T20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවේ ප්‍රතිවාදීන් ස්ථීරයි

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

423

මෙම වසරේ පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානයේ සුදුසුකම් ලබා ගැනීමේ තරග අවසන් වීමත් සමඟ එහි මූලික වටයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වන ප්‍රතිවාදීන් තහවුරු වී තිබෙනවා.

ශ්‍රී ලංකාව තරගාවලියේ A කාණ්ඩයෙන් තරග වදින අතර එම කාණ්ඩයට නැමීබියාව, නෙදර්ලන්තය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන කණ්ඩායම් ඇතුළත්.

සුදුසුකම් ලැබීමේ වටයේ දී නෙදර්ලන්තය පරාජයට පත් කරමින් සිම්බාබ්වේ ක්‍රීඩකයින් මූලික වටයේ B කාණ්ඩයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ අතර එම නිසාවෙන් නෙදර්ලන්ත ක්‍රීඩකයින්ට A කාණ්ඩයට ඇතුළත් වීමට සිදු වුනා.

මූලික වටයේ ප්‍රබලතම කාණ්ඩය B කාණ්ඩය වන අතර එම කාණ්ඩය සඳහා සිම්බාබ්වේ කණ්ඩායමට අමතර බටහිර ඉන්දීය කොදෙව්, අයර්ලන්තය සහ ස්කොට්ලන්තය යන කණ්ඩායම් ඇතුළත්.

මෙවර ලෝක කුසලානයේ මූලික වටය ආරම්භ කරමින් ශ්‍රී ලංකාව සහ නැමීබියාව ඔක්තෝබර් 16 වැනිදා තරග වැදීමට නියමිත ඇති අතර එදිනම සවස නෙදර්ලන්තය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය තරග වැදීමට නියමිතයි.

මූලික වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන දෙවැනි තරගය ජූලි 18 වැනි දින එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමඟින් සහ අවසන් තරගය ජූලි 20 වැනිදා නෙදර්ලන්තය සමඟ පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේ පළමු ස්ථානය දිනා ගතහොත් ඔවුන් සුපිරි වටයේ පළමු කාණ්ඩයට සුදුසුකම් ලබන අතර යම් හෙයකින් දෙවැන්නා ලෙස අවසන් කළහොත් දෙවැනි කාණ්ඩයට සුදුසුකම් ලබයි.

සුපිරි 12 වටයේ පළමු කාණ්ඩයට මෙතෙක් ලෝක ශූර ඕස්ට්‍රේලියාව, අනුශූර නවසීලන්තය, ප්‍රබල එංගලන්තය සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම ඇතුළත් වන අතර දෙවැනි කාණ්ඩය සඳහා ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය සහ දකුණු අප්‍රිකාව මෙතෙක් සුදුසුකම් ලබා තිබෙනවා.

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිතයි. එම තරගාවලිය පිළිබඳව සියලූම තොරතුරු දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟu.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<