අර්බුද මැද ආසියානු කුසලානය පවත්වන්න SLC සූදානමින්

2022 ආසියානු කුසලාන තරගාවලිය

1221

ශ්‍රී ලංකාව සත්කාරකත්වය දැක්වූ ඕස්ට්‍රේලියා තරග සංචාරය පසුගිය දා අවසන් වූ අතර පාකිස්තාන කණ්ඩායම ටෙස්ට් තරගාවලියක් සඳහා පසුගිය දා දිවයිනට පැමිණ තිබෙනවා.

සති කිහිපයක් පුරා රට පුරා පැතිරුණු දේශපාලන නොසන්සුන්තාවයෙන් පසුව මෙරට මේ වන විට ජාතික අර්බුදයකට ඇද වැටෙමින් තිබෙනවා. කෙසේ වෙතත් එළඹෙන අගෝස්තු මාසය අග සිට ආරම්භ වීමට නියමිත ආසියානු කුසලාන තරගාවලියේ සත්කාරකත්වය දැරීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය “ඉතා විශ්වාසයෙන්” සිටින බව ක්‍රිකට් ආයතනය පවසනවා.

රටවල් හයක සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිත ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව තෝරාගන්නේ දැයි යන්න පිළිබඳව අවසන් තීරණය සිකුරාදා (15) ආසියානු ක්‍රිකට් කවුන්සිලය විසින් ගැනීමට නියමිතයි.

පසුගිය දා සත්කාරකත්වය දැරූ ඕස්ට්‍රේලියානු තරගාවලිය සාර්ථකව නිමා කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා ESPNcricinfo වෙත  අදහස් දක්වා සිටියා.

කෙසේ වෙතත් සිවිල් නොසන්සුන්තාවයක් තිබුණ ද ක්‍රිකට් ක්‍රීඩාව ආරක්ෂා වී ඇති බව මොහාන් ද සිල්වා මහතා පවසනවා. ඕස්ට්‍රේලියා කණ්ඩායම පසුගිය ජුනි මාසයේ දී මෙරටට පැමිණියේ විස්සයි විස්ස, එක්දින සහ ටෙස්ට් තරගවලින් සමන්විත සම්පූර්ණ සංචාරයක් සඳහායි. තරගාවලිය නිමා කරමින් ශ්‍රී ලංකාව ගාල්ලේ දී පැවති දෙවැනි ටෙස්ට් තරගය ජයග්‍රහණය කළේ 1-1ක් තරගාවලිය ලෙස සමව අවසන් කරමින්.

මොහාන් ද සිල්වා මහතා මෙලෙස ආසියානු කුසලානය ශ්‍රී ලංකාවේ දී පැවැත්වීම ගැන සුබවාදීව සිටීමට තවත් හේතුවක් වූයේ පාකිස්තාන කණ්ඩායම පසුගිය දා, තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියකට ක්‍රීඩා කිරීමට, පැමිණීමයි. පාකිස්තානු කණ්ඩායම දැනටමත් පෙරහුරු තරගයක් ක්‍රීඩා කර ඇති අතර පවතින දේශපාලන ආරවුල්වලින් තමන්ට බලපෑමක් සිදු නොවූ බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය තහවුරු කර තිබුණා.

ආසියානු කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාවේ පැවැත්වීම පිළිබඳව අපට තවමත් දැඩි විශ්වාසයක් තියනවා”, මොහාන් ද සිල්වා මහතා පසුගිය බ්‍රහස්පතින්දා පවසා සිටියා.

අපි මේ වන විට ඕස්ට්‍රේලියානු සංචාරය ගාල්ලේ දී ටෙස්ට් තරඟ දෙකක් සඳහා සත්කාරකත්වය ලබා දීලා තියනවා. ඒ අතර පාකිස්තාන කණ්ඩායමත් මේ වෙද්දී රට තුළ සිටිනවා.”

ආසියානු ක්‍රිකට් කවුන්සලය විසින් තරගාවලියෙන් ඉවත් වීමට කිසියම් බලපෑමක් එල්ල වී තිබේ දැයි මාධ්‍යවේදීන් ඇසූ විට මොහාන් ද සිල්වා මහතා එවැනි කිසිදු බලපෑමක් නොමැති බව පවසා සිටියා.

ආසියානු කුසලානයේ 2022 සංස්කරණය විස්සයි විස්ස තරගාවලියක් ලෙස පැවැත්වීමට නියමිතව තිබෙන අතර ප්‍රධාන තරගාවලිය අගෝස්තු 27 සිට සැප්තැම්බර් 11 දක්වා පැවැත්වෙනු ඇත. එයට පෙර සුදුසුකම් ලැබීමේ තරග අගෝස්තු 20 සිට 26 දක්වා ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට නියමිතයි.

ඒ සඳහා හොංකොං, කුවේට්, සිංගප්පූරුව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට සහභාගී වීමට නියමිත අතර, ඉන් පෙරමුණ ගන්නා කණ්ඩායම පූර්ණ සාමාජික ආසියානු කණ්ඩායම් පහ වන ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, ඉන්දියාව, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව සමඟින් ප්‍රධාන තරගාවලිය සඳහා එක්වනු ඇත.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<