Maradonaගේ අමතක නොවන පාපන්දු මතක

203
Diego Maradona

පාපන්දු ක්‍රීඩාවේ එදා මෙදාතුර පහළ වූ සුවිශිෂ්ටතම ක්‍රීඩකයින් අතර ඉහළින්ම වැජඹෙන ආජන්ටිනාවේ Diego Maradona මුළු මහත් ලොවක් හඬවා සිය අවසන් ගමන් ගොස් අවසන් ය. 

පාපන්දු ක්‍රීඩා ඉතිහාසය තුළ බිහි වූ සුවිශිෂ්ටතම ක්‍රීඩකයා කවුරුන් ද යන්න පාපන්දු ලෝලීන් අතර පමණක් නොව පාපන්දු ක්‍රීඩකයින්, විශ්ලේෂකයින් මෙන්ම විස්තර විචාරකයින් අතර ද නිරන්තර වාද විවාදවලට තුඩු දෙන මාතුකාවකි. 

Pele, Johan Cruyff, Lionel Messi සහ Cristiano Ronaldo වැනි පාපන්දු පිටියේ ප්‍රබල පෙරළිකාරයින් සුළු දෙනෙකුගේ නාමයන් එහි දී නිතර සාකච්ඡාවට ලක්වෙද්දී මේ ගැන කතාබහ කරනු ලබන ඕනෑම කෙනෙකුගේ සිහියට නැඟෙන තවත් එක් නාමයක් වන්නේ පසුගිය දා මෙලොව හැරදා ගිය මුළු ආජන්ටිනාව පුරාවට ම දේවත්වයෙන් සලකනු ලබන Diego Maradona නාමය යි. 

අඩි 5’ 5”ක කුඩා ශරීරයකින් යුතු වුව ද ඔහුට ම ආවේණික වූ මනස්කාන්ත ක්‍රීඩා විලාශයකින් 80 සහ 90 දශකවල පාපන්දු පිටිය වර්ණවත් කළ Maradona 60 වැනි වියේ පසුවෙද්දී තම මව්රට වන ආජන්ටිනාවේ Tigre නගරයේ පිහිටි සිය නිවසේ දී පසුගිය දා ජීවිත සටනට සමු දුන්නේ හෘදයාබාධ තත්වයකට ගොදුරු වීමෙනි. කෙසේ නමුත් කාලයක් පුරාවට ම ඔහු පසුවූයේ අයහපත් සෞඛ්‍ය තත්වයෙන් පීඩා විඳිමිනි.  

Maradonaගේ ක්‍රීඩා විලාශය කෙතරම් අලංකාර ද යත් සිය ක්‍රීඩා දිවිය පුරාවට ම ඔහුව සැවොම හඳුන්වනු ලැබුවේ “El Pibe de Oro”, එසේත් නැත්නම් “The Golden Boy” යන අන්වර්ථ නාමයෙනි. 

ඒ අනුව ලෝක පූජිත පාපන්දු යුග පුරුෂයෙකුගේ නික්ම යාම සිදුව ඇති මොහොතක විශිෂ්ට මෙන්ම මතභේදාත්මක අවස්ථාවන්ගෙන් ද එක හා සමාන ලෙස පිරී තිබූ Maradonaගේ අද්විතීය පාපන්දු දිවියේ සුවිශේෂීම කඩඉම් 5ක් පිළිබඳව මතකය ආවර්ජනය කරන්නට අපි තීරණය කළෙමු. 

  1. 1979 වයස අවුරුදු 20න් පහළ පාපන්දු ලෝක කුසලාන ජයග්‍රහණය

Maradona පාපන්දු ලොව විශිෂ්ටතමයෙක් ලෙස ස්ථාපිත වන්නේ වෘත්තීය පාපන්දු ක්‍රීඩකයෙකු ලෙස ජ්‍යේෂ්ඨ කණ්ඩායම් සමඟ දැක්වූ කැපී පෙනෙන දක්‍ෂතා හරහා වුවත් ඔහු ලෝකයට තමන්ව හඳුන්වා දෙනු ලබන්නේ 1979 වසරේ ජපානයේ දී පැවති වයස අවුරුදු 20න් පහළ FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ දී. 

මෙම තරගාවලියට පෙර ආජන්ටිනාව සහ දකුණු ඇමෙරිකානු කලාපය හැරුණුකොට Maradona පිළිබඳව වෙනත් රටවල් වල වැඩි දෙනෙක් දැන නොසිටි අතර එය මෙම තරගාවලියේ අවසානය වන විට සම්පූර්ණයෙන් ම වෙනස් වන්නට වූයේ ඔහු අනාගතයේ දී පාපන්දු පිටියේ ප්‍රබලයෙක් වන ලක්ෂණ පෙන්නුම් කරන බව පාපන්දු ලෝකයම මෙහි දී අත්විඳීමත් සමඟයි.

Maradona 1979 වයස අවුරුදු 20න් පහළ FIFA පාපන්දු ලෝක කුසලාන තරගාවලිය අතරතුර (Source: www.fifa.com)

ඒ අනුව මෙම තරගාවලියට ක්‍රීඩා කරනු ලැබූ ආජන්ටිනා වයස අවුරුදු 20න් පහළ කණ්ඩායමට නායකත්වය ලබා දුන් Maradona තරගාවලිය පුරාවටම අඛණ්ඩව විශිෂ්ට දස්කම් දක්වමින් අපරාජිතව ඔවුන්ව තරගාවලියේ ශූරතාවය දක්වා රැගෙන යන්නට සමත් විය. 

Maradona එහි දී මැදපෙළ ක්‍රීඩකයෙකු ලෙස ක්‍රීඩා කරනු ලැබුවත් සමස්ත තරගාවලිය තුළ ඔහු ගෝල 6කට හිමිකම් කියනු ලැබීය. එමෙන්ම විශේෂයෙන් අර්ධ අවසන් පූර්ව සහ අවසන් පූර්ව වටවල දී මෙන්ම සෝවියට් සංගම් කණ්ඩායමට එරෙහිව ආජන්ටිනාව ගෝල 3-1ක් ලෙස ජයග්‍රහණය කරනු ලැබූ අවසන් මහා තරගයේ දී ද ඔහු ගෝල ලාභීන් අතරට එක්වීමට සමත් වීම මෙහි දී කැපී පෙනෙන්නට විය. 

ඒ අනුව Maradona තරගාවලිය පුරාවට සැවොම මවිතයට පත්කරමින් දැක්වූ විශිෂ්ට දක්ෂතා අගයමින් තරගාවලියේ වටිනාම ක්‍රීඩකයාට පිරිනැමෙන “Golden Ball” සම්මානයෙන් ද ඔහු ගෞරවයට පාත්‍ර වන්නට වූයේ යහපත් අනාගතයක පෙරනිමිති පහළ කරමිනි. 

මෙය ආජන්ටිනාව ජයග්‍රහණය කළ පළමු වයස අවුරුදු 20න් පහළ පාපන්දු ලෝක කුසලාන ශූරතාවය යි.

  1. ඉතාලියේ Napoli පාපන්දු සමාජය වෙනුවෙන් Maradona දැක්වූ දක්ෂතා

ස්පාඤ්ඤයේ FC Barcelona කණ්ඩායමේ සිට 1984 වසරේ දී Maradona ඉතාලියේ Napoli පාපන්දු සමාජය සමඟ එක්වන්නේ පවුම් මිලියන 6.9ක් වූ එකල ක්‍රීඩකයෙකු වෙනුවෙන් කණ්ඩායමක් වැය කළ ඉහළම මුදල තම නම ඉදිරියේ අඛණ්ඩව දෙවන වරටත් සටහන් කරගනිමිනි. ඒ ඊට පෙර 1982 වසරේ දී Barcelona විසින් ඔහුව මිලට ගැනීමේ දී ඒ වන විට වාර්තාගත මුදලක් වූ පවුම් මිලියන 5ක් ගෙවා තිබීමත් සමඟයි. 

කෙසේ හෝ ඔහු ඒ කාලයේ සිටි ප්‍රබලතම පාපන්දු ක්‍රීඩකයා බවට පත්වෙමින් සිය ක්‍රීඩා සමාජ පාපන්දු දිවියේ සාර්ථකම කාලය ගතකරන්නේ Napoli පාපන්දු සමාජය සමඟයි. අනෙක් පසින් Napoli කණ්ඩායමේ ඉතිහාසයේ ද සාර්ථකම යුගය ලෙස අවිවාදයෙන්ම ඕනෑම කෙනෙකු පිළිගනු ලබන්නේ Maradona ඔවුන් වෙනුවෙන් ක්‍රීඩා කළ වසර 7ක කාලය යි. 

ඔවුන් සමඟ Maradona එක්වන විට ඉතාලියේ පාපන්දු ආධිපත්‍ය පතුරුවා ගෙන සිටියේ එරට උතුරු හා මධ්‍යම කලාප නියෝජනය කළ Juventus, A.C. Milan, Inter Milan සහ AS Roma වැනි කණ්ඩායම් ය. ඒ අනුව ඒ වන තෙක් ඉතාලි අර්ධද්වීපයේ දකුණු කලාපය නියෝජනය කළ කිසිදු කණ්ඩායමක් Serie A ලීග් ශූරතාවයක් ජයග්‍රහණය කර තිබුණේ නැත. 

කෙසේ නමුත් Maradona විසින් Napoli සමඟ එක්ව කුඩා කාලයක් තුළ කණ්ඩායමේ නායකත්ව වගකීම් ද බාරගැනීමෙන් අනතුරුව ඉතාලියේ මෙන්ම Napoli පාපන්දු ඉතිහාසය ද සම්පූර්ණයෙන් ම වෙනස් වන්නට පටන් ගැනින.

Maradona ප්‍රමුඛ Napoli කණ්ඩායම 1989 UEFA Cup ශූරතාවය ජයග්‍රහණය කරමින් (Source: www.dailysabah.com)

ඒ අනුව Maradonaගේ සුපිරි දස්කම් හමුවේ 1986-87 තරග වාරයේ දී Napoli ඔවුන්ගේ ඉතිහාසයේ පළමු ලීග් කිරුළ ජයග්‍රහණය කරනු ලබන අතර අනතුරුව නැවතත් 1989-90 තරග වාරයේ දී ඔහු යළිත් කණ්ඩායමට එම ජයග්‍රහණය ම හිමිකර දෙන්නට සමත් වෙයි. 

අද වන තෙක්ම Napoli කණ්ඩායම ජයග්‍රහණය කර ඇත්තේ මෙම ලීග් කිරුළු දෙකක් පමණි. තවදුරටත් ඔවුන්ව තවත් Serie A තරග වාර 2ක අනුශූරතාවය කරා ද රැගෙන යන්නට සමත් විය. කෙසේ නමුත් ඔහු Napoli සමඟ වාර්තා කරගත් විශාල ම ජයග්‍රහණය වන්නේ 1989 UEFA Cup (වත්මන් UEFA Europa League තරගාවලිය) ශූරතාවය යි.  තවදුරටත් ඔහු Napoli සමඟින් 1987 Coppa Italia ශූරතාවය මෙන්ම 1989 Supercoppa Italiana ශූරතාවය ද ජයග්‍රහණය කරන්නට සමත් විය. 

මෙම කණ්ඩායම් ජයග්‍රහණ හමුවේ 1985 වසරේ දී ඔහුට Serie A තරගාවලියේ විශිෂ්ටතම ක්‍රීඩකයාට පිරිනැමෙන Guerin d’Oro සම්මානය ද ඇතුළුව Napoli කණ්ඩායම සමඟ ඔහුගේ කාලය තුළ තවත් සම්මාන රැසකින් ඔහු පිදුම් ලබා ඇත. 

මෙවන් දස්කම් හේතුවෙන් ඉතාලියේ Naples නුවර ජනතාව අදටත් Maradonaට සුවිශේෂී ගෞරවයක් දක්වනු ලබන අතර Napoli වෙනුවෙන් සිදු කළ ඉමහත් මෙහෙවර අගයමින් ඔහුගේ අංක 10 ජර්සිය ද ඔවුන්ගේ පාපන්දු සමාජයෙන් විශ්‍රාම ගන්වන්නට 2000 වසරේ දී තීරණය කරනු ලැබීය. 

එමෙන්ම ඔහුගේ අභාවයත් සමඟින් Napoli පසුගිය දා නිවේදනය කර සිටියේ ඔවුන්ගේ San Paolo ක්‍රීඩාංගණය Maradonaගේ නමින් නම් කිරීමට ඔවුන් තීරණය කළ බවයි.

  1. Hand of God

1986 ලෝක කුසලාන තරගාවලියේ දී සිදු වූ Hand of God නමින් ප්‍රචලිත වී ඇති මෙම සිදුවීම Maradonaගේ පාපන්දු දිවියේ අමතක නොවන මෙන්ම මතභේදාත්මක ම සිදුවීම් අතරින් එකකි. 

එම ලෝක කුසලාන තරගාවලියේ ආජන්ටිනාව සහ එංගලන්තය අතර පැවති අර්ධ අවසන් පූර්ව තරගයේ දී Maradona ඔහුගේ වම් අතෙන් ගෝලයක් වාර්තා කරගනු ලැබීය. එහි දී එංගලන්ත ක්‍රීඩක Steve Hodge අතින් සිදු වූ අත්වැරදීමක් හරහා පන්දුව ඉදිරියට යොමුවන්නට වූ අතර එය ආරක්ෂාකාරීව ඉවතට යොමුකිරීමට ඔවුන්ගේ ගෝල රකින ක්‍රීඩක Peter Shilton ඉදිරියට පැමිණීමේ දී Maradona ද එය ලබා ගන්නට ඒ දෙසට දිව යන්නට විය. 

අවසානයේ ඔවුන් දෙදෙනාම එකවර පන්දුව වෙත පැන සිටින්නට වූ නමුත් එහි දී Maradona ඉතා උපායශීලී ලෙස පන්දුවට සිය වම් අතෙන් පහරක් එල්ල කරමින් එය ගෝල රාමුව තුළට යොමුකරන්නට විය.

Maradonaගේ Hand of God ගෝලය (Source: en.as.com)

එංගලන්ත ක්‍රීඩකයින් එහි දී එය ‘handball’ අවස්ථාවක් ලෙස සංඥා කරන ලෙස ඉල්ලා සිටියත් විනිසුරුවරුන් හට ඒ අවස්ථාවේ දී දර්ශන පථය අවහිර වී තිබීමත් සමඟ එය ගෝලයක් ලෙස සංඥා කෙරෙන්නට විය. ඒ අනුව එම ගෝලයත් සමඟ ආජන්ටිනා ක්‍රීඩකයින් තරගයේ 51 වැනි මිනිත්තුවේ දී ගෝල 1-0ක් ලෙස එහි දී ඉදිරියට පැමිණෙන්නට සමත් විය. 

තරගයෙන් අනතුරුව එම ගෝලය පිළිබඳව අදහස් දක්වමින් Maradona ප්‍රකාශ කර සිටියේ එය “Maradonaගේ හිසෙන් කොටසකින් සහ දෙවියන්ගේ දෑතෙන් කොටසකින්” වාර්තා වූ ගෝලයක් වන බවයි. ඒ අනුව එතැන් පටන් එම ගෝලය Hand of God යනුවෙන් ප්‍රචලිත වන්නට විය. 

කෙසේ නමුත් මෙම සිදුවීම අදටත් එංගලන්ත පාපන්දු ලෝලීන් දැඩිව විවේචනයට ලක්කරනු ලබයි. 

  1. සියවසේ ගෝලය

Hand of God ගෝලයෙන් මිනිත්තු 4ක් වැනි සුළු කාලයක් ගත වූ තැන වාර්තා වන්නට වූයේ පාපන්දු ඉතිහාසයේ සියවසේ ගෝලයයි. තවත් සමහර අවස්ථාවන් වලදී මෙම ගෝලය පාපන්දු ක්‍රීඩා ඉතිහාසය තුළ වාර්තා වූ විශිෂ්ටතම තනි ගෝලය ලෙස ද හඳුන්වනු ලබයි. 

එම තරගයේම 55 වැනි මිනිත්තුවේ දී ආජන්ටිනා මැදපෙළ ක්‍රීඩක Hector Enrique විසින් ක්‍රීඩාංගණයේ ඔවුන්ගේ අන්තයේ දී පන්දුව Maradona වෙත බාර කිරීමෙන් අනතුරුව සිදු වූයේ කවුරුන් හෝ බලාපොරොත්තු නොවූ සිදුවීමකි. 

පන්දුව ලබා ගත් Maradona තත්පර 10ක් තුළ එංගලන්ත ක්‍රීඩකයින් සිව් දෙනෙක් ඉතා දක්‍ෂ ලෙස පසුකරමින් යාර 60ක දුරක් එය ඉදිරියට රැගෙන විත් ගෝල රකින ක්‍රීඩක Shiltonව ද උපායශීලීව රවටමින් පහසුවෙන් පන්දුව ගෝල රාමුව තුළට යොමු කරනු ලැබුවේ ලොව වටා පාපන්දු ලෝලීන් අමන්දානන්දයට පත්කරමිනි.

Maradona විසින් සියවසේ ගෝලය වාර්තා කරගැනීමට මොහොතකට පෙර (Source: www.cbssports.com)

මෙම ගෝලය Maradonaගේ දක්‍ෂතාවන් මනාව විදහා දක්වන්නට වූ අතර ඒ හරහා ආජන්ටිනාව මෙම තරගයෙන් ගෝල 2-1ක ජයක් හිමිකර ගනිමින් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් තහවුරු කරගන්නට ද සමත් විය. 

2002 වසරේ දී FIFA වෙබ් අඩවිය විසින් සිදු කරනු ලැබූ මත විමසීමක දී පාපන්දු ලෝලීන් බහුතරයක් මෙම ගෝලය සියවසේ ගෝලය ලෙස නම්කර තිබූ අතර ඒ අනුව Maradonaගේ මෙම ගෝලය පාපන්දු ලෝලීන්ගේ මතකය තුළ සදා අමරණීය වනු ඇති බවට කිසිදු සැකයක් නොමැත. 

තවත් කියවන්න;

  1. 1986 ලෝක කුසලාන ජයග්‍රහණය

ඕනෑම පාපන්දු ක්‍රීඩකයෙකු තුළ ඇති ප්‍රධාන ම සිහිනය මෙන්ම ලබා ගත හැකි විශාලතම ගෞරවය ද වන්නේ FIFA ලෝක කුසලානයක් ජයග්‍රහණය කිරීම යි. ඒ අනුව Maradona එම සිහිනය 1996 වසරේ දී සැබෑකර ගන්නට සමත් වන්නේ මිලියන සංඛ්‍යාත ආජන්ටිනා ජනතාවගේ ද සිහින මල්ඵල ගන්වමිනි. 

Maradonaගේ නාමය තරගාවලිය පුරාවට කතාබහට ලක්වූ, ඔහු කේන්ද්‍රගතව Hand of God සහ සියවසේ ගෝලය වැනි වැදගත් සිදුවීම් රාශියක් සිදු වූ මෙක්සිකෝවේ පැවති 1986 පාපන්දු ලෝක කුසලාන තරගාවලිය ඔහු අවසානයේ ඉතා සාර්ථකව නිමාවට පත්කරනු ලැබුවේ සිය රටට ඉතිහාසයේ ඔවුන්ගේ දෙවන පාපන්දු කිරුළ කරා නායකත්වය ලබා දෙමිනි. 

තරගාවලිය පුරාවට ඔහු ගෝල 5ක් වාර්තා කරගන්නට සමත් වූ අතර ඊට අමතරව ඔහුගේ නායකත්වය මෙන්ම සමස්ත ක්‍රීඩා විලාශය ද විශ්ලේෂකයින්ගේ ඉහළ පැසසුම්වලට ලක්වන්නට විය. 

එහි දී ආජන්ටිනාව තරගාවලියේ අර්ධ අවසන් පූර්ව මෙන්ම අවසන් පූර්ව වටවල දී ලබා ගත් සියලුම ගෝල Maradona විසින් වාර්තා කරගැනීම ද මෙහි දී කැපී පෙනෙන්නට විය.

Maradona 1986 FIFA පාපන්දු ලෝක කුසලාන කිරුළ ඔසවමින් (Source: www.heraldnet.com)

ඒ අනුව ඔහු තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩකයාට පිරිනැමෙන Golden Ball සම්මානයෙන් පිදුම් ලැබූ අතර ඔහුගේ මෙම දක්‍ෂතා සහ ජයග්‍රහණ හේතුවෙන් අදටත් ඔහුව ආජන්ටිනාව තුළ දේවත්වයෙන් සලකනු ලබයි. එතැන් පටන් මේ දක්වා ම තවමත් ආජන්ටිනාව පාපන්දු ලෝක කුසලානයක් ජයග්‍රහණය කිරීමට සමත්ව නොමැත. 

තවත් විශේෂාංග ලිපි;

කෙසේ නමුත් අනතුරුව පැවති 1990 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අනුශූරතාවය කරා ද ආජන්ටිනාව මෙහෙය වන්නට Maradona සමත් වුවත් එහි දී සිය සුපුරුදු දක්ෂතා අතරට එන්නට ඔහුට හැකි වූයේ නැත. 

ඔහුගේ මෙම විශිෂ්ට දක්‍ෂතා හේතුවෙන් Pele සමඟින් ඔහුව සම ජයග්‍රාහකයින් ලෙස 20 වැනි සියවසේ හොඳම පාපන්දු ක්‍රීඩකයින් ලෙස FIFA විසින් සම්මානයට පාත්‍ර වූ අතර තවදුරටත් 1995 වසරේ දී පාපන්දු ක්‍රීඩාවට සිදු කළ අගනා මෙහෙවර වෙනුවෙන් පිරිනැමෙන Ballon d’Or සම්මානයකින් ද ඔහුව පිදුම් ලබනු ලැබීය. 

ඒ අනුව Maradona මේ වන විට ලොවක් හඬවා අප අතරින් නික්ම ගොස් ඇතත් ඔහු පාපන්දු ක්‍රීඩා දිවිය පුරාවට ක්‍රීඩා පිටිය තුළ දැක්වූ ඒ මහා පෞරුෂය, මනස්කාන්ත ක්‍රීඩා විලාශය මෙන්ම ලබාගත් ජයග්‍රහණ ද සොඳුරු මතකයන් ලෙස ලොව පුරා පාපන්දු ලෝලීන්ගේ හදවත් තුළ සදා අමරණීය වනු ඇත.  

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<