වනිඳු තවදුරටත් Manchester Originals කණ්ඩායමේ රඳවා ගනී!

The Hundred 2023

6971

මේ වසරේ අගෝස්තු මාසයේ එංගලන්තයේ දී පැවැත්වීමට නියමිත The Hundred තරගාවලියේ කණ්ඩායම්වල තවදුරටත් රඳවා තබා ගන්නා (Retain) ක්‍රීඩක ලැයිස්තු ඊයේ (16) ප්‍රසිද්ධියට පත් කළා.

පසුගිය අඟහරුවාදා (14) රාත්‍රිය වන විට තම කණ්ඩායම්වල රඳවා තබා ගන්නා ක්‍රීඩක ලැයිස්තුව තරගාවලි සංවිධායකයින්ට ලබා දීමට නියමිත තිබූ අතර ඊට පෙර කණ්ඩායම් කළමනාකාරවරුන්, නායකයින් සහ ක්‍රීඩකයින් අතර සිදු වූ සාකච්ඡාවලින් පසුව ඔවුන් සිය තීරණ දැනුම් දී තිබුණා.

මෙහි දී කාන්තා සහ පිරිමි යන දෙඅංශයෙන්ම The Hundred තරගාවලිය පැවැත්වෙන අතර කාන්තා කණ්ඩායම් වලට ක්‍රීඩිකාවන් සිව් දෙනෙක් ඉදිරි තරගාවලිය සඳහා රඳවා තබා ගැනීමට අවස්ථාව හිමි වූ අතර, පිරිමි කණ්ඩායම් වලට එකඟ වූ වැටුප් පරාසයක් තුල ක්‍රීඩකයින් 10 දෙනෙකු දක්වා රඳවා තබා ගැනීමට අවකාශය හිමි වුනා.

ඒ අනුව මීට පෙර The Hundred තරග වාරය සඳහා Manchester Originals සමඟ එකතු වූ වනිඳු හසරංගව තව දුරටත් සිය කණ්ඩායමේ රඳවා තබා ගැනීමට කණ්ඩායම් කළමනාකාරිත්වය තීරණය කර තිබෙනවා.

2022 වසරේ පැවැත්වුණු The Hundred තරගාවලිය සඳහා ඔහුව Originals වෙත එක් කර ගත්ත ද, එවර තරගාවලියට සහභාගී වීමේ අවස්ථාව වනිඳු හට අහිමි වී ගියා. (එවකට පැවැත්වීමට නියමිත ව තිබූ ආසියානු කුසලානය සහ විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා සූදානම් වීමට අවශ්‍ය වීම නිසා.)

වනිඳුට අමතරව Liam Livingstone, Shadab Khan, Glenn Maxwell, Jos Buttler, Sunil Narine, Rashid Khan, Alex Hales වැනි නම ගිය ක්‍රීඩකයින් කිහිප දෙනෙක් ම සිය කණ්ඩායම්වල තව දුරටත් රඳවා තබා ගැනීමට කණ්ඩායම් කළමනාකාරිත්වයන් තීරණය කර තිබෙනවා.

ඒ අතරේම Andre Russell, Faf du Plessis, Marcus Stoinis, Adam Zampa වැනි ප්‍රසිද්ධ නම් රැසක් සිය කණ්ඩායම්වලින් මුදා හැරීමට ද කණ්ඩායම් විසින් තීරණය කර තිබෙනවා.

මෙවර තරගාවලිය සඳහා ක්‍රීඩකයින් තෝරා ගැනීමට අදාළ ව පවත්වන ක්‍රීඩක වෙන්දේසිය මාර්තු 23 වැනිදා පැවැත්වීමට නියමිත අතර, 2023 The Hundred තරගාවලිය අගෝස්තු පළමු වැනිදා සිට 27 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.

The Hundred තරගාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ESPN cricinfo ඇසුරිනි.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<