ප්‍රේක්ෂකයින් පුදුම කරමින් Ben Stokes එක්දින පිටියට සමුදෙයි!

245

සුපිරි එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩක Ben Stokes එක්දින ජාත්‍යන්තර තරග පිටියට සමුදීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව දකුණු අප්‍රිකාවට එරෙහිව Chester-le-Street හිදී පැවැත්වීමට නියමිත එක්දින තරගය ඔහුගේ අවසන් එක්දින තරගය වනු ඇත. Stokes මේ වන විට එක්දින ජාත්‍යන්තර තරග 104ක් ක්‍රීඩා කර තිබෙන අතර ඔහු ක්‍රීඩා කළ වටිනාම එක්දින තරගය වන්නේ 2019 ලෝක කුසලාන අවසන් මහා තරගයයි.

මෑතක දී එංගලන්ත ටෙස්ට් නායකත්වය ද හිමි වූ Stokes පවසා සිටියේ ආකෘති තුනම ක්‍රීඩා කිරීම මගින් සෑම තරගයක දී ම සිය උපරිමය ලබා දීම අපහසු බවයි. ඒ නිසා ඔහු ටෙස්ට් හා විස්සයි විස්ස සඳහා පමණක් සිය දායකත්වය ලබා දීමට තීරණය කර තිබෙනවා.

“Durham හිදී එංගලන්තය වෙනුවෙන් මම මගේ අවසන් එක්දින ජාත්‍යන්තර තරගය ක්‍රීඩා කරාවි”, Stokes පවසා තිබුණා. “මම තීරණය කළා මේ ආකෘතියෙන් විශ්‍රාම ගන්න. මේක හරිම අමාරු තීරණයක් වුනා. එංගලන්තය වෙනුවෙන් ක්‍රීඩා කරන හැම මොහොතකටම මම ආදරය කළා. අපි එකට ලොකු දුරක් ආවා.”

මට මේ ආකෘතියේ දී මගේ කණ්ඩායමේ සගයින්ට 100%ක් දෙන්න අපහසුයි කියන එක තේරුම් ගන්න අමාරු දෙයක් නොවේ. මට දැන් ආකෘති තුනේම එක මට්ටමේ දක්ෂතා දක්වන්න අමාරුයි. මගේ ශරීරය නිසා මට අමාරු වෙනවා විතරක් නොවේ කාලසටහනේ කාර්යබහුලත්වය, අපේ බලාපොරොත්තු වන දේ, ඒ හැම දේ නිසාම, මට හිතෙනවා Josට හා කණ්ඩායමට උපරිමය දෙන්න පුළුවන් වෙන ක්‍රීඩකයෙක්ගේ තැනක් මම ගන්නවා කියලා. මේක තමා වෙලාව තවත් කෙනෙකුට ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදියට දියුණු වෙන්න අවස්ථාව ලබා දෙන්න හා මට තියෙනවා වගේ වසර 11ක විශිෂ්ට අත්දැකීම් ලබා ගන්න ඉඩ දෙන්න.”

මම ටෙස්ට් ක්‍රිකට්වලට මගේ උපරිමය කරන්න බලාපොරොත්තු වෙනවා, ඒ වගේම මට හිතෙනවා විස්සයි විස්ස ආකෘතියට මගේ උපරිම කැපවීම දෙන්න පුළුවන් කියලා.”

මම කැමතියි සුබ පතන්න Jos Buttler, Matthew Mottට සහ ක්‍රීඩකයින්ට, සහය කාර්ය මණ්ඩලයට. අපි පසුගිය වසර හත තුල සීමිත පන්දුවාර ආකෘතිය තුල ගොඩක් දේවල් කළා. ඒ වගේම අනාගතය පැහැබරයි.”

මම ක්‍රීඩා කළ තරග 104ටම මම ආදරය කළා. මට තව එක තරගයක් තියෙනවා. ඒ තරගය මගේ ක්‍රීඩාංගණය වුණු Durham හිදී ක්‍රීඩා කරන්නට ලැබීම විශිෂ්ටයි.”

පසුගිය දින කිහිපයේ දී එංගලන්ත ක්‍රිකට් හි වෙනස්කම් රැසක් සිදු වුනා. එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරණ අධ්‍යක්ෂක ලෙස Rob Key පත් කිරීමෙන් අනතුරුව Joe Root ටෙස්ට් නායකත්වයට සමු දුන්නා.

ඒ වෙනුවට Stokes පත්කෙරුණු අතර සීමිත පන්දුවාර නායක Eoin Morgan ද ක්‍රිකට් පිටියට සමුදීමට තීරණය කළා. ඒ අනුව සීමිත පන්දුවාර කණ්ඩයමේ නායකත්වය Jos Buttlerට හිමි වුනා.

Cricbuzz ඇසුරින්

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<