යාපනය දොරෙඅප්පා ක්‍රීඩාංගණයට කෘතීම ධාවන පථයක්

184

නව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ යාපනය දිස්ත්‍රික් සංචාරයේ තවත් පියවරක් ලෙස අද (09) දින යාපනය දොරෙඅප්පා ක්‍රීඩාංගණයේ නිරීක්ෂණ චාරිකාවක නිරත විය. 

එහිදී ක්‍රීඩාංගණයේ පැවති බොහෝ අඩුපාඩු පිළිබඳව නිරීක්ෂණය කළ එතුමා ඉදිරි වසර 4 තුළදී එම ක්‍රීඩාංගණයේ පවතින මීටර් 400 ධාවන පථය රුපියල් මිලියන 210ක පමණ වියදමින් මංතීරු 6ක කෘතීම ධාවන පථයක් ලෙස වැඩි දියුණු කරන බවත් එම ක්‍රීඩාංගණයේ සහ අවට ක්‍රීඩාංගණයන්හි මහජන භාවිතය සඳහා එළිමහන් ශරීර සුවතා මධ්‍යස්ථාන ඉදිකරන බවත් ප්‍රකාශ කරන ලදි.

“අපි බලාපොරොත්තු වෙන ක්‍රීඩාවේ දියුණුව වෙනුවෙන් උතුරු පළාත තුළ දොරෙඅප්පා ක්‍රීඩාංගණය ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් වෙනවා. ඒ නිසා මෙම ක්‍රීඩාංගණය පාපන්දු ක්‍රීඩාංගණයක් ලෙස සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වනවා. ඒ වගේම ඉදිරියේ දී ශ්‍රී ලංකාව තුළ පාපන්දු ලීගයක් ආරම්භ කිරීමට ද බලාපොරොත්තුවෙන් පසුවෙනවා.” 

“ඒ වගේම ඉදිරි වසර හතර තුළ මේ ක්‍රීඩාංගණයේ මංතීරු 06ක කෘතීම ධාවන පථයක් ස්ථාපිත කරන්න සූදානම් වගේම මේ ක්‍රීඩාංගණය ඇතුළු අවට ක්‍රීඩාංගණයන් සියල්ලේම මහජනයා වෙනුවෙන් එළිමහන් ශරීර සුවතා මධ්‍යස්ථාන ද පිහිටුවීමට බලාපොරොත්තු වෙනවා.” යැයි එතුමා වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදි. 

මෙම අවස්ථාව සඳහා යාපනය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්, ග්‍රාමීය හා පාසල් යටිතල පහසුකම් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය තේනුක විතානගමගේ, යාපනය නගරාධිපති එමානුවෙල් ආනොල්ඩ් සහ ජාතික දැල්පන්දු ක්‍රීඩිකාවක වන නෙට්බෝල් ක්‍රීඩිකා තර්ජනී ශිවාලිංගම් ද සහභාගී වී තිබූ අතර ක්‍රීඩාංගණයේ කටයුතු නිරීක්ෂණය කිරීමෙන් පසු එතුමා විසින් පැසිපන්දු ක්‍රීඩා පිටිය ද නිරීක්ෂණය කරන ලදි. 

එමෙන්ම ක්‍රීඩා අමාත්‍යවරයා ඊයේ දින (08) යාපනය ප්‍රදේශයේ පිහිටවූ ජාතික තරුණ සේවා මධ්‍යස්ථානය විවෘත කිරීම සඳහා සහභාගී වූ අතර එහිදී එතුමා ප්‍රකාශ කර සිටියේ යාපනයේ ක්‍රිකට් සහ පාපන්දු ක්‍රීඩාංගණයන් ද්විත්වයක් ඉදිකිරීමට සූදානමින් පසුවන බවයි.

එම අවස්ථාවෙන් පසු සවස් වරුවේ යාපනය දිස්ත්‍රික් ක්‍රීඩා නිලධාරින් සහ සංවිධාන නියෝජිතයන් සමඟ පැවති රැස්වීමක දී අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ දිස්ත්‍රික්කයේ ක්‍රීඩා සංවර්ධනය සඳහා පස් අවුරුදු සැලැස්මක් තමන් සතුව ඇති බවයි. 

“දිස්ත්‍රික්කයේ ක්‍රීඩා සංවර්ධනය සඳහා පස් අවුරුදු සැලැස්මක් අප සූදානම් කර තියෙනවා. ඉදිරි වසර තුළදී පාසල් වල ක්‍රීඩා කටයුතු වැඩි දියුණු කිරීමට ප්‍රමුඛත්වය ලබා දීමට සූදානම් අතර ඒ සංවර්ධන කටයුතු වලින් අනතුරුව අනෙකුත් සංවර්ධන ක්‍රියාකාරකම් ඉදිරි වසරන් තුළදී ක්‍රියාත්මක කිරීමට සූදානමින් පසුවෙනවා.” 

“ඒ වගේම දිවයින පුරා ක්‍රීඩාංගණ 1000ක් වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතිය යටතේ සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකම පවතින ක්‍රීඩාංගණයන් ක්‍රීඩකයන්ට ක්‍රීඩා කිරීමට හැකි ප්‍රමිතියකට සංවර්ධනය කිරීමට නියමිතයි.” යැයි අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියා.

තවද යාපනය දිස්ත්‍රික්කයේ කබඩි, දැල්පන්දු සහ වොලිබෝල් ක්‍රීඩාංගණයන් පිහිටුවීමට සුදුසු ස්ථානයන් තෝරාගන්නා ලෙස ද ක්‍රීඩා අමාත්‍යවරයා විසින් එම නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටි අතර අමාත්‍යාංශය විසින් හැකි ඉක්මණින් එම ක්‍රීඩාංගණයන් නිර්මාණය කර ක්‍රීඩකයන් හට ලබාදෙන බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය. 

තවත් ක්‍රීඩා පුවත් කියවන්න: 

එම සාකච්ඡාවෙන් පසු යාපනය දිස්ත්‍රික් වොලිබෝල් සංගමයේ සභාපති රවී වර්මන්ගේ ඉල්ලීම් වලට සවන් දුන් ක්‍රීඩා අමාත්‍යවරයා යාපනය දිස්ත්‍රික්කය සඳහා සුදුසුකම් ලත් වොලිබෝල් පුහුණුකරුවෙකු පත්කිරීමට පියවර ගන්නා බවට ද පොරොන්දු විය. 

යාපනය දිස්ත්‍රික්කයේ ක්‍රීඩාවේ සංවර්ධනයට අවශ්‍ය මාතෘකා රැසක් පිළිබඳව සාකච්ඡාවට ගත් වත්මන් ක්‍රීඩා අමාත්‍යවරයාගේ සංචාරය පිළිබඳව ThePapare.com වෙත සිය අදහස් පළකරමින් යාපනය නගරාධිපති මෙන්ම පාපන්දු සභාපති එමානුවෙල් ආනෝල්ඩ් මහතා ප්‍රකාශ කළේ මෙලෙසිනි. 

“දිස්ත්‍රික්කයේ ක්‍රීඩා අංශය වැඩි දියුණු කිරීමට සැලසුම් බොහොමයක් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත්කළා. එම සැලසුම් ක්‍රියාත්මක කිරීම බොහෝ ඵලදායී වනවා. ඊයේ දිනයේ දී ඔහු විසින් නිවේදනය කළ ව්‍යාපෘති බොහොමයක්ම අපගේ නගර සභාව යටතට ගැනීමට සූදානම්.” 

“සංචාරය තුළදී විශේෂයෙන්ම ක්‍රීඩා අමාත්‍යවරයා විසින් දොරෙඅප්පා ක්‍රීඩාංගණය වැඩි දියුණු කිරීමට, දවස පුරාවට වෙනස් ආකාරයෙන් පවත්වාගෙන යෑමට හැකි ක්‍රියාකාරකම් ගෙන ඒමට වැඩි කැමත්තක් දක්වන බව පැවසුවා. ඒ අතුරින් ක්‍රීඩාංගණයන්හි දී ඉදිකිරීමට සමාන්‍ය ජනතාවට ව්‍යායම් කළ හැකි ශරීර සුවතා මධ්‍යස්ථාන ප්‍රධාන සැලසුමක්.” 

“ඒ ගෙන ආ යෝජනාවන් පිළිබඳව ඇත්තෙන්ම සතුටුදායකයි. 2022 වන විට අරියාලෙයි පාපන්දු පුහුණු මධ්‍යස්ථානය වැඩි දියුණු කිරීමට සහ මාසික පාපන්දු රැස්වීම් සහ එම සංවර්ධන කටයුතු වලට අදාළ කටයුතු සම්පාදනය කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා. මෙම සංවර්ධන ව්‍යාපෘති තුළින් දිස්ත්‍රික් ක්‍රීඩා ක්ෂේත්‍රයේ දැවැන්ත වර්ධනයක් අපේක්ෂා කරන්න පුළුවන්.” 

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<