිමි වීම සම්බන්ධයෙන් කෝලි ඉන්දීය ක්‍රිකට් සභාපති සෞරව් ගංගුලි හට දෝෂාරෝපණය එල්ල කිරීමට තැත් කළ බව ද ඔහු විසින් පවසා තිබුණා.

පස්දෙනෙකුගෙන් සමන්විතව තිබූ ඉන්දීය ක්‍රිකට් තේරීම් කමිටුව ෂර්මාගේ ඉවත් වීමත් සමඟ සිව්දෙනෙකු දක්වා පහළ බැස තිබෙනවා. Subroto Banerjee (සුබ්‍රෝතෝ බෙනර්ජි), Salil Ankola (සලීල් අන්කොලා), S Sharath (S.ශාරත්) සහ SS Das (ශිවසුන්දර් දාස්) ඉතිරි වූ සිව්දෙනායි.

17 හැවිරිදි වියේ දී ඉන්දීය ටෙස්ට් කණ්ඩායමට පැමිණි චේතන් ෂර්මා, 1985 ශ්‍රී ලංකා ටෙස්ට් සංචාරයේ ටෙස්ට් තරග 3ක දී කඩුලු 14ක් දවා ගැනීමට සමත් වූ ක්‍රීඩකයෙක්.

පසුගිය ජනවාරි මාසයේ දී තේරීම් කමිටු සභාපතීත්වය ලද ෂර්මා මසකින් අනතුරුව ඉල්ලා අස්වීම ඉන්දීය ක්‍රිකට් වලට කෙසේ බලපාවි ද? අපි බලා සිටිමු.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<