Kohli, Bumrah සහ Chahalට විවේකයක්

237

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ මෙම මාසයේ දී පැවැත්වීමට නියමිත තරග පහකින් යුත් විස්සයි විස්ස තරගාවලියට නම් කළ ඉන්දීය කණ්ඩායමෙන් Virat Kohli, Jasprit Bumra සහ Yuzvendra Chahal ඉවත් කර තිබෙනවා.

මේ පිළිබඳව සටහනක් තබමින් ESPNcricinfo වෙබ් අඩවිය සඳහන් කර තිබුණේ එම ක්‍රීඩකයින් තිදෙනාට විවේකයක් ලබා දීමේ අරමුණින් මෙලෙස තරගාවලියෙන් ඉවත් කර ඇති බවයි.

මෑත කාලයේ යම් පසුබෑමකට ලක්ව සිටින සුපිරි පිතිකරු Virat Kohli දැනට පැවැත්වෙමින් තිබෙන එංගලන්ත තරගාවලියේ දී ද අසාර්ථක වූ අතර පළමු එක්දින තරගයේ දී ආබාධයකට ලක් වූ ඔහු දෙවැනි තරගයේ දී ලබා ගත්තේ ලකුණු 16ක් පමණයි.

කොදෙව්වන්ට එරෙහි විස්සයි විස්ස තරගාවලියේ ඉන්දියාව මෙහෙයවීමේ වගකීම සුපුරුදු පරිදි Rohit Sharmaට හිමිව ඇති අතර ශාරීරික යෝග්‍යතා පරීක්ෂණ සමත් වුවහොත් උපනායක KL Rahul ද කණ්ඩායමට එක්වීමට නියමිතයි.

ටික කලක් ඉන්දීය විස්සයි විස්ස සංචිතයට ඇතුළත් නොවූ Ravichandran Ashwin මෙම සංචිතයට කැඳවා ඇති අතර ආබාධයකට ලක්ව සිටි දඟපන්දු යවන ක්‍රීඩක Kuldeep Yadav ද කොදෙව්වන්ට එරෙහි සංචිතයට කැඳවා තිබෙනවා.

එමෙන්ම බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි එක්දින තරගාවලියේ දී විවේක ගැන්වූ Hardik Pandya සහ Rishabh Pant ද විස්සයි විස්ස තරගාවලියේ දී සංචිතය සමඟ එක්වීමට නියමිතයි.

එංගලන්ත තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායමට ඇතුළත් වූ වේගපන්දු යවන ක්‍රීඩක Umran Malikට මෙම සංචිතයේ ස්ථානය අහිමි වෙද්දී, වේගපන්දු යවන්නන් ලෙස Arshdeep Singh,  Bhuvneshwar Kumar, Avesh Khan සහ Harshal Patel සංචිතයට එක් කර තිබෙනවා.

සුපිරි පිතිකරු Kohliගේ පසුබෑම සහ ඔහුට එල්ල වන චෝදනා පිළිබඳව එංගලන්ත එක්දින තරගාවලියට පෙර අදහස් දක්වමින් ඉන්දීය නායක Rohit Sharma ප්‍රකාශ කළේ,

“මම දන්නේ නැහැ විශේෂඥයන් කියන්නේ කවුද කියලා. ඒ වගේම මට තේරෙන්නේ නැහැ එයාලට විශේෂඥයන් කියන්නේ ඇයි කියලා. එයාලා හැමදේම බලන්නේ එළියේ ඉඳන්, එයාලා දන්නේ නැහැ කණ්ඩායම ඇතුළේ මොකක්ද වෙන්නේ කියලා.

අපි කණ්ඩායමක් ගොඩ නගනවා. ඒක පිටිපස්සේ ගොඩක් සාකච්ඡා වගේම ගොඩක් සිතුවිලි තියෙනවා. ඒකට කණ්ඩායම් සඟයන්ගෙන් සහය ලැබෙනවා වගේම එයාලට අවස්ථා හිමි වෙනවා. එළියේ ඉඳන් බලාගෙන ඉන්න අය දන්නේ නැහැ මේ දේවල්. ඒ නිසා එළියේ වෙන්න මොකක්ද වැඩක් නැහැ.”

KL Rahulගේ සහභාගීත්වය තවමත් අවිනිශ්චිත නිසාවෙන් කොදෙව් තරගාවලියේ ආදේශක ආරම්භක පිතිකරු සහ කඩුලු රකින්නා ලෙස Ishan Kishan තෝරාගෙන ඇති අතර සැත්කමකින් පසුව සුවය ලබන KL Rahulගේ තත්වය මත එම ස්ථානය තීරණය වේ.

නිමා වූ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි වැඩිම ලකුණු ලාභියා බවට පත්වීමෙන් පසුව Rahul ආබාධයකට ලක් වූ අතර එම නිසාවෙන් ඔහුට දකුණු අප්‍රිකා සහ එංගලන්ත සංචාර ද අහිමි වුනා.

එමෙන්ම අයර්ලන්තය සමඟ පැවති තරගාවලියේ දී ශතකයක් ලබා ගත් Deepak Hooda මෙම සංචිතයට කැඳවා ඇති අතර Dinesh Karthik, Shreyas Iyer සහ Suryakumar Yadav ද මෙම සංචිතයට ඇතුළත්.

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර විස්සයි විස්ස තරගාවලිය ජූලි 29 වැනිදා ආරම්භ වන අතර එහි පළමු තරග ත්‍රිත්වය කොදෙව් දූපත් හී පවත්වා අවසන් තරග ද්විත්වය ඇමරිකාවේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ESPNcricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<