පාන් කැබැල්ලකට ආචාර කළ Mesut Ozil

222
Ozil respecting food according to his Islam religion

ජීවිතයක වටිනාකම, ජීවිතයට ජීවය දෙන ආහාරයේ වටිනාකම Coronavirus වසංගත තත්වයෙන් පීඩා විඳින සියලු ලෝවැසියන්ට තදින්ම දැනෙන කරුණකි.

මිලියන ගණනක් ප්‍රේක්ෂකයින් බලා සිටිය දීම තම කුසගින්න නිවා දමන ආහාරයට සුවිශේෂී ගෞරව කිරීමක් සුපිරි ක්‍රීඩක Mesut Ozil විසින් දැක්වූ ආකාරය මීට වසර දෙකකට පමණ පෙර පාපන්දු ලෝකයට දැක ගැනීමට හැකි විය.  ඒ 2018 වසරේ දී Arsenal සහ Atletico Madrid අතර පැවති තරගයක් අතරතුරයි.

2017-18 UEFA Europa League තරගාවලියේ එංගලන්තයේ ප්‍රබල Arsenal සහ ස්පාඤ්ඤයේ ප්‍රබල Atletico Madrid අතර Emirates ක්‍රීඩාංගණයේ දී පැවති අවසන් පූර්ව වටයේ පළමු අදියරේ තරගයේ අවසාන භාගය දක්වා ම Arsenal ක්‍රීඩකයින් ගෝල 1-0ක් ලෙස ඉදිරියෙන් පසුවන්නට විය.

එහි එක් අවස්ථාවක දී Arsenal ප්‍රබල ක්‍රීඩක Mesut Ozil විසින් ඔවුන්ට ලැබුණු කෝනර් අවස්ථාවක් ලබාගැනීමට සූදානම් වෙද්දී ඒ අසල ප්‍රේක්‍ෂකාගාරයේ සිටි Atletico ක්‍රීඩාලෝලීන් ඔහු දෙසට පාන් කැබැල්ලක් විසිකර සිටින්නට විය. නමුත් අනතුරුව සිදු වූයේ කිසිවෙකු බලාපොරොත්තු නොවූ සුවිශේෂී සිදුවීමකි. 

ඒ අනුව එම පාන් කැබැල්ල දුටු Ozil එයට පා පහරක් එල්ල කළ පැත්තකට යොමුකරනු වෙනුවට එය සියතට රැගෙන, සිපගෙන ඊට කරන ගෞරව කිරීමක් ලෙස එය සිය නළල මත තබා පසුව සෙමෙන් එය පසෙකින් තබන්නට විය. Ozilගේ මෙම ප්‍රතිචාරය දුටු Atletico ක්‍රීඩාලෝලීන් ද මේ පිළිබඳව දැඩි ලෙස පුදුමයට පත්වන්නට වූ අතර අනතුරුව වහාම ඔහුව අගය කරමින් ඔහු වෙත ඔවුන් ප්‍රීතිඝෝෂා නඟන්නට ද විය. 

කෙසේ නමුත් Ozil එම පාන් කැබැල්ල විසිකිරීමේ සිදුවීමට මේ ආකාරයේ ප්‍රතිචාරයක් දැක්වූයේ මන්ද යන්න පිළිබඳව බොහෝ දෙනා තුළ දැඩි කුතුහලයක් ඇතිවන්නට වූ අතර ඒ අනුව පසුව හෙළිවන්නට වූයේ ඔහු අදහන ඉස්ලාම් දහමට මෙන්ම තුර්කි සංස්කෘතියට අනුව ද ආහාර අපතේ දැමීම නොකළ යුතු ක්‍රියාවක් බවයි. 

තුන්වැනි පරම්පරාවේ තුර්කි-ජර්මානු ජාතිකයෙක් වන Ozil ඉස්ලාම් දහම අනුගමනය කරන්නෙක් වන අතර එයට අනුව ආහාර දෙවියන් වහන්සේගෙන් ලැබෙන ආශීර්වාදයක් ලෙස සලකනු ලැබේ. ඒ වෙනුවෙන් ඊට ස්තුතිවන්ත වීම ඔවුන්ගේ සාමාන්‍ය පුරුද්දක් වන අතර ඒ අනුව Ozil එහි දී දැක්වූ ප්‍රතිචාරය ඔහුට ආහාර ලබා දීම වෙනුවෙන් ඔහු සිය තුති ගුණ දැක්වීමකි. 

මෙය අල් කුරාණයේ 6 වැනි පරිච්ඡේදයේ 141 වැනි වාක්‍යයේ ඉතා පැහැදිලිව සටහන් වී ඇත. 

“ඔහුමය (අල්ලාහ්මය) (මිදිවැල් මෙන්) විහිදුණු හා (වැල් ලෙස) නොවිහිදුණු වතු ද රටඉඳි ගස් ද එහි ආහාරයට ගන්නා (පලතුරු, එළවළු හා ධාන්‍ය වැනි) විවිධ බෝග ද (කොළවල හැඩයෙන්)එක සමාන වූ (පලතුරුවලින්) එකිනෙකට වෙනස් වූ දෙළුම් ද ඔලිව් ද වැඩෙන්නට සැලැස්වූයේ. පළ හටගන්නා විට එහි පලතුරු නුඹලා අනුභව කරවූ. තවද නුඹලා එහි පළ නෙළාගන්නා දිනයෙහි එයට හිමි (zසකාත්) වගකීම දෙවු. තවද නුඹලා (ඒවා) නාස්ති නොකරවූ. සැබවින්ම ඔහු නාස්ති කරන්නන්ව ප්‍රිය නොකරයි. ”

ඒ අනුව එම තරගය අවසානයේ කණ්ඩායම් දෙකම ගෝලය බැගින් ලබා ගනිමින් දෙවැනි අදියරේ පැවති තරගය ගෝල 1-0ක් ලෙස ජයග්‍රහණය කරමින් ප්‍රතිවාදී Atletico ක්‍රීඩකයින් එහි අවසාන මහා තරගයට සුදුසුකම් ලබා ගන්නට සමත් වුවත් Ozil එහි දී ඔහු අදහන ඉස්ලාම් දහමට අනුව දැක්වූ වටිනා ප්‍රතිචාරය අදටත් පාපන්දු ලෝකය තුළ ඔහුව ගෞරවයට ලක්වීමට හේතුවී ඇත. 

වැටුප් කප්පාදු ප්‍රතික්‍ෂේප කරමින් තවදුරටත් සමාජ සේවා සිදු කරමින්

Coronavirus වසංගත තත්වයත් සමඟ යුරෝපය පුරා පාපන්දු තරගාවලි දින නියමයකින් තොරව කල්ගිය පසුබිමක බොහෝ පාපන්දු සමාජවලට මූල්‍ය අපහසුතා ඇතිවෙද්දී ඒවායේ ක්‍රීඩකයින් සිය පාපන්දු සමාජ වලට සහය දැක්වීමක් ලෙස වැටුප් කප්පාදුවක් ලබා ගැනීමට එකඟ වුවත් පසුගිය දිනවල වාර්තා වූයේ Arsenal ක්‍රීඩකයින් එකඟ වූ 12.5% කප්පාදුව ලබා ගැනීම Ozil විසින් ප්‍රතික්‍ෂේප කර ඇති බවයි. 

Arsenal පාපන්දු සමාජයෙන් සතියකට පවුම් 350,000ක විශාල වැටුපක් ලබන ඔහු එහි ඉහළම වැටුපක් ලබාගන්නා ක්‍රීඩකයා ද වේ. කෙසේ නමුත් පසුව වාර්තා වන්නට වූයේ මෙම තත්වය හරහා සිය පාපන්දු සමාජයට සිදු වන ආර්ථිකමය බලපෑම ඉදිරියේ දී සලකා බලා එය තවදුරටත් ඉහළ යන්නට වුවහොත් වැටුප් කප්පාදුවක් ලබා ගැනීමට ඔහු කැමැත්තෙන් පසුවන බවයි. 

මේ ආකාරයට වැටුප් කප්පාදුවක් ලබාගැනීම Ozil විසින් ප්‍රතික්‍ෂේප කර ඇතත් ඔහු සිය සුපුරුදු සමාජ සේවාවන් ඒ ආකාරයටම පවත්වා ගෙන යන්නට අමතක කර නොමැත. 

තවත් කියවන්න;

ඒ අනුව පවතින Coronavirus වසංගත තත්වයත් සමඟ පසුගිය රාමසාන් කාලය තුළ පීඩාවට පත්ව සිටි මුස්ලිම් ජාතිකයින්ට ආධාර ලෙස ඔහු පවුම් 80,000ක මුදල් පරිත්‍යාගයක් සිදු කිරීමට කටයුතු කරනු ලැබීය. Turkish Red Crescent නමැති සංවිධානය වෙත සිදුකෙරුණු එම මුදල් පරිත්‍යාගය හරහා තුර්කිය සහ සිරියාව තුළ සිටින මුස්ලිම් ජාතිකයින් 16,000ක පමණ පිරිසකට පසුගිය රාමසාන් මාසය පුරාවටම ඔවුන් සෑම දිනකම සවස් යාමයේ සිය නෝම්බි ඇල්ලීම අවසන් කරමින් ලබාගන්නා ඉෆ්තාර් ආහාර වේල පිරිනැමීමට අවස්ථාව සැලසිණ. 

Ozilගේ මෙම ධන පරිත්‍යාගය පිළිබඳව අදහස් දක්වමින් Turkish Red Crescent සංවිධානය පවසා සිටියේ;

“අපි වසර පුරාවටම උදව් අවශ්‍ය ඇයට උදව් කරන්න සූදානමෙන් ඉන්නේ. ඒක අපිට කරන්න පුළුවන් වෙන්නේ අපි සිදු කරන වැඩ වලට සහය දෙන අපේ පරිත්‍යාගශීලී මිතුරන් නිසා. අපිට ලැබෙන ආධාර වැඩි වෙන තරමට අපිට තව තවත් උදව් අවශ්‍ය ඇයට උදව් කරන්න පුළුවන්.

අපි විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා අපේ සහෝදර Ozilට. ඔහුගේ මුදල් පරිත්‍යාගය නිසා අපිට අවශ්‍ය පුද්ගලයින් සඳහා ඒ ආහාර පාර්සල් හැකි ඉක්මනින් ලබා දෙන්න පුළුවන්.”

තවත් විශේෂාංග ලිපි;

Ozilගේ සමාජ සේවාවන් ඊට සීමිත නොවන අතර තවදුරටත් ඔහු රහසිගතවම ළමුන් 1000ක පමණ පිරිසකට ඔවුන්ට අවශ්‍ය සැත්කම් කටයුතු සිදු කිරීම සඳහා ද, තුර්කිය සහ සිරියාව තුළ නිවාස නොමැති සරණාගත කඳවුරු 16ක සිටින 100,000ක පමණ පිරිසක් සඳහා ඔවුන්ට අවශ්‍ය ආහාර පාන ලබා දීම සඳහා ද ඔහු මුදල් පරිත්‍යාග කරනු ලබයි. 

එමෙන්ම 2014 වසරේ පාපන්දු ලෝක කුසලානය ජයග්‍රහණය කළ ජර්මානු කණ්ඩායම නියෝජනය කළ ඔහු එම ශූරතාවය දිනා ගැනීම වෙනුවෙන් ඔහුට ලැබුණු පවුම් 240,000ක පමණ සම්පූර්ණ මුදල BigShoe නමැති සංවිධානය සමඟ එක්වෙමින් බ්‍රසීලයේ ළමුන් 23 දෙනෙකුගේ සැත්කම් සිදු කර ගැනීම සඳහා ද පරිත්‍යාග කිරීමට කටයුතු කළේය. 

තවදුරටත් ඔහු ආබාධ සහ ලෙඩ රෝගවලින් පෙළෙන ළමුන් තරග නැරඹීම සඳහා Emirates ක්‍රීඩාංගණයට රැගෙන විත් තරග අවසානයේ ඔවුන් සමඟ කාලය ගත කරමින් ඡායාරූප ගැනීම වැනි ක්‍රියාකාරකම් වල නිරත වූ අවස්ථාවන් ද ගණනාවකි. 

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<