දෙවැනි කොටසේ ශූරතාව වික්‍රමශීලාවන්ට

U19 Girls Division ii Tournament 2023

95

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය, ශ්‍රී ලංකා ක්‍රිකට් සත්කාරයෙන් පවත්වන ලද වයස අවුරුදු 19න් පහළ අන්තර් පාසල් බාලිකා දෙවැනි කොටසේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ගිරිඋල්ල වික්‍රමශීලා ජාතික පාසල (23දා) සමත් වූවා.  

ඔවුන් සමඟින් අවසන් මහා තරගය සඳහා සහභාගී වූයේ අම්පාර උහන ජාතික පාසලයි. ගිරිඋල්ල වික්‍රමශීලා ජාතික පාසල් ක්‍රීඩාංගණයේ දී පැවැති එම තරගයෙන් වික්‍රමශීලා ක්‍රීඩිකාවෝ ලකුණු 12ක ජයග්‍රහණයක් ලබා ගන්නවා.   

  • වික්‍රමශීලා ජාතික පාසල් කණ්ඩායම: අශානි කෞෂල්‍යා (නායිකාව), පවනි චමෝද්‍යා, පුන්සරණි ප්‍රබෝධා (කඩුලු රකින්නිය), ඩිලංජි නිකේෂා, අයෝද්‍යා සෙව්වන්දි, හිරුණි ඉමේෂා, චමුදි භාග්‍යා, රිශ්මි ෂෙහාරා, දෙසඳි බිම්නරා, චමත්කා රත්නායක, සමිදි නවොද්‍යා. 
  • අතිරේක ක්‍රීඩිකාවන්: නුලත්මා හංසත්, සමදරි සත්සරණි, ඉෂානි ලක්ෂිකා, දුනිති තිසන්‍යා, දසුනි මතීෂා, සෙනුරි අයෝද්‍යා, නිමේෂා සෙව්වන්දි. 
  • නිලධාරීන්: ලක්මාලි නායකරත්න (ක්‍රිකට් භාර ආචාරිනී), ලාල් ජයසිංහ (ක්‍රීඩා භාර ආචාර්ය), අනුශ්ක ගමගේ (ප්‍රධනා පුහුණුකරු), හිරුණි මධුශිකා (සහාය පුහුණුකාරිනී), ඉමාෂා නිලක්ෂණා (සහාය පුහුණුකාරිනී), ඩී. ඩී. චන්ද්‍රසිරි (සහාය පුහුණුකරු).  
  • උහන ජාතික පාසල් කණ්ඩායම: දුලාංජලී ජයසිරි (නායිකාව) භාග්‍යා සෙනෙවිරත්න, සචිනි කෞෂල්‍යා, ගයනා ගුණතිලක (කඩුලු රකින්නිය), ප්‍රමුදි මෙත්සරා, මල්ශානි රත්නායක, දේවින්දි කෞෂල්‍යා ස්වර්ණමාලි, ලක්මින්දි ලියනගේ, සකිත්මා විජේරත්න, සඳුසි කවිශ්කා, උදේනි ලක්මාලි. 
  • අතිරේක ක්‍රීඩිකාවන්: ඩිල්ශානි වීරරත්න. 
  • නිලධාරීන්: ඩබ්ලිව්. එම්. ජී. ටී. වීරසිංහ (නියොජ්‍ය විදුහල්පති – ක්‍රීඩා), දමිත් රත්නවීර (පුහුණුකරු), රජිත මධුශංක (සහාය පුහුණුකරු). 

පළමු වටය අපරාජිතව අවසන් කරන වික්‍රමශීලා ක්‍රීඩිකාවෝ දෙවැනි වටයට පිවිසෙමින් එහි දී ගන්තිරියාගම, මහින්ද මහා විද්‍යාලය පරාජය කරමින් පෙර අර්ධ අවසන් පූර්ව වටයට පිවිසෙනවා. එම වටයේ දී ඔවුන් කොළඹ, ගෝතමි බාලිකා විද්‍යාලයට පරාජය කරන ලද අතර අර්ධ අවසන් පූර්ව වටයේ දී  සමන්පුර, මහා විද්‍යාලය පරාජය කරමින් එම කඩඉම ද පහසුවෙන් පසු කරනවා.  

තීරණාත්මක අවසන් පූර්ව වටයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වෙන්නේ මීගමුව, නිව්ස්ටඩ් බාලිකාවන් වන අතර ඔවුන් එම තරගය ද ජයග්‍රහණය කරමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නවා.  

උහන ජාතික පාසල් ක්‍රීඩිකාවෝ ද පළමු වටය නිමා කරන්නේ අපරාජිතව සිටිමින් වන අතර ඔවුන් දෙවැනි වටයේ දී අගලවත්ත, මිහිඳු ජාතික පාසල පරාජය කරමින් ඉදිරියට පිවිසෙනවා.  

ඒ අනුව පෙර අර්ධ අවසන් පූර්ව වටයේ දී කොළඹ, යශෝදරා විද්‍යාලය ද සහ අර්ධ අවසන් පූර්ව වටයේ දී ජයසිරිපුර, කනිශ්ඨ විද්‍යාලය ද පරාජය කරමින් අවසන් පූර්ව වටය දක්වා පිවිසෙනවා.  

තීරණාත්මක අවසන් පූර්ව වටයේ දී ඔවුන් විසින් මහමායා බාලිකා විද්‍යාලය පරාජය කරමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නවා.  

අවසන් මහා තරගය 

කාසියේ වාසිය දිනා ගත් උහන ජාතික පාසල් ක්‍රීඩිකාවන්ගේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි වික්‍රමශීලා ජාතික පාසල් ක්‍රීඩිකාවෝ කඩුලු 4ක් දැවී ලකුණු 178ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් උහන ජාතික පාසල් ක්‍රීඩිකාවන්ට රැස් කර ගත හැකි වූයේ කඩුලු 7ක් දැවී ලකුණු 166ක් පමණයි.  

වික්‍රමශීලා ක්‍රීඩිකාවන්ගේ ඉනිම වෙනුවෙන් නායිකා අශානි කෞෂල්‍යා පන්දු 60කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 66ක් ලබා ගත්තා. ඇය සහ ආරම්භක පිතිකාරිනිය ලෙසින් පිටියට පිවිසි පවනි චමෝද්‍යා එක් ව 2 වැනි කඩුල්ලට ලකුණු 118ක සබඳතාවක් එක් කරා.  

පවනි චමෝද්‍යා ලබා ගත් ලකුණු සංඛ්‍යාව 31ක්. ඊට පන්දු 54ක් වැය වූ අතර හතරේ පහර 4ක් ද එම ඉනිමට ඇතුලත් වුණා. ඊට අමතර ව ඩිලංජි නිකේශා පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 21ක් ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී දුලංජලී ජයසිරි, ප්‍රමුදි මෙත්සරා, මල්ශානි රත්නායක, සකිත්මා විජේරත්න කඩුල්ල බැගින් දවා ගත්තා.  

උහන ජාතික පාසල් ක්‍රීඩිකාවන්, වික්‍රමශීලාවන්ගේ අභියෝගය බාර ගනිමින් ගිය ගමනේ දී පළමු කඩුල්ලේ දී භාග්‍යා සෙනෙවිරත්න පන්දු 20ක දී ලකුණු 5ක් පමණක් රැස් කරගෙන සිටිය දී ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වූවා.  

ඉන් අනතුරුව පිටියට එක් වූ ගයනා ගුණතිලක සමඟ එක් වූ සචිනි කෞෂල්‍යා ලකුණු 66ක් දක්වා පළමු කඩුල්ලේ සබඳතාව රැගෙන ගියා. එහි දී සචිනි කෞෂල්‍යා පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සමඟින් ලකුණු 35ක් ලබා ගත්තා.  

ගයනා ගුණතිලකගේ ඉනිම පන්දු 25ක දී හතරේ පහර 2ක් සමඟින් ලකුණු 13කට සීමා වෙද්දී අනතුරුව පිටියට පිවිසි නායිකා දුලංජලී ජයසිරි ද ලබා ගත්තේ ලකුණු 14ක් පමණයි. ඇය ඊට පන්දු 11කට මුහුණ දුන් අතර හතරේ පහරක් සහ හයේ පහරක් ද ඊට එක් කළා.  

ඉන් අනතුරුව උහන ක්‍රීඩිකාවන්ගේ ලකුණු පුවරුවට ශක්තිමත් සබඳතාවක් එක් වූයේ සිවු වැනි කඩුල්ල වෙනුවෙනුයි. ඒ වෙනුවෙන් ප්‍රමුදි මෙත්සරා සහ මල්ෂානි රත්නායක එක් වූ අතර ඔවුන් දෙදෙනා ලකුණු 54ක සබඳතාවක් එක් කළා.  

මල්ෂානි රත්නායක පන්දු 13ක දී ලකුණු 9කට දැවී යද්දී ප්‍රමුද් මෙත්සරා පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 48ක් ලබා ගත්තා. එතැන් සිට අනෙක් පිතිකාරිනියන් කිසිවෙක්ට තමන් අභිබවා යෑමට තරමේ දක්ෂතා දැක් වීමට වික්‍රමශීලා පන්දු යවන්නියෝ ඉඩ ලබා දුන්නේ නැහැ. 

පන්දු යැවීමේ දී අයෝධ්‍යා සෙව්වන්දි ලකුණු 31කට කඩුලු 3ක් දවා ගනිමින් හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර අශානි කෞෂල්‍යා කඩුලු 2ක් ද, චමුදි භාග්‍යා සහ ඩිලංජි නිකේශා කඩුල්ලක් බැගින් ද බෙදා ගත්තා.  

අවසන් මහා තරගය, ගිරිඋල්ල, 23, දෙසැම්බර් 2023, U19 Girls Division ii Tournament 2023 

  • ක්‍රීඩාංගණය – වික්‍රමශීලා ජාතික පාසල, ගිරිඋල්ල 
  • කාසියේ වාසිය – උහන ජාතික පාසල 

වික්‍රමශීලා ජාතික පාසල – කඩුලු 4ක් දැවී 178 (25.0) පවනි චමෝද්‍යා 31, අශානි කෞෂල්‍යා 66, ඩිලංජි නිකේශා 21, දුලංජලී ජයසිරි 1/16 

උහන ජාතික පාසල – කඩුලු 7ක් දැවී 166 (25.0) සචිනි කෞෂල්‍යා 35, ප්‍රමුදි මෙත්සරා 48, අයෝද්‍යා සෙව්වන්දි 3/31, අශානි කෞෂල්‍යා 2/16 

වික්‍රමශීලා ජාතික පාසලට ලකුණු 12ක ජයක්.  

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ පිටියේ සියලු උණුසුම් පුවත් සඳහා රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<