දෙවියන්ගේ හස්තයෙන් ටිකක්

“දියේගෝ මැරඩෝනා - එදා මෙදාතුර විශිෂ්ටතමයා” Diego Maradona - The greatest ever

427

පාපන්දු ලෝකය තුළ ඔහුව හැඳින්වුණේ එලෙසින් ය. එයට උවමනා තරම් සාක්ෂි ඉතිහාසය විසින් නොඅඩුවම සපයා තිබේ. 

මැරඩෝනාගෙන් විශිෂ්ටත්වය පිළිබඳව උදාහරණ දැක්වීමට එතරම් දුර යා යුතු නොවේ. ඔහුගේ ජනප්‍රියත්වය දේශ සීමාවන් ඉක්මවා ගොස් ලොව පුරා පැතිර තිබූ එකක් විය. ඒ කෙතරම්ද යත්, පාපන්දුවක් පාලනය කර ගැනීමටවත් නොහැකි තරම් කුඩා අවදියේ දී අප සැමගේ පාපන්දු වීරයා වූයේ මැරඩෝනා ය. 

මගේ සිත 1986 වසරේ එක්තරා දිනයක මෙක්සිකෝ නගරයේ ඇස්ටෙක් ක්‍රීඩාංගණය තුළ දිග හැරුණු ඒ ඉතිහාසගත රූපරාමු පෙළ වෙත දිව යයි. ඒ ආජන්ටිනාව හා එංගලන්තය අතර පැවති පාපන්දු  ලෝක කුසලාන අර්ධ අවසාන තරගයයි.

තරගයේ පනස් පස්වැනි මිනිත්තුවේ දී දියේගෝ අර්මන්දෝ මැරඩෝනා හට පන්දුව ලැබුණි. ඉන් මිනිත්තු හතරකට පමණ පෙර සිදු වූ සුවිශේෂී  සිදුවීමක් නිසා එංගලන්ත ක්‍රීඩකයින් සිටියේ දැඩි කම්පනයකිනි.

ඒ තරගයේ 51 වැනි මිනිත්තුවේ දී මැරඩෝනා වාර්තා කළ ආන්දෝලනාත්මක ගෝලය නිසාවෙනි. පසු කාලීනව ඉතා මතභේදාත්මක සිදුවීමක් බවට පත් වූ මෙම ගෝලය මැරඩෝනා විසින් වාර්තා කර තිබුණේ ඔහුගේ හස්තයේ සහයත් සමඟිනි. 

නමුත් 51 වැනි මිනිත්තුවේ දී සිදුවීමට නියමිතව තිබූ දේ පිළිබඳව දල අදහසක් හෝ එංගලන්ත ක්‍රීඩකයන්ට තිබුණේ නැත. 

ඒ මොහොතේ මැරඩෝනා පන්දුව ලබා ගන්නා විට ඔහු සිටියේ පිටියේ ආජන්ටිනා කණ්ඩායමට හිමි කලාපයේය.

එතැන් සිට එංගලන්ත ක්‍රීඩකයන් පස් දෙනකුට හා ඔවුන්ගේ දැල් රකින්නාට සිදු වූයේ කුමක් දැයි වටහා ගැනීමටවත් කාලයක් ඉතිරි නොකර, පන්දුව ගෝලය අසලටම රැගෙන විත් හී සැරයක් විදින්නාක් මෙන් පන්දුව ගෝලය තුළට යොමු කිරීමට මැරඩෝනා සමත් වූයේ එම ගෝලය ලෝක පාපන්දු ඉතිහාසයේ විශිෂ්ටතම ගෝල කීපය අතරින් එකක් බවට පත් කරවමිනි.

පෙර සඳහන් කළ හස්තයෙන් වාර්තා කළ ගෝලය පිළිබඳව ඔහු පසුව පවසා තිබුණේ එම ගෝලය හිසෙන් ටිකක් සහ දෙවියන්ගේ හස්තයෙන් ටිකක්එකතු කරමින් වාර්තා කළ ගෝලයක් කියාය. (a bit with the head and a bit with the hand of God)

මැරඩෝනා ලබා ගත් මෙම ගෝල දෙක ආජන්ටිනාවේ ප්‍රේක්ෂකයන් ඉතා ආදරයෙන් වැළඳ ගත්තේ ඔවුන්ට එංගලන්තය සමඟින් තිබූ ඉතිහාස ගත අර්බුදය නිසාය. තරගයෙන් පසුව  මැරඩෝනා ප්‍රකාශ කළේ එම ගෝල දෙක එක්තරා ආකාරයකින් එංගලන්තයෙන් කළ පලිගැනීමක් බවයි. 

එම ප්‍රකාශයට පසුබිම් වූ සිදුවීම වන්නේ Falklands War නමින් හඳුන්වන ආජන්ටිනාව හා එක්සත් රාජධානිය අතර සති දහයක කාලයක් පැවති යුද්ධයයි. 

ආජන්ටිනාවට නැගෙනහිර දෙසට වන්නට පිහිටා ඇති Falkland දූපත් සමූහය බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවති අතර 1982 වසරේ අප්‍රේල් මාසයේ දී ආජන්ටිනාව විසින් මෙම දූපත් සමූහය ආක්‍රමණය කරන ලදි. නමුත් බ්‍රිතාන්‍ය හමුදාවන් විසින් සති දහයක යුද්ධයකින් පසුව නැවතත් මෙම දූපත් සමූහය තමා යටතට ගැනීමට සමත් වූහ. එහි දී ආජන්ටිනාවේ හමුදාවන්ට ඉතා දරුණු පරාජයකට මුහුණ දෙන්නට සිදු විය.

පලිගැනීමක් ලෙසින් මැරඩෝනා සඳහන් කළේ මෙම සිදු වීමයි. මේ නිසාම එම ප්‍රකාශයත් සමඟින් ආජන්ටිනාවේ ජාතික වීරයෙකු බවට පත් වන්නට මැරඩෝනා හට එතරම් කාලයක් ගත වූයේ නැත.

ලෝක ඉතිහාසයේ පහළ වූ විශිෂ්ටතම ක්‍රීඩකයන් කිහිප දෙනා අතරට නම් වන්නට වාසනාවන්ත වූ නමුත් මැරඩෝනාගේ කුඩා අවදිය බොහෝ කම්කටොළුවලින් පිරී තිබුණු එකක් බව ඒ පිළිබඳව විමසා බැලීමේ දී පෙනී යයි. 

ඔහුගේ පියා කර්මාන්තශාලාවක කම්කරුවෙකු ලෙස කටයුතු කළ අතර ඔහුගේ මව ගෙවිලියක් වූවා ය. 

ඔහුගේ ශරීර ප්‍රමාණය උසින් අඩි 5කුත් අඟල් 5ක් පමණක් වුව ද ඉතා ශක්තිමත් මස් පිඬු පිහිටා තිබීම නිසා සම වයස් ක්‍රීඩකයන්ට වඩා වැඩි වේගයක් හා ජවයක් ඔහු සතුව තිබුණි. පන්දුව තමාගේ දෙපාවලට අලවාගෙන ඉතා වේගයෙන් ප්‍රතිවිරුද්ධ ගෝලය ආක්‍රමණය කිරීමේ හැකියාවක් ඔහුට තිබුණි. ඔහුගේ මෙම වේගය ඉදිරියේ දෙවැනි නොවූ ක්‍රීඩකයෙකු නොමැති තරම් ය. 

වයස අවුරුදු 15 තරම් කුඩා අවධියේ දී වෘත්තීය පාපන්දු ක්‍රීඩාවට යොමු වූ මැරඩෝනා, 1976 වසරේ දී වසරේ දී Argentinos Juniors කණ්ඩායමට එක් වීමත් සමඟින් ඔහුගේ වෘත්තීය ක්‍රීඩා දිවිය ආරම්භ කරන ලදි. එයින් ලද සාර්ථකත්වය නිසාම Boca Juniors කණ්ඩායමෙන් ඔහුට ආරාධනාවක් ලැබුණ අතර එහි දී ඔහු පෙන්වූ දක්ෂතා නිසා පසු කාලීනව Barcelona හා Napoli යන කණ්ඩායම් සමගින් එක්වීමේ අවස්ථාව ඔහුට හිමි විය.

Barcelona වැනි ලොව ප්‍රබලතම කණ්ඩායම් හා එක් වීමෙන් පසුව මැරඩෝනා ඔහුගේ ජනප්‍රියත්වයේ හිනිපෙත්තටම නැග්ගේය. ඒ ලද ජනප්‍රියත්වයත් සමඟින් ලොව ඉහළම ආදායම් ලබන ක්‍රීඩකයන් කිහිප දෙනා අතරට එක් වන්නට සමත් වූ  මැරඩෝනා හට ඔහු පිටිය තුළ දී ලද සාර්ථකත්වය ඔහුගේ පුද්ගලික දිවිය තුළ පවත්වා ගැනීමට අපහසු වූයේ ඔහුගේ කෙළිලොල් ජීවන රටාව නිසා ය.

ඒ වකවානුවේ දී ඔහුට තරුණියන්ගේ ආකර්ෂණය ද නොඅඩුවම ලැබී තිබුණි. ඒ නිසාම රාත්‍රි සමාජ ශාලා වල නිරන්තරයෙන් ගැවසුණු ඔහු මත්ද්‍රව්‍ය භාවිතා කරන්නන් හා ඒවා වෙළදාම් කරන පිරිස් අතර නිතර ගැවසීම හේතුවෙන් දැඩි ලෙස කොකේන් භාවිතයට ඔහු පුරුදු වී සිටියේ ය. ඔහුගේ ජනප්‍රියත්වය නිසාම ඒවා ලෝකයෙන් වසන් කිරීමට ඔහුට හැකියාවක් ලැබුණේ නැත. මේ නිසා මාධ්‍ය ඉදිරියේ නිරන්තරයෙන් විවේචනයට ලක් වීමට ඔහුට සිදු විය. 

මත්ද්‍රව්‍ය භාවිතය හා නොමනා ආශ්‍රයන් නිසා පසු කාලීනව මැරඩෝනාගෙන් දිවිය තරමක් ශෝකාකූල එකක් බවට පත් විය. ක්‍රීඩාවෙන් ඉවත් වී ගොස් කිහිප වරක්ම නැවතත් ක්‍රීඩාවට පැමිණෙන්නට උත්සාහ කළ ද ඒවා අවසාන වූයේ අසාර්ථක උත්සාහයන් පමණක්ම වෙමිනි.

කෙසේ හෝ 1997 වසරේ දී වෘත්තීය පාපන්දු ක්‍රීඩාවෙන් සමුගන්නා විට මැරඩෝනා ක්‍රීඩා සමාජ  තරග 491කට ක්‍රීඩා කරමින් ගෝල 259ක් වාර්තා කිරීමට සමත් වී තිබුණි. එයට අමතරව ඔහු ආජන්ටිනා කණ්ඩායම නියෝජනය කරමින් තරග 91කට සහභාගී වී තිබූ අතර එහි දී ගෝල 34ක් වාර්තා කර තිබුණි.

ක්‍රීඩාවෙන් සමුගැනීමත් සමඟ සුපුරුදු පරිදි තම කෙළිලොල් දිවිය ගත කළ මැරඩෝනා හට  2008 වසරේ දී ආජන්ටිනා ජාතික පාපන්දු කණ්ඩායමේ පුහුණුකාරීත්වය භාර ගැනීම සඳහා අවස්ථාව හිමි විය. නමුත් ඔහුගේ පුහුණුකාරීත්වය දිවිය, ක්‍රීඩා දිවිය එතරම් සුන්දර එකක් වූයේ නැත. 

පුද්ගලික දිවියේ කෙතරම් අර්බුද තිබුණ ද, මැරඩෝනා  ඔහුගේ මව හා පියා හට ඉතා සමීපව කටයුතු කළ බව කියැවේ. 2011 වසරේ ඔහු ගේ මවගේ හා 2015 වසරේ ඔහු ගේ පියාගේ වියෝවන් මැරඩෝනා හට ඉතා තද බලපෑමක් එල්ල කළ බවත්, එම සිදුවීම්වලින් පසුව ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ක්‍රමයෙන් පිරිහීමට පත් වූ බව පැවසේ.

තවත් විශේෂාංග ලිපි:

පිටිය තුල දී ප්‍රතිවාදී ක්‍රීඩකයන් එකොළොස් දෙනෙකු සමඟින් සටන් වැදුණු මැරඩෝනා හට පිටියෙන් පිටත දී  මත්ද්‍රව්‍ය, තරබාරුකම, කාන්තාවන්  හා පාතාලය සමඟින් සටන් වැදීමට සිදු විය. නමුත් ඔහු පිටිය තුළ දී අත්කරගත් සාර්ථකත්වය පිටියෙන් පිටත දී අත්කර ගැනීමට ඔහුට හැකියාවක් ලැබුණේ නැත. අවසානයේ මත්ද්‍රව්‍යයන්ට, තරබාරුකමට, කාන්තාවන්ට හා පාතාලයට ජය ගැනීමට ඉඩ දී ජීවන සටනින් පරාජය වීමට ඔහුට සිදු විය.

පසුගිය නොවැම්බර් 25 වැනිදා හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් දිවි ගමනින් සමුගන්නා විට මැරඩෝනා 60 හැවිරිදි වියේ පසු විය.

සිනෙඩින් සිඩෑන්, පේලේ, ලියොනෙල් මෙසික්‍රිස්ටියානෝ රොනල්ඩෝ වැනි දැවැන්තයන් සමඟ ලොව පහළ වූ විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයෙකු ලෙසින් නිරන්තරයෙන් කියවෙන නමක් වූ මැරඩෝනා පුරාවෘතයක් වශයෙන් පාපන්දු ඉතිහාසයට එක්වී හමාරය. 

විවිධ හැල හැප්පීම් ඔස්සේ ඇදී ගිය ඔහුගේ දිවි ගමන දෙස හැරී බැලීමේ දී ඔහු ඉතිරි කර ගොස් ඇති දෑ බොහෝ ය. මැරඩෝනා පිළිබඳව මතකයන් ආවර්ජනය කරන විට පිටිය තුළ දී මෙන්ම පිටියෙන් පිටත ද ඔහු පිළිබඳ ව ඇති සුවිශේෂී මතකයන් බොහෝය. 

නමුත් 1986 වසරේ ජුනි මස 22 වැනිදා මෙක්සිකෝවේ ගෙවී ගිය ඒ සන්ධ්‍යා භාගය තරම් මැරඩෝනා පිළිබඳව අන් සුන්දර මතකයක් ඇත්තේ නොවේ. 

ලොව හැරදා යන්නට ගිය ද ඔහුගේ මතකය දෙවියන්ගේ හස්තයත් සමඟ මෙක්සිකෝ නගරයේ ඇස්ටෙක් ක්‍රීඩාංගණය තුළ සදාකල් ජීවත් වනු ඇත.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<